නව පොලිස්පති පත් කිරීමට ප්‍රමාද වූ හේතුව කුමක්ද?

C. D. Wickramaratne

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දින 14 කට ආසන්න කාලයක් පුරප්පාඩු වී තිබු පොලිස්පති ධුරය සඳහා හිටපු පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න යළි පත් කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව වත්මන් හිටපු පොලිස්පතිවරයාට ලද දෙවන සේවා දිගුව මෙය වේ.

මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ අද (ජුලි මස 09 වෙනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපූ පොලිස්පති සි.ඩි. වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට පියවර ගත් බවයි.

පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා මීට ප ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් විය.

පොලිස්පති ධුරයේ වත්මන් තත්ත්වය

චන්දන වික්‍රමරත්න මේ දක්වා පොලිස්පති ධුරය හොඹවනු ලැබුවේ ඉකුත් මාර්තු මස 25 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදුන් මාස තුනක සේවා දිගුවක් යටතේ ය.

2020 වසරේ නොවැම්බර් මස 27 වෙනිදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ පොලිස්පති චන්දන වික්‍රමරත්න, වයස අවුරුදු 60 සම්පුර්ණ වීම හේතුවෙන් ඉකුත් 2023 මාර්තු මස 23 වෙනිදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ ය.

ඉන් අනතුරුව ඉකුත් ජුනි මස 25 වෙනිදා සිට පොලිස්පතිවරයා ධුරයෙන් විශ්‍රාම ගිය අතර එදින සිට දින 14ක කාලයක් එම ධුරය හිස්ව තිබුණේ ය.

පොලිස්පති පත් කිරීමට ප්‍රමාද වූ හේතුව

නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට ප්‍රමාද වූ කරුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් දක්වමින් කියා සිටියේ පොලිසියේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව පවතින නඩු සහ විමර්ශන ඊට හේතුව ඇති බවය.

" විනය කොයි තරම් වැටුණද කියනවනම්, වැට්ටුවද කියනවනම් අර ඉන්න පොලිස්පතිවරයාට කාලය ඉවර කරලා දෙයියනේ කියලා විශ්‍රාම අරන් ගෙදර යන්න විදිහක් නැහැ."

"ඉන්න පොලිස්පතිතුමා දැන් මාස තුනෙන් තුනට සේවය දික් වෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරු පෝලිමක් ඉන්නවා."

"සිනියෝරටි එකේ එකේ ඉදලා හතර වෙනකම් විවිධ චෝදනා, විවිධ ඉන්ක්වයරී. උසාවි වල නඩු. ආයේ අට වෙනියා ගේ ඉදලා ඒ තත්ත්වේ. 05 ඉදන් 08 වෙනකම් තමයි පොඩ්ඩක් බේරිලා ඉන්නේ. "

"මෙන්න විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන කණ්ඩායමේ තත්ත්වේ."

පොලිස්පති ධුරයට ඉදිරියෙන්ම සිටි නිලධාරියා කවුද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසු පත්කරනු ලබන මීළඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව රටේම අවධානය යොමු ව තිබුණි.

ජ්‍යෙෂ්ඨත්වය අනුව නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් ගේ නම් පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා ඉදිරිපත් වී තිබුනේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු නිලධාරීන්ට තම පෞද්ගලික මුදලින් වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

ඒ අනුව වින්දිතයින්ට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් නිලන්ත ජයවර්ධනට ද නියෝග කර තිබේ.

පොලිස්පති ධුරය සඳහා යෝජනා වූ නම් අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලය පුරා ඉදිරියෙන්ම සිටි අයෙකි.

දේශබන්දු තෙන්නකොන් යනු කවුද?

2019 අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු දිවයින පුරා ඉලක්ක 08කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ අවස්ථාවේදී එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ - උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබිය.

එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට එවක සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදා පංච පුද්ගල කොමිසමක් පත් කළේය.

කොමිසම විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබුණි.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්

පොලිස් සේවයේ මෙතෙක් හොඹවා ඇති තනතුරු

දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේදී පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබුවේය. අනතුරුව ඔහු 2006 – 2009 වකවානුව තුළ බස්නාහිර පළාතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.

2011වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලබන ඔහු 2012 – 2015 කාලසීමාව තුල මාතර පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා වශයෙන් කටයුතු කළේය.ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන්නේ 2015 වර්ෂයේදීය.වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, පසුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළේය.

2019 වර්ෂයේ නොවැම්බර් මස 29 වෙනිදා දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඔහු 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදා දින සිට එම තනතුරේ ස්ථිර පත්විම් ලබුවේය.2019 වසරේ දෙසැම්බර් මස 05 වෙනිදා සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරනු ලබයි.

මානව හිමිකම් චෝදනා සහ නීතිමය ක්‍රියා මාර්ග

2022 මැයි මස 09 වෙනිදා ගාලු මුවදොර දී ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට සිදුවූ පහරදීම මුල් කර ගෙන එම සිදුවීම වළක්වා ගැනීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු සිදුනොකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් වන නඩුවට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා ලිපියක් නිකුත් කරනු ලැබිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැඳී සිටි කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට 2022 ජූලි මස 09 වෙනිදා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ඇතුල් වීමෙන් පසු එහි කාමරයක තිබී හමුවූ රුපියල් එක් කෝටි හැත්තෑඅට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් මුදල කොටුව පොලිස් ස්ථානයට භාර දීමෙන් පසු ඒ ගැන අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක ඔහු සැකකරුවෙකු ලෙස නම් කරමින් සිතාසි නිකුත් කරනු ලැබිය.

කෙසේ වුවද මෙම නඩු දෙක සම්බන්ධයෙන් හෙතෙම අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සම් ගොනු කරනු ලැබිය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය බල රහිත කරන ලෙස අභියාචනාධිකරණය ජුනි 26 වැනිදා නියෝග කළේ ය.

එමෙන්ම ජුලි මස 9 වනදා ජනාධිපති මන්දිරය තුළදී සොයාගත් රුපියල් මිලියන 17.8 ක මුදල පිළිබඳ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කළ සිතාසිය ද බල රහිත කිරීමට අභියාචනාධිකරණය ජුනි 26 වැනිදා නියෝග කළේය.

මේ අතර 2022 වර්ෂයේ ජුලි මස 09 වෙනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව එල්ල වූ මහජන විරෝධයෙන් පසු දින එනම් ජුලි මස 10 වැනිදා කොළඹ, ගංගාරාමය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පුද්ගලයින් පිරිසක් පහර දෙන ලදී.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එම පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිස් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 2021 වසරේ දී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කිරීමේ සිදුවීම ක් ද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් තරිඳු ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

මීට අමතරව බස්නාහිර පළාත තුළ සිදුවූ මහජන විරෝධතා සහ මහජනඅරගලය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිලි කිහිපයක් ගොනු කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පුරප්පාඩු ව ඇති පොලිස්පති ධූරය සඳහා පත් කිරීමට සලකා බැලීම සහමුලින්ම නතර කර දමන්නැයි ඉල්ලමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජුනි 26 වැනිදා ලිපියක් යොමු කරනු ලැබ තිබේ.

කාදිනල් රන්ජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු, පොලිස්පති ධුරය සදහා කිසිසේත්ම සුදුසු නොවන බවය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම චෝදනා එල්ල වී තිබීම ඊට ප්‍රධානම හේතුව බව කාදිනල් හිමිපානෝ පෙන්වා දෙති.