අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝණය කළ බවට මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයෙන් චෝදනා

Ongoing anti-government protests against Sri Lanka's President Gotabaya Rajapaksa were met with water cannons and tear gas today on May 6, 2022 Protesters in front of Sri Lanka's parliament were met with force thrice today. (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ "සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි," මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි.

එම ආයතනය ඒ බව පවසන්නේ, අරගලය මර්දනය කිරීමට අදාළව නිකුත් කළ වාර්තාවක දත්ත පදනම් කර ගනිමිනි.

“Anatomy of a crackdown - The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව පිටු 60කින් සමන්විතය.

"පොලිසිය, හමුදාව සහ රජයට පක්ෂපාතී පිරිස් විසින් අතිමහත් ජනතාවට එරෙහිව සිදුකරන ලද බරපතළ හා ක්‍රමානුකූල මානව හිමිකම් කඩකිරීම් සවිස්තර වාර්තාවක්." එමගින් සපයන බව පෙන්වා දී තිබේ.

“Anatomy of a crackdown - The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, FIDH

ඡායාරූප ශීර්ෂ වැකිය, “Anatomy of a crackdown - The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව

අරගලයට හේතු වූ කරුණු

කොළඹදී ආරම්භ වූ අරගලයට බලපෑ කරුණු පිළිබදව ද අදාළ වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

"ශ්‍රී ලංකා ආණ්ඩුවේ දීර්ඝ කාලීන ආර්ථික අවපාලනයත්, දූෂණය සහ ඥාති සංග්‍රහය කෙරෙහි වර්ධනය වූ මහජන අතෘප්තියත් අරගලය නමින් හැදින්වූ විරෝධතාවලට මුල පිරූ," බව අදාළ වාර්තාව මගින් හදුනාගෙන තිබේ.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයේ (FIDH) මහ ලේකම් ඇඩිලර් රහ්මන් ඛාන් පවසන්නේ, "අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ සම්පූර්ණ දණ්ඩ මුක්තිය සහිත ප්‍රමිතීන් ක්‍රමානුකූලව උල්ලංඝණය කරනු ලැබූ," බවය.

ඊට අමතරව, "නැවත අරගලයක් ඇති වීම වැළැක්වීම සදහා මිලිටරි බලය සහ හදිසි අවස්ථා බලතල භාවිත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී දුන් ප්‍රතිඥාව රතු එළියක් ලෙස සැලකිය යුතු," බව ද මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ඔහු අවධාරණය කළේ, මේ පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාව සුපරික්ෂාකාරීව සිටින අතර විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ගරු කිරීමටත් රජයට බලපෑම් කිරීම අනිවාර්ය වන බවය.

සාමාකාමී රැස්වීම් විසුරුවා හැරීමට අනවශ්‍ය බලය භාවිත කිරීම

සාමකාමී රැස්වීමේ නිදහස සදහා ජනතාවට ඇති අයිතිය උල්ලංඝණය කරමින් එවැනි රැස්වීම් විසුරුවා හැරීම සදහා බලධාරීන් විසින් සජීවී පතොරම්, කදුළු ගෑස්, ජල ප්‍රහාර ආදී අනවශ්‍ය හෝ අසමානුපාතික බලය නිතර භාවිත කිරීමේ රටාවක් දැකගත හැකි වූ බව අදාළ වාර්තාවේ සදහන් වේ.

ඊට අමතරව, පොලිසිය අරගලයේ ක්‍රියාකාරීන් සහ සංවිධායකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට "අධිකරණ හිරිහැර, බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් ඇතුළු හිරිහැර හරහා ක්‍රමානුකූල මර්දනයකට යටත් කළ," බව ද එහි දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම

අරගලයට සහභාගි වූවන්ට සීමා පැනවීම සදහා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු නීිති අනිසි ලෙස භාවිත කළ බවට ද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

එහි දැක්වෙන්නේ, ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරන අතරතුර අරගලයේ විරෝධතාකරුවන්ට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගවීමක් නොමැති බවය.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) සමග ඒකාබද්ධව මෙම වාර්තාව සකස් කර තිබේ.

මෙම වාර්තාව පිළියෙල කිරීමේදී 2022 අගෝස්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයින් 42 දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා ද පදනම් කරගෙන ඇත.

FIDH යනු කුමක් ද?

1922 වසරේදී පිහිටුවන ලද පැරිස් නුවර කේන්ද්‍ර කර ගත් මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය ලොව පුරා රටවල් 116ක ක්‍රියාත්මක සාමාජික සංවිධාන 188ක් සමග ඒකාබද්ධ වී සිටී.

මෙමගින් එම රටවල ක්‍රියාත්මක සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමත්, සහය දැක්වීමත්, ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ගේ හඩට ඉඩක් ලබා දීමත් සිදුකෙරේ.