නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගනීද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අරලියගහමන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම සහ ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝ ගම දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (මැයි 17) පස්වරු 04 සිට අද (මැයි 18) අළුයම 1 දක්වා ඔහු එම ප්‍රකාශය ලබාදී ඇති බවයි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ චන්ද්‍රකුමාර ද මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවට පොලීසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවෙති.
CID ය විසින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එම මන්ත්‍රීවරුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අරලියගහමන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකුගෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි ඇති නම් මෙතෙක් හදුනාගෙන ඇති මන්ත්‍රිවරුන් ඇතුලු සැකකරුවන් 22 අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් ද ඇත.
මේ අතර කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු අද (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.
මේ තිදෙනා අතර මොරටුව නගර සභාවේ සේවකයෙක්ද සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ඊයේ කියා සිටියේ අදාල පහරදීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට දැනුම් දී ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිසගේ නම් ඇතුළත් ලැයිස්තුවට දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ද ඇතුළත් වෙයි.
අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස පහත පරිදි වේ:
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
- හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
- පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
- පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
- මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු
- බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
- කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම
- සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද්
- නාලක විජේසිංහ
- බන්දුල ජයමාන්න
- දිනෙත් ගීතක
- අමල් සිල්වා
- සමීර චතුරංග ආරියරත්න
- රුවන්වැල්ලේ රමණි
- තුසිත රණබාහු
- සජිත් සාරංග
- පුෂ්පලාල් කුමාරසිංහ
- සවීන් ප්‍රනාන්දු
- නිශාන්ත මෙන්ඩිස්
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ නඩු පවරන ලෙසට ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
මේ අතර සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බවට පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ දැනටමත් මෙම සිද්ධිවලට සම්බන්ධ විය හැකි බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22 දෙදෙනාගේ නාම ලේඛනයක් යොමු කරමින් අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න සම්බන්ධව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා එම උපදෙස් ලබාදී ඇති බවයි.
නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
"මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්න"
ගාලුමුවදොර අරගලයට පහරදීමට මුල් වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බල කරමින් සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට (මැයි 16) විරෝධතාවක නිරත විය.
"ඩීල් දාන්නැතිව මහින්දයව අත්අඩංගුවට ගන්න. ඒ බලපෑම කරන්න අපි ආවේ," පොලිස්පතිවරයා වෙත ලිපියක් භාරදීමට පැමිණී විරෝධතාකරුවෝ මෙහිදී ප්‍රකාශ කළෝ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
"අපිට ගහනකොට ඕගොල්ලේ අපිව ආරක්ෂා කළේ නැහැ මහත්තයෝ. මිනිස්සු අපිව රැක්කා. එක මැරයෙක්ට යන්න දුන්නේ නැහැ. අපේ ජීවිතය බේරුණේ ඕගොල්ලෝ නිසා නෙමෙයි, මේ රටේ මිනිස්සු හින්දා," සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මෙහිදී පොලීසිය වෙත ප්‍රකාශ කළේ ය.
"දවස 7ක් වෙලා තියෙනවා, අපිට ගහපු එක්කෙනයි අරන් තියෙන්නේ. එතකොට අපිට කියන්නේ ඕගොල්ලන්ව ෂුවර් කරන්න කියල ද? මහින්දගෙන් කටඋත්තරයක් ගන්න බැරිද? ඇයි ජොන්ස්ටන්ගෙන් කටඋත්තරයක් ගන්න බැරි? ඇයි දේශබන්දුගේ වැඩ තහනම් කරන්න බැරි?" ලිපිය භාර ගැනීමට පැමිණී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් විරෝධතාකරුවෝ මෙහිදී විමසා සිටියහ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
විරෝධතාකරුවන් පාගමනින් පොලිස් මූලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට ඊයේ (මැයි 16) උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි.
පිරිස පොලිස්පතිවරයා හමුවීම සඳහා පොලිස් මූලස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ ය.
"සාමකාමි අරගලයට පහර දීලා අද වෙනකොට දවස් 7 යි, ගහපු එවුන් සැප නින්දේ, පොලිස්පති බලා සිටියි, ආණ්ඩුව - පොලිසිය මැරයන් ටික රකිනවිට අරගලයම රැක ගන්නට පෙරට ආවේ මහජනය යි, සටන් කරපු මහජනයා පන්න පන්නා හිරේ දැම්මා, අණදුන්නේ මන්දිරයෙන් - ගුටිකෑවේ අපේ එවුන් බේරගන්න මඟට ආව අපේ එවුන් - උන් හොයන්නේ අපේ එවුන්," ආදී සටන් පාඨ කියමින් පිරිස පොලිස් මූලස්ථානය වෙත ගමන්ගත්හ.
මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා, පුද්ගලයන්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි සිදුකිරීම චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 398කි. ඒ අතුරින් 159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
කෙසේ නමුත්, මැයි 9 දා සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් තැනැත්තන්ගේ මුහුණු ඡායාරූප හා වීඩියෝවල පැහැදිලිව දක්නට හැකිව තිබියදීත් ඒ සම්බන්ධයෙන් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් තැනැත්තෙකු පමණි.










