අණ නොතකා වාහනය පදවන්නන්ට උරුම වෙඩි කා මිය යාම ද?

මෑත කාලයේ දී පොලිසිය විසින් සිදු කළ ආන්දෝලනාත්මක වෙඩි තැබීම් කිහිපයක් ම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෑත කාලයේ දී පොලිසිය විසින් සිදු කළ ආන්දෝලනාත්මක වෙඩි තැබීම් කිහිපයක් ම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල විය.

කුරුණෑගල, නරම්මල ප්‍රදේශයේ දී ලොරි රථ රියැදුරෙකුට සිදු කළ වෙඩි තැබීමද එවැනි ආන්දෝලනාත්මක සිදුවීමකි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය තුල නඩු විභාගයක් ද සිදු වන අතර එම ලොරි රථ රියැදුරාව වෙඩි තැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් හඹාවිත් ඇත්තේ ඔහු රථය නොනවත්වා ධාවනය කළේ යැයි පවසමින් ය.

තත්වය මෙසේ තිබිය දී අප්‍රේල් 22 දින රත්‍රියේ දී මිල්ලෑව, මොරගහහේන ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කළේ යැයි පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර එයින් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබේ. තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන එම පුද්ගලයන් පොලිස් අණ නොතකා ධාවනය කිරීමට ප්‍රථම ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහ කළේ යැයි පොලිසිය විසින් චෝදනා කරයි.

මෙලෙස රථයක් නොනවත්වා ධාවනය කිරීමේ දී රථයේ ගමන්ගන්නා පුද්ගලයන් මරණයට පත්වන ආකාරයෙන් වෙඩි තැබීමට පොලිසියට හැකියාවක් තිබේ ද? ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදි.

පොලිස් ආඥා පනතේ විධි විධාන

වෙඩි තැබිය හැකි අවස්ථා සම්බන්ධයෙන්, 1865 අංක 16 දරන පොලිස් ආඥාපනතේ 55 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ පොදු නියෝග ඇතුළත් කරමින්, 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරන ලද පොලිස් අත්පොතෙහි 4.10 වගන්තිය යටතේ විස්තර කර තිබේ.

එහි ඇති ආකාරයට, "තුවක්කු භාවිතා කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවලදී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වලදී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය."

එහි වෙඩි තැබීමට හැකි අවස්ථා කිහිපයක් ද විස්තර කර තිබේ.

මිනීමැරීම හෝ බරපතල තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම, දේපල සඳහා අනර්ථය සිදු කිරීම, රාත්‍රී කාලයේ දේපල කඩා ඇතුල්වීම, පදිංචි වී සිටින අයකුට බරපතල තුවාල සිදුකිරීමට හෝ මරණය සිදුවීමට හේතුවන පරිදි දිවා හෝ රාත්‍රී දේපලකට පහරදීම වැනි අවස්ථා එහි දක්වා තිබේ.

එමෙන් ම වෙඩි තැබීමට ප්‍රථම "වෙඩි තැබීමට ප්‍රථමයෙන්, එසේ වෙඩිතැබීම වහාම කළයුතු දැයි කල්පනා කර බලනු." යනුවෙන් එම නියෝගයේ දැක්වේ.

කෙසේ නමුත් වෙඩි තැබිය යුතු ආකාරය, වෙඩි තැබීමේ දී අවම හානියක් වන ආකාරයෙන් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හෝ කිසිඳු අර්ථකථනයක් මෙහි අඩංගු නොවේ. පිරිසක් රැස්ව කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා හැර අන් අවස්ථා ගැන ද එහි සඳහන් නොවේ.

පොලිසිය මොකද කියන්නේ ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අණ නොතකා යන රථ වාහන නතර කර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ගතහැකි ක්‍රියාමාර්ග මොනවා ද? යන්න පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ පොලිසියට ගත හැකි පළමු පියවර යතුරු පැදියක් හෝ වෙනත් වාහනයකින් අදාළ රථය පසුපස ලුහුබැඳීම බවය.

දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස අවට පොලිස් ස්ථාන හෝ අවශ්‍යතාව පරිදි දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත, පොලිස් අණ නොතකා රථයක් ධාවනය කරන බවට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තුන් වැනි ක්‍රියාමාර්ගය ලෙස වාහනය පසුපස ගොස් වාහනය නතර කරන ලෙස දැනුම් දීමට යළි පියවර ගන්නා බවත් ඔහු පැවසීය. “අපි හිතමු සංඥා කලාම නැවතුනේ නැහැ. ඒ නැවතුනේ නැත්තේ දැක්කෙ නැති නිසා හෝ හියුමන් එරර් එකක් නිසා වෙන්න පුළුවන් නේ. හියුමන් එරර් ඒකක් වුනොත් පොලිසිය කියලා දැනගත්තොත් ෆලෝ කරන කොට නවත්වනවා නේ. පොලිසිය අපි කියලා නවත්තන්න... නවත්තන්න කියලා නවත්තන්නේ නැතිව යනවා කියන්නේ ප්‍රශ්නයක් නේ. අන්න ඒතකොට අපි උත්සහ කරනවා නවත්ත ගන්න යම් කිසි උපක්‍රමයක්. අපිට හිතුනොත් තවදුරටත් මේ ගොල්ලෝ ළඟ සැකයක් තියෙනවා කියලා අපි වාහනයට.. ටයර් එකට වෙඩි තියලා අපි නවත්ත ගන්න උත්සහ කරනවා.”

“ඒ පැත්තෙන් වෙඩි තැබීමක් වුනොත්, ඒ ගොල්ලෝ වෙඩි තැබීමක් කලොත් වෙඩි තියනවා. නැත්නම් වෙඩි තියන්නේ නැහැ. ෆලෝ කරලා ෆලෝ කරලා අපි කොහොමහරි ගන්න බලනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“ඒගොල්ලන්ගෙන් අපිට හානියක් වෙන ආකාරයේ ආයුධයක්..වෙඩි තැබීම කියලා නැහැ. ජීවිතය රැක ගන්න අපි ඒකට සාපේක්ෂ බලයක් පාවිච්චි කරනවා.”

“දැන් මේ සිද්ධියෙදී වෙඩි තැබීම් දෙසැරයක්ම සිද්ධ වෙනවා. මුලින්ම රෝඩ් බ්ලොක් එකේදී ඒගොල්ලෝ වෙඩි තියෙනවා. ඊට පස්සෙත් වෙඩි තියනවා. ඒකෙන් ජීප් ඒකට තමා හානි වෙන්නේ.”

“මේ ව‌‌ගේ කාරණයකදී රථය නතර කර ගැනීම සඳහා අපි සාධාරණ බලයක් පාවිච්චි කරනවා. හැබැයි අපි වෙඩි තැබීම කියන ඒකට යන්නේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය රැක ගන්න අවස්ථාවක් උදා වුනොත් තමයි. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය රැක ගන්න වුනොත් ඒකට ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වෙනවා නේ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

'පවතින නීතියේ හිඩැසක් තිබෙනවා'

රථවාහන පොලිස් අණ නොතකා ධාවනය කිරීමේ දී ඔවුන් නවත්වාගැනීමට අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට වෙඩි තැබීමට ඇති බලය සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා යම් සම්මතයක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් විමසීමක් කරන ලදි.

කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ එවැනි ජාත්‍යන්තර වශයෙන් පොදුවේ පිළිගත් නියමයක් නොමැති බවයි. ශ්‍රී ලංකාව තුළ පවතින නීති රාමුව අනුව ඉහත විස්තර කළ පොලිස් ආඥාපනත ප්‍රකාරව උපදෙස් ලබා දී ඇති නමුත්, වෙඩි තැබීමක දී වෙඩි තැබිය යුතු ආකාරය පිළිබඳව හෝ කලහයක දී නොවන වෙනත් අවස්ථාවකදී, එනම් අණ නොතකා රථයක් නොනවත්වා ධාවනය කිරීමකදි වැනි අවස්ථාවලදී වෙඩිතැබිය යුතු ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපාදන නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

"ඕනෑම පුද්ගලයෙක් අධිකරණයකින් වරදකරු වෙන්න ප්‍රථම නිර්දෝෂී පුද්ගලයෙක් හැටියටයි සලකන්නේ. ඒ කියන්නේ ඔහු හෝ ඇය සැකකරුවෙක් පමණයි. පොලිසිය සැමවිටම උත්සහ කරන්න අවශ්‍ය ඒ සැකකරුව ජීවග්‍රහයෙන් අල්ලාගෙන, ඔහුට එරෙහි සාක්ෂි තිබෙනවා නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම. ඒක පොලිස් නිලධාරියෙකු සතුව පැවතිය යුතු වගකීමක්. "

"ගිනි අවියක් තිබූ පමණින් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියන්න හැකියාවක් නෑ. ඒ කලහය හෝ ගැටළුකරී තත්වය මැඬපවත්වා ගැනීමට වෙඩි තැබීම අත්‍යවශ්‍යයි කියලා නිලධාරියාට සිතෙනවා නම් පමණයි වෙඩි තැබීමක් සිදු කරන්න පුලුවන්. ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් සැකකරුවෙකුට වෙඩි තබන්න පොලිස් නිලධාරියෙකුට බලයක් නෑ," ඔහු පෙන්වා දෙයි.

නමුත් නිශ්චිත නීතිමය සීමාවන් නැති වීම ගැටළුවක් බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.

"වාහනයක් නැවැත්වීමට වෙඩි තැබිය යුත්තේ කෙසේද, එහෙමත් නැතිනම් දණහිසෙන් පහළට වෙඩි තබන්න ඕනෑ වගේ පිළිගැනීම් ගැන කිසිම නිශ්චිත නීත්‍යානුකූල සඳහනක් නෑ. මේ සමබ්න්ධයෙන් තියෙන්නේ පොලිස් ආඥා පනත යටතේ පොලිස්පතිවරයා නිකුත් කළ පොදු නියෝග පමණයි. ඒ නිසා ඒ එක එක ආකාරයෙන් වෙඩි තැබීම් සිදු කරනවා.වාහනයක් නවත්වාගන්න නම් වාහනයේ ටයර්වලට හෝ වාහනයට වෙඩි තබා නවත්වාගන්න පුළුවන්. නමුත් එහෙම නිශ්චිත නියමයක් නෑ"

ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙඩි තැබීමක දී පොලිස් නිලධාරීන්ට දණ්ඩනීති සංග්‍රහය තුළ ව්‍යතිරේඛයක් පවතින බවයි.

"වෙඩි තැබීමකින් මේ විදිහට පුද්ගලයෙක් මිය ගියා ම තමන් සද්භාවයෙන් රාජකාරියේ යෙදී සිටිය දී රාජකාරිය සඳහා වෙඩි තැබුවා කියන විත්තිවාචකය අනුව ඔවුන් මිනීමැරුමක් කළා කියලා සලකන්නේ නැතිව ඉන්න ව්‍යතිරේඛයක් තියෙනවා.ඒ නිසා නිශ්චිත නියෝග හෝ උපදෙස් නොමැති වීම විශාල ගැටළුවක්."

'වින්දිතයන්ට මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන්'

එහි දී අප විමසා සිටියේ මෙවැනි අවස්ථාවක වින්දිත පාර්ශවයට ගත හැකි පියවර මොනවාද යන්නයි.

"රථවාහන සම්බන්ධ හෝ එවැනි පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය සිදුවීමක දී මිය ගිය පුද්ගලයාගේ පවුලේ අයට හැකියාවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට. 2010 දී ඇඹිලිපිටිය පොලීසියේ දී සිදු වූ සැකකරුවකුගේ මරණයක් සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක (රත්නායක තරංගා ලක්මාලි එ. නිරෝෂන් අබේකෝන් ඇතුළු තවත් අය - SC/FR 577/ 2010 ) තීන්දුව 2019 වසරේ දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථනිරූපණය කළා රජයට කිසිම කෙනෙක්ගෙ ජීවිතය අත්තනෝමතික උදුරාගන්න බෑ කියලා. ඒ පදනම යටතේ පොලිසිය විසින් තමන්ට සිදු කළ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් හෝ මරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට වින්දිත පාර්ශවයට අයිතිය තිබෙනවා."

මීට අමතරව වින්දිතයා වධ හිංසාවට හෝ අඩම්තේට්ටම්වලට ලක්ව ඇති අවස්ථාවක දී අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

'වෙඩි තැබීම් ගැන නිර්දේශ පොලිසියට මෙතෙක් යවා නෑ'

අත්අඩංගුවේ සිටින සැකකරුවන් මිය යාම සහ පහරදීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියට නිර්දේශ සහ උපදෙස් ලබා දී ඇති නමුත් මෙතෙක් රථවාහන වලට වෙඩි තැබීම් සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් යවා නොමැති බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නිමල් පුංචිහේවා පවසයි. එවැනි සිදුවීමක් සිදුවූ වහාම ජනතාව ඒ බව මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීම සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"මෑතක දි වෙඩි තැබුවා කිවුවාට අපට වාර්තා වුණේ නාරම්මල සිදුවීම විතරයි. ඒ ගැන අපේ පරීක්ෂණ නිර්දේශ අධිකරණයට යවලා තියෙනවා. නමුත් අනෙක් සිදුවීම් ගැන අපට පැමිණිලි ලැබිලා නෑ. ජනතාව අපට පැමිණිලි ඉදිරිපත් කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා."