පොලිසියට මානව හිමිකම් පාඩමක් උගන්වන්න වෙයි ද?

ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව දිගින් දිගටම චෝදනා එල්ල වීම හේතුවෙන් පොලිසියේ මානව හිමිකම් චර්යාව පිළිබඳව නැවත විමසා බලන්නට සිදුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව දිගින් දිගටම චෝදනා එල්ල වීම හේතුවෙන් පොලිසියේ මානව හිමිකම් චර්යාව පිළිබඳව නැවත විමසා බලන්නට සිදුව තිබේ.

වත්මන් පොලිස්පතිවරයා මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ නිලධාරියෙකු බව අධිකරණය තීන්දු කිරීම මෙන්ම මුලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධ නඩුකරයන් කිහිපයක්ම සමථය කර ගැනීම සඳහා අදාළ වින්දිතයින්ගෙන් වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවීම ඉන් කැපී පෙනන සිද්ධි කිහිපයකි.

පොලිස්පති දේශබන්දු තෙන්කෝන් 2010 වසරේ නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සමයේ පුද්ගලයෙකුට වධ හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා ය.

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සමථ කර ගැනීමට 2024 මාර්තු 01 වැනිදා කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ වැඳ සමාව ගන්නා ලදී.

නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පෙබරවාරි මාසයේ දී 71ක් වයසැති ගොඩ්වින් පෙරේරා නමැති ජ්‍යේෂ්ඨ පුරවැසියාගෙන් දණ ගසා සමාව ඉල්ලීමට සිදු වුයේ පොලිස් නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සමථ කර ගැනීමට ය.

මෑතකදී පොලිස් නිලධාරින් හට සිවිල් පුරවැසියන්ගෙන් සමාව ගැනීමට සිදුවුයේ පාස්කු ප්‍රහාරයෙන් පසු හොරොව්පතාන ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ය.

එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් පෙත්සම්කරුවන් වු සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහනූර්ගේ සකරියා ගෙන් සමාව අයදින්නට සිදුවිය.

‘හිටපු පොලිස්පති හා වත්මන් පොලිස්පතිටත් වන්දි ගෙවන්න වෙලා’

බීබීසි සිංහල සේවය මීට පෙර වාර්තා කළ පරිදි මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් 2023 වසරේ දී සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක ( රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කරනු ලැබ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන පරිදි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල එය ලෙස සැලකෙයි.

මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20 කි.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතර හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ද වීම සුවිශේෂත්වයකි.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 කි.

2023 වසරේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට යාමේදී 11 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 වසරේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට යාමේදී 11 දෙනෙකු මරණයට පත්ව ඇත

වෘත්තියභාවයකින් යුත් පොලිස් සේවයක්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක පවසන්නේ පොලිස් නිලධාරින් පුහුණු කිරිමේ දී මානව හිමිකම් හා මුලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරන බව ය.

මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම රටේ නීතිය පාලනය සහතික කරන නිලධාරින්ගේ වගකීමක් වුවද පොලිසිය ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයි, නීතිඥවරයා චෝදනා කර සිටියේය.

“පොලිසිය කරන වධ හිංසා ගැන ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි නඩු කියන්නේ. ඊට වඩා වැඩියෙන් මුලික අයිතිවාසිකම් කඩවිම් විශේෂයෙන් වධ හිංසා පැමිණවිම් තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ සංඛ්‍යාලේඛන ගත්තත් පොලිසියේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ පැමිණිලි තමයි වැඩිම.”

විවිධ මෙහෙයුම් හරහා පොලිසියට ඉලක්ක ලබා දීම ද මානව හිමිකම් කඩවීමට ප්‍රධාන හේතුවක් බව ද නීතිඥවරයා සඳහන් කළේය.

මානව හිමිකම් විහිළුවට ලක් නොකර වඩා වෘත්තිය භාවයකින් යුත් පොලිස් සේවයක් හරහා මෙම ගැටලුව විසඳා ගත හැකි වනු ඇති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක පැවසීය.

අත්අඩංගුවට ගත් පසු රාජ්‍යයට පැවරෙන වගකීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අප්‍රේල් 3 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවක දී ඒහි කොමසාරිස් නිමල් පුංචිහේවා කියා සිටියේ 2024 මේ දක්වා පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

2023 වසරේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට යාමේදී 11 දෙනෙකු මරණයට පත්ව ඇත.

“කෙනෙක් රාජ්‍යයේ අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඔහුගේ ආරක්ෂාව සැපයිමේ වගකීමත් රාජ්‍යයට, ආණ්ඩුවට තියෙනවා.” යැයි කොමසාරිස්වරයා අවධාරණය කළේය.

“අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.”

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනිම් සම්බන්ධව පැමිණිලි 44ක් ලැබී ඇතැයි පැවසු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා ඒ පිළිබඳව විමර්ශන සිදුවන බව ද සඳහන් කළේය.

“මේ රටේ මේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම බරපතල කාරණයක්, සමාජ ව්‍යසනයක්, ඒක අද පාසල්වලට පවා පැතිරිලා ඒක අනාගතය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒක නිසා පොලිසියට වගකීමක් තියෙනවා, පොලිසියට බලතල තියෙනවා ඒක වළක්වන්න. අනිත් එක ඒක වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් ඒ වගකීමේ බලතල ක්‍රියාත්මක කරනකොට, ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද කියලත් නීතියේ තියෙනවා. කොමිසම විදියට අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.”

මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම වගකීමක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මාර්ගෝපදේශ ලබා දී තිබියදීත් තවදුරටත් පොලිසිය මගින් සිදුවන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව බීබීසී සිංහල, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළේය.

“කොමිසම හැටියට අපිට තියෙන්නේ මාර්ගෝපදේශ ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම තමයි ඒ අයගේ වගකීම වෙන්නේ. එතකොට ඒ මාර්ගෝපදේශ අනුව කටයුතු නොකර කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒක පැමිණිල්ලක් හැටියට අපට ඉදිරිපත් කළාම ඒක මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් හැටියට සලකළා අපි විභාගයට කැඳවනවා.”

මානව හිමිකම් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි බොහෝමයක්ම පොලිසිය විසින් නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධ පැමිණිලි බව කී කොමසාරිස් නිමල් පුංචිහේවා ඒ අතර අත්අඩංගුවට ගැනීම් හා පහර දීම් සම්බන්ධ පැමිණිලිත් ලැබී ඇති බව පැවසීය.