පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු රඳවාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය සමාව ගනියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙක් අද (අප්‍රේල් 01වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආචාර කර සමාව ඉල්ලා සිටියහ.
තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහනූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙලෙස සමාව ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් යලි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
එස්. තුරෙයි රාජා , කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
මෙම පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටියහ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බව ය.
2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍ය වලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.
එහෙත් පසුව තමන්ව සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.












