AI භාවිතයෙන් නිර්මාණ කරනවා නම් ඔබ සිතා බැලිය යුතු ම කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Stock photo / Deagreez
- Author, බීබීසී සිංහල
කෘත්‍රිම බුද්ධිය කෙතරම් අපගේ ජීවිතවලට සම්බන්ධ වී ඇති ද යත් එය අද බොහෝ දෙනෙකුගේ එදිනෙදා කාර්යයන්වලට නිතැනින් ම උපකාරී වන මෙවලමක් බවට පත්ව තිබේ.
අධ්‍යාපන කටයුතුවල සිට රැකියාවේදී පවා එය භාවිතයට ගන්නා බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය සමාජ විරෝධී ක්‍රියා සඳහා යොදා ගන්නා අවස්ථා ද නැතුවා නොවේ.
ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සංගමයේ ආරම්භක සාමාජික, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ආචාර්ය, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසෝක කරුණානන්දට අනුව, කෘත්‍රිම බුද්ධියෙන් (Generative artificial intelligence) පිළිතුරු ලබා ගැනීමේදී එම ප්‍රශ්නය යොමු කරන පරිශීලකයාගේ දැනුම් මට්ටම ඊට බලපායි.
"ඒ කියන්නේ අහන කෙනා මාතෘකාව ගැන දන්නේ නැතුව නම් අහන්නේ, එතකොට ඒ උත්තරය හරි ද වැරදි ද කියන එක නිකමටවත් හිතා ගන්න බැහැනේ," යැයි ඔහු පැවසුවේ එය ප්‍රධාන ගැටලුවක් ද බව පවසමිනි.
නමුත් ඊට අද වන විට විසඳුම් ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා මෙසේ ද සඳහන් කළේ ය: "ටියුරින්* කිව්වනේ 50 ගණන්වල, AI පටන් ගන්නත් කලින්, ඒ කියන්නේ අහන කෙනා මෝඩයෙක් නම්, මැෂින් එකට අපිව මෝඩයෙක් බවට පත් කරන්න පුළුවන්."
එසේ වුව ද මානවයාට තම ජීව විද්‍යාත්මක සීමා-මායිම් අභිබවා යා නොහැකි අවස්ථාවලදී කෘත්‍රිම බුද්ධිය උපකාරී වන බව ඔහු පැවසීය.
මෑතකදී ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් කතා බහක් නිර්මාණය වූයේ, මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය විකෘති ලෙස නිරූපණය කර තිබීම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab | Facebook
ඇතැම් පාර්ශව චෝදනා කළේ, එය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව ය. කෙසේ වෙතත්, ඒ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙන් ම අමාත්‍යංශ මට්ටමින් අභ්‍යන්තර විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.
එවැනි පසුබිමක කෘත්‍රිම බුද්ධිය යොදාගෙන යම් නිර්මාණයක් හෝ කාර්යයක් සිදු කර ගැනීමේදී පරිශීලකයින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
1. මම මේක හදන්නේ ඇයි? මේ tool එක පාවිච්චි කළ යුතු ද?
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සමග සංවාදයට එක් වෙමින් සඳහන් කළේ, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන යම් නිර්මාණයක් කිරීමට පෙර තම අරමුණ මෙන් ම ඒ සඳහා මෙම මෙවලම භාවිත කළ යුතු ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බව ය.
නමුත් නිසි අවබෝධයකින් තොරව එය භාවිත කිරීම ගැටලුවක් බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ, "මේක ඒ ඒ සීමා ඇතුළේ පාවිච්චි කරනවා නම් ගැටලුවක් නැහැ, යනුවෙනි.
ඒ සඳහා කෘත්‍රිම බුද්ධි සාක්ෂරතාව ඉවහල් වන බව ඔහු පැවසීය.
"AI පාවිච්චි කළ යුතු අවස්ථා මොනවා ද? නොකළ යුතු අවස්ථා මොනවා ද? පාවිච්චි කරනවා නම් ඒක කොහොම ද ඉතාමත් ම ප්‍රවේශම්ව පාවිච්චි කරන්නේ, කියන දේ තමයි AI සාක්ෂරතාව ඔස්සේ උගන්නන්නේ," විශේෂඥවරයා පැහැදිලි කළේ ය.
2. ඒක ඇත්තක් ද?
දෙවනුව අවධානය යොමු කළ යුතු වන්නේ කෘත්‍රිම බුද්ධිය විසින් ඔබ වෙත ලබා දෙනු ලබන තොරතුරුවල නිවරද්‍යතාව වෙත ය.
අසේල වෛද්‍යාලංකාර සඳහන් කළේ, අප ඒ වෙත ලබා දෙන තොරතුරුවල නිවරද්‍යතාව පිළිබඳව ද සිතා බැලිය යුතු බව ය.
"කන්ටෙන්ට් සහ ලෝගෝ වගේ දේවල් පාවිච්චි කරද්දී, හරි ඒවා ද පාවිච්චි කරන්නේ කියන එක ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. නිර්මාණයක් කරද්දී වගකීමක් සහ වගවීමක් තියෙනවනේ," ඔහු පැවසීය.
අවසානයේ එහි වගකීම පැවරෙන්නේ එය "ජෙනරේට් (generate)" කළ පුද්ගලයාට බව සයිබර් ආරක්ෂණ විශේෂඥවරයා පෙන්වා දුන්නේ ය.
3. අයිතිය ඇත්තේ කාට ද?
ඔබ යම් නිර්මාණයක් සිදු කරන්නේ නම් එහි ප්‍රකාශන අයිතිය ඇත්තේ කාට ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව සයිබර් ආරක්ෂණ විශේෂඥවරයා සඳහන් කළේ ය.
"අපි මොකක් හරි නිර්මාණයක් කරනවා නම්, එල්.එල්.එම්. (LLM) එකක් හරි, AI ටූල් එකක් පාවිච්චි කරලා හරි... අපි කල්පනාකාරී වෙන්න ඕනේ ඒක කොපිරයිට් කරලා ද කියන එක ගැන," ඔහු පැවසීය.
ඉකුත් සමයේ සමාජ මාධ්‍ය රැල්ලක් බවට පත් වුණු "Ghibli Style" උදාහරණය ලෙස හුවා දක්වමින් ඔහු පැවසුවේ, "අපි නිර්මාණයක් කරද්දී මොකක් හරි ස්ටයිල් එකක් පාවිච්චි කරනවා. එතකොට අපි හිතමු දැනටත් තියෙන ස්ටයිල් එකකට සමාන දෙයක් පාවිච්චි කරනවා කියලා. එතකොට අපි ඒකට අවසර අරන් තියෙනවා ද කියන ගැටලුව තියෙනවා," යනුවෙනි.
ඔහු පෙන්වා දුන්නේ, සංකල්ප ගොඩනගා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය ප්‍රයෝජනවත් බව ය. "conecpt to idea, idea to execution කියන ඒ පියවර තුන ඉතා ම කෙටි කාලයකින් ඔයාට කර ගන්න පුළුවන්," ඔහු පැවසීය.
4. කෙටි කාලීන සහ දිගු කාලීන බලපෑම්
කෘත්‍රිම බුද්ධිය යොදාගෙන යම් නිර්මාණයක් හෝ කාර්යයක් සිදු කර ගැනීමේදී එහි කෙටි කාලීන සහ දිගු කාලීන බලපෑම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර සඳහන් කළේ ය.
"එක්සිකියුෂන් එක ලේසියි. ඒ ලේසිය නිසා මේ දේවල් [පෙර සිතා බැලිය යුතු දෑ] අමතක කරන්න එපා."
එමෙන් ම, එම අනතර්ගතය මගින් තවත් පාර්ශවයක සිත් රිදීමක් ඇතිවන්නේ ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු වේ.
"ඒක තමයි සාක්ෂරතාව කියන්නේ. මේ ඔක්කෝ ම වෙන්නේ, මේ ටූල් එකේ බරපතළකම දන්නේ නැතුව නේ. එතැන තමයි මේකේ ගැටලුව තියෙන්නේ," ඔහු පැවසීය.
5. විනිවිදභාවය
අවසාන වශයෙන් ඔබ කෘත්‍රිම බුද්ධිය ලවා නිර්මාණය කර ගන්නා අන්තර්ගතයන්, එය භාවිතයෙන් නිර්මාණය කර ගත් බව පැවසීමට තරම් සදාචාරසම්පන්න විය යුතු බව සයිබර් ආරක්ෂණ විශේෂඥවරයා පෙන්වා දුන්නේ ය.
"ඇත්තට ම මම දැකලා තියෙනවා, නිව්ස් මීඩියාවලත් ගොඩක් AI ජෙනේරේටඩ් ඉමේජස් පාවිච්චි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ, සැබෑ ජීවිතයේදී හා සමාන ඉමේජස් පාවිච්චි කළා ම, මිනිස්සුන්ට හැඟීමක් එනවා, ඇත්තට ම ඒ වෙලාවේ ගත්ත පින්තූරයක් ද කියන එක.
මොකද කෘත්‍රිම බුද්ධි සාක්ෂරතාව නැති මනුස්සයෙක් ඒක දිහා බැලුවා ම හිතන්නේ, ආ මේ ඇත්තට ම ගත්ත එකක් කියලා. එතකොට එතැන විනිවිදභාවයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ම, නිව්ස් මීඩියාවල, යටින් හරි ලේබල් එකක් ගහන්න ඕනේ මේක AI පින්තූරයක් කියලා," ඔහු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, New York Times වැනි මාධ්‍ය ආයතන කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අවස්ථාවල, අදාළ නිර්මාණය කිරීමට යොදා ගත් "ප්‍රොම්ප්ට් එක පවා යටින් ලියනවා," යනුවෙනි.
කෘත්‍රිම බුද්ධිය සහ මානව සංජානනය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසෝක කරුණානන්ද පෙන්වා දුන්නේ, කෙතරම් නවීන තාක්ෂණ ක්‍රම ලෝකයට හඳුන්වා දුන්න ද, එය එක් එක් පුද්ගලයා ග්‍රහණය කර ගන්නා ආකාරය වෙනස් බව ය.
"තාක්ෂණය මිනිස්සු අතරට ගියා වුණාට ඒක එක එක මට්ටමින් තමයි යන්නේ මිනිස්සු අතරට. සමහරු හොඳට පාවිච්චි කරනවා. සමහරු නරකට පාවිච්චි කරනවා. ඒ හින්දා එකක් හින්දා අනෙක වළක්වනවා කියන දේ විවාදාත්මක දෙයක්. දෙපැත්ත ම තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
කෙනෙකුට යම් අවස්ථාවක ප්‍රයෝජනවත් දේ එම අවස්ථාවේදී ම තව කෙනෙකුට අවාසිදායක විය හැකි බව ඔහු පැවසීය.
"හැම න්‍යායක් ම සීමාවක් යටතේ තමයි වලංගුවෙන්නේ. ඒක වලංගු නොවන සීමාවක් අල්ලලා ඒකට පහර ගහන එක වැරදියි.
"ජෙනරේටිව් ඒඅයිවල තියෙන ප්‍රධාන දේ තමයි තමයි, ටෙක්ස්ට් හරි, වීඩියෝ හරි, සවුන්ඩ් හරි ඕනෑ ම දෙයක් දැන් තියෙන තැනින් එහාට ගිහිල්ලා ජෙනරේට් කරන්න පුළුවන් එක.
"ඔයාට ඔයාගේ අරමුණ, හරියට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයා ඒ ගැන අධ්‍යයනය කරපු කෙනෙක් නම්, ඔයා දන්නවා මේ කියන දේ හරි ද කියලා. හැබැයි ඕනෙ ම කෙනෙකුට ඔහොම එකක් ගහලා ඒ උත්තරය ගන්න බැහැ," මහාචාර්යවරයා පැවසීය.
කෙසේ වෙතත්, චින්තන ක්‍රියාවලියකින් තොරව සියල්ල කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සිදු කර ගැනීම අනාගතයේදී "මාන සංජානනයේ වටිනාකම" පිළිබඳව විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"තනිකර ම ඒක ලව්වා ලියනවා නෙවෙයි. එහෙම වුණොත් 'human cognition (මානව සංජානනය)' එකේ වටිනාකම නැති වෙලා යාවි තව ටිකක් කල් යද්දී."
*බ්‍රිතාන්‍ය ගණිතඥයෙකු වූ ඇලන් ටියුරින් නූතන පරිගණකකරණයේ නිර්මාතෘවරයා ලෙස සලකයි.














