නුදුරේදී ම ChatGPT ශෘංගාරාත්මක අන්තර්ගතයන් සඳහා දොර විවර කරන බව OpenAI ප්‍රධානියා පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ලිලී ජමාලි
- Role, උතුරු ඇමෙරිකානු තාක්ෂණ වාර්තාකරු
- Author, ලිව් මැක්මාන්
- Role, බීබීසී තාක්ෂණ මාධ්‍යවේදී
"වැඩිහිටි පරිශීලකයින්ට වැඩිහිටියන්ට මෙන් සැලකීමේ" ප්‍රවේශයේ කොටසක් ලෙස, OpenAI සිය ජනප්‍රිය චැට්බොට් එක වන ChatGPT සඳහා ශෘංගාරාත්මක අන්තර්ගතයන් (erotica) ඇතුළු පුළුල් පරාසයක අන්තර්ගතයන් හඳුන්වා දීම සඳහා සැලසුම් කරන බව එහි ප්‍රධානී සෑම් ඕල්ට්මන් පවසයි.
Xහි සටහන් තබමින් ඕල්ට්මන් පවසා තිබුණේ, මෙම ජනප්‍රිය චැට්බොට්හි ඉදිරියේදී පැමිණීමට නියමිත අනුවාදයන් (versions) එයට වඩාත් "මානුෂිය" ආකාරයකින් හැසිරීමට ඉඩ සලසනු ඇති බව ය - "ඒත් ඒ ඔබට අවශ්‍ය නම් පමණයි, නැතුව අපි අපේ පරිශීලකයින් ගණන වැඩි කර ගන්න හදන නිසා නෙවෙයි."
ඊලොන් මස්ක්ගේ xAI විසින් මෑතකදී Grok වෙත පරිශීලකයින් සමග වැඩිහිටියන්ට පමණක් වෙන් වූ අන්තර්ගත ගැන කතාබහ කළ හැකි චැට්බොට් දෙකක් හඳුන්වා දීම සිහිපත් කරන මෙම පියවර, OpenAI සමග මුදල් ගෙවා සම්බන්ධ ග්‍රාහකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරී විය හැකි ය.
එමෙන් ම එය චැට්බොට් සඳහා දැඩි සීමා හඳුන්වා දෙන ලෙස නීති සම්පාදකයින්ට එල්ල කරන පීඩනය ද තීව්‍ර කිරීමට ඉඩ ඇත.
අදහස් දක්වන ලෙස බීබීසීය කළ ඉල්ලීම්වලට OpenAI ප්‍රතිචාර නොදැක්වීය.
"මානසික සෞඛ්‍ය ගැටලු ඇති වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප ප්‍රවේශම් වන බව සහතික කිරීම සඳහා OpenAI මීට පෙර ChatGPT වෙත "තරමක් සීමාකාරී" පියවර ගත් බව ඕල්ට්මන් පැවසීය.
මෙම වෙනස්කම් ගැන අගෝස්තු මාසයේ බ්ලොග් සටහනකින් නිවේදනය කරන ලද අතර එය දැන් OpenAI වෙබ් අඩවිය තුළ පෙන්නන්ට නැත.
"මානසික සෞඛ්‍ය ගැටලු නොමැති බොහෝ පරිශීලකයින්ට මෙය ප්‍රයෝජනවත් බවින් අඩු/රසවත් බවින් අඩු බව අපට වැටහෙනවා, නමුත් ගැටලුවේ බරපතළකම සැලකිල්ලට ගෙන අපට මෙය නිවැරදි කිරීමට අවශ්‍ය වුණා," ඕල්ට්මන් සිය සටහනේ ලිවීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"දැන් අපට බරපතළ මානසික සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට සහ නව මෙවලම් ඇති නිසා" ChatGPTහි සීමා කඩිනමින් ලිහිල් කළ හැකි බව ඔහු පැවසීය.
ඔහු මෙසේ ද පැවසීය: "දෙසැම්බර් මාසයේ ඉඳලා, අපි වයස තහවුරු කරගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමත් සමග සහ 'වැඩිහිටි පරිශීලකයින්ට වැඩිහිටියන්ට මෙන් සලකන්න' මූලධර්මයේ කොටසක් ලෙස, වයස තහවුරු කළ හැකි වැඩිහිටියන් සඳහා ශෘංගාරාත්මක අන්තර්ගතයන් (erotica) වගේ දේවල්වලට ඉඩ දෙනවා."
සියදිවි නසාගත් ඇමෙරිකානු යෞවනයෙකුගේ දෙමව්පියන් විසින් මෙම වසර මුලදී OpenAI ආයතනයට එරෙහිව නඩු පවරන ලද සිදුවීමෙන් පසු මෙම වෙනස්කම් පැමිණ තිබේ.
16 හැවිරිදි ඇඩම් රේන්ගේ දෙමව්පියන් වන මැට් සහ මරියා රේන් විසින් ගොනු කරන ලද නඩුව, OpenAI වෙත මරණයක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ගත් පළමු නීතිමය ක්‍රියාමාර්ගය විය.
අප්‍රේල් මාසයේදී මියගිය ඇඩම් සහ ChatGPT අතර සිදු වූ කතාබහ නඩුවේදී ඉදිරිපත් කෙරුණු අතර, එයින් ඔහුට සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති බව පැහැදිලි කරන ආකාරය දැක්විය.
එම අවස්ථාවේ නිකුත් කළ නිවේදනයකදී, OpenAI ආයතනය බීබීසී වෙත පැවසුවේ තමන් මෙම චෝදනා ගැන සමාලෝචනය කරමින් සිටින බව ය.
"මෙම දුෂ්කර වේලාවේ අපි රේන් පවුලට අපගේ හදපිරි ශෝකය පළ කරන්නෙමු," යනුවෙන් සමාගම පැවසීය.
ළමා ආරක්ෂාව පිළිබඳ ගැටලු
එක්සත් රාජධානියේ මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ලිඛිත ශෘංගාරාත්මක අන්තර්ගතයන් (erotica) සඳහා වයස තහවුරු කිරීම අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත්, AI මගින් ජනනය කරන ලද ඒවා ඇතුළුව අසභ්‍ය රූප සඳහා පරිශීලකයින් තමන් තම වයස අවුරුදු 18ට වැඩි බව සනාථ කළ යුතු ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විචාරකයින් පවසන්නේ, OpenAI විසින් ශෘංගාරාත්මක අන්තර්ගත සඳහා සිය වේදිකාවේ ඉඩ ලබා දීමට ගත් තීරණය, ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමින් වැඩි නියාමනයක අවශ්‍යතාව පෙන්නුම් කරන බව ය.
"ChatGPTවල වැඩිහිටියන්ට පමණක් සීමා වූ සහ ශෘංගාරාත්මක කොටස්වලට දරුවන්ට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් සහතික කරන්නේ කොහොම ද?" නීති සමාගමක් වන Boies Schiller Flexnerහි හවුල්කරුවෙකු වන ජෙනී කිම් පැවසීය.
මෙටා සමාගමේ ඉන්ස්ටග්‍රෑම් ඇල්ගොරිතමය යොවුන් වියේ පරිශීලකයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට චෝදනා කරන නීති කෘත්‍යයකට ද කිම් සම්බන්ධ වී සිටින්නී ය.
"මෙම අවකාශයේ ඉන්න හැම තාක්ෂණික දැවැන්තයෙක් වගේ, OpenAI කරන්නෙත් අත්හදා බැලීම් වලට මිනිසුන් පාවිච්චි කරන එක," ඇය පැවසුවා ය.
අප්‍රේල් මාසයේදී, TechCrunch වාර්තා කළේ, OpenAI විසින් බාලවයස්කරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති පරිශීලක ගිණුම්වලට ශෘංගාරාත්මක දර්ශන ජනනය කිරීමට ඉඩ දෙන බව ය.
එවැනි අන්තර්ගතයන් සීමා කිරීම සඳහා සමාගම විසඳුමක් හඳුන්වා දෙන බව OpenAI එම අවස්ථාවේදී පැවසීය.
ලාභ නොලබන ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්ෂණ මධ්‍යස්ථානය (CDT) විසින් මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, සෑම සිසුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු හෝ ඔවුන් දන්නා කෙනෙකු AI සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බව වාර්තා කරන බව ය.
පසුගිය සඳුදා, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේප කළේය. එම පනත මගින් සංවර්ධකයින්ට දරුවන්ට AI චැට්බෝට් සහකරුවන් ලබා දීම අවහිර කිරීමට ඉඩ තිබුණි. මෘදුකාංගය හානිකර හැසිරීම් ඇති නොකරන බවට සමාගම්වලට සහතික විය නොහැකි නම් හානිකර හැසිරීම් සඳහා දිරිමත් කිරීමක් නොකරන බවට සමාගම්වලට ඔප්පු කළ නොහැකි නම්, ඒවාට දරුවන් වෙත AI චැට්බොට් සහකරුවන් ලබා දීම වැළැක්වීම මෙම නීතිය මගින් සිදු කිරීමට නියමිතව තිබිණි.
"නව යොවුන් වියේ පසුවන්නන් AI පද්ධති සමග ආරක්ෂිතව අන්තර් ක්‍රියා කරන ආකාරය ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි" යනුවෙන් නිව්සම් එය ප්‍රතික්ෂේප කරමින් පැවසීය.
ජාතික මට්ටමින්, එක්සත් ජනපද ෆෙඩරල් වෙළෙඳ කොමිසම (FTC) AI චැට්බොට් ළමුන් සමග අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳව සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පසුගිය මාසයේ එක්සත් ජනපද සෙනෙට් සභාවේදී, ප්‍රධාන පක්ෂ දෙකේ ම එකතුවෙන් පරිශීලකයින්ට ඔවුන්ගේ සංවර්ධකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීම ඉඩ සලසන නීතියක් හඳුන්වා දුන්නේ ය.
ශෘංගාරාත්මක අන්තර්ගතයන් හඳුන්වා දෙන්නේ ඇයි?
AI තාක්‍ෂණ සමාගම්වල වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබුණු මොහොතක ඕල්ට්මන්ගේ නිවේදනය සිදු විය.
OpenAIහි ආදායම වර්ධනය වෙමින් පවතින නමුත් එය කිසි විටෙකත් ලාභදායී මට්ටමකට ළඟා වී නොමැත.
ප්‍රධාන AI සමාගම් වෙළෙඳපළ තුළ වැඩි කොටසක් අත්පත් කර ගැනීම සඳහා සටනක යෙදී සිටින බව The Venture Alchemistsහි කතුවරයා වන ටුලේන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විෂය පිළිබඳ මහාචාර්ය රොබ් ලාල්කා පැවසීය.
"OpenAI එක ChatGPT වලින් දැක්ක වගේ වෙන මේ තරම් ඉක්මනින් මිනිස්සු අතරට යන්න වෙන කිසි ම සමාගමකට පුළුවන් වෙලා නැහැ," මහාචාර්ය ලාල්කා බීබීසී පුවත් වෙත පැවසීය.
"ඔවුන්ට හැකි තරම් වෙළෙඳපළ ආධිපත්‍යය අත්කර ගනිමින්, ඒ ඝාතීය වර්ධන වක්‍රය දිගේ ඉදිරියට යාමට අවශ්‍ය වුණා," ඔහු තවදුරටත් පැවසීය.














