AI නිසා සිදුවන සේවක කප්පාදුවෙන් සිහින බොඳ වන මධ්‍යම පාන්තිකයෝ

The image shows Indian workers at a software company seated in front of their computer screens. A woman wearing a white kurta is prominently seen, surrounded by male colleagues on either side.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, TCS වැනි සමාගම් ගෝලීය සේවාදායකයින් සඳහා අඩු වියදමකින් මෘදුකාංග නිෂ්පාදනය කිරීම සඳහා කුසලතා ඇති ලාභ ශ්‍රමය මත විශ්වාසය තබති
    • Author, නිඛිල් ඉනාම්දාර්
    • Role, බීබීසී පුවත්, මුම්බායි

ඉන්දියාවට ආභරණයක් බඳු මෘදුකාංග කර්මාන්තය තීරණාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටියි.

එරට විශාලතම පෞද්ගලික අංශ සේවායෝජකයා වන Tata Consultancy Services (TCS) මෙන් ම එහි විශාලතම තොරතුරු තාක්ෂණික සේවා සමාගම ද ඔවුන්ගේ මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ රැකියා 12,000කට වැඩි ගණනක්ක ප්පාදු කරන බවට නිවේදනය කර තිබේ. එම තීරණයත් සමග සමාගමේ ශ්‍රම බළකාය 2%කින් අඩු වනු ඇත.

මුම්බායි නගරය පදනම් කර ගත් මෙම මෘදුකාංග දැවැන්තයා යටතේ මිලියන භාගය ඉක්මවූ තොරතුරු තාක්ෂණික සේවකයන් පිරිසක් රැකියාවේ නිරත අතර එය ඉන්දියාවේ ඩොලර් බිලියන 283ක් වටිනා මෘදුකාංග කර්මාන්තය තුළ ව්‍යාපාර මෙහෙයුම් පෙරගමන්කරුවෙකු ලෙස ද කටයුතු කරයි. එය රට තුළ සුදු කරපටි රැකියා ක්ෂේත්‍රයේ කශේරුව ලෙස ක්‍රියා කරයි.

නව ක්ෂේත්‍රවල සිදු කරන ආයෝජන මෙන් ම එහි සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘතිය තුළ පවතින බාධා මධ්‍යයේ කෘත්‍රිම බුද්ධිය යෙදවීමත් සමග "අනාගතය සඳහා සමාගම සූදානම් කිරීමට" මෙම තීරණය ගෙන ඇතැයි TCS (Tata Consultancy Services) පවසයි.

TCS වැනි සමාගම් දශක ගණනාවක සිට ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා අඩු මිලට මෘදුකාංග නිෂ්පාදනය කිරීමට අඩු පඩි ලබා දී දක්ෂ සේවකයින් මත යැපුණු නමුත් එම කාර්යයක් කෘත්‍රිම බුද්ධිය මගින් ස්වයංක්‍රීයකරණය වීම සහ ලාභදායී මිනිස්බලය යොදා ගනිමින් පිරිවැය ඉතිරි කිරීම වෙනුවට ගනුදෙනුකරුවන් නව්‍ය විසඳුම් ඉල්ලා සිටීම හමුවේ එය උඩුයටිකුරු වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් TCS ප්‍රකාශ කර ඇත්තේ, "නව කුසලතා සහ භූමිකාවල වෙනස්කම් සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ත් එහිදී ශක්‍යතාවයෙන් තොර පිරිස් ඉවත් කෙරෙනු ඇති බව ත්" ය.

"තොරතුරු තාක්ෂණ සමාගම් ඔවුන්ගේ ශ්‍රම බළකාය අඩු කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා කාර්යයන්වල යෙදෙන සේවකයින් රඳවා තබා ගෙන කළමනාකරුවන් ඉවත් කරනවා," TeamLease Digitalහි ප්‍රධාන විධායක නිලධාරී නීති ශර්මා බීබීසීය වෙත පැවසුවා ය.

කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ්, දත්ත ආරක්ෂණ වැනි ක්ෂේත්‍රවල බඳවා ගැනීම්වල "දැවැන්ත වැඩිවීමක් ඇති", නමුත් එය පුද්ගලයින් සේවයෙන් ඉවත් කිරීමට සමාන වේගයකින් සිදු නොවන බව ඇය පවසයි.

TCS නිකුත් කළ නිවේදනය මගින් රටේ මෘදුකාංග ක්ෂේත්‍රයේ පවතින තියුණු "නිපුණතා නොගැලපීම" විශේෂයෙන් මතුකර දක්වා ඇතැයි විශේෂඥයෝ පවසති.

උත්පාදක AI (generative AI) ඵලදායිතාව ශීඝ්‍ර ලෙස ඉහළ නැංවීමට හේතු වන බැවින් "මෙම තාක්‍ෂණික වෙනස්කම ව්‍යාපාරවලට ඔවුන්ගේ ශ්‍රම බළකායේ ව්‍යුහය ගැන නැවත සලකා බැලීමට පොළඹවන අතර AIවලට ගැලපෙන භූමිකා සඳහා සේවකයින් යොමු කළ යුතු ද යන්න විශ්ලේෂණය කරමින් ඉන්නවා," යැයි Grant Thornton Bharatහි ආර්ථික විද්‍යාඥ රිෂී ෂා බීබීසීය වෙත පැවසීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සංගමයක්වන Nasscom පෙන්වා දෙන්නේ, 2026 වන විට ඉන්දියාවට AI වෘත්තිකයන් මිලියනයක් අවශ්‍ය වන බව ය. නමුත් රට තුළ සිටින තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 20%ක් හෝ කෘත්‍රිම AI කුසලතාවලින් හෙබි පුද්ගලයින් නොවේ.

තාක්ෂණික සමාගම් අනාගතය සඳහා නව AI කුසලතාවලින් සමන්විත සංචිතයක් සූදානම් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බැවින් එම සමාගම්වල නිපුණතා ඉහළ නැංවීම සඳහා දරන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන අතර එවැනි කුසලතා නොමැති පුද්ගලයින්ට රැකියා අහිමි වීම සිදුවේ.

The image is of the Mumbai headquarters of TCS. It is an ornate colonial building in brown stone, with golden plates of TATA and Tata Consultancy Services displayed on either side of the main door.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් ඇස්තමේන්තුවකට අනුව 2026 වන විට ඉන්දියාවට AI වෘත්තිකයන් මිලියනයක් අවශ්‍ය වේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගෝලීය ආයෝජන බැංකු සමාගමක් වන Jeffries පෙන්වා දෙන පරිදි කෘත්‍රිම බුද්ධියේ ආගමනයත් සමග සිදුවූ ව්‍යුහාත්මක වෙනස්කම්වලට අමතරව TCS නිකුත් කර ඇති නිවේදනය "ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අංශය මුහුණ දෙමින් සිටින පුළුල් ලෙස වර්ධනය වන අභියෝග පිළිබිඹු කරයි."

"කර්මාන්ත මට්ටමින් ගත්තා ම ඉවත් වූ හෝ සේවයෙන් පහ කළ අය අඩු කිරීමෙන් පසු බඳවා ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2022 ඉඳලා දුර්වල මට්ටමක තිබුණේ. ඒකට හේතුව සේවා හෝ නිෂ්පාදන සඳහා අපේක්ෂිත ඉල්ලුමේ තිබුණු දිගුකාලීන මන්දගාමීත්වය," ජෙෆ්රීස් සටහනක පැවසීය.

ඉන්දියාවේ ප්‍රධාන මෘදුකාංග සමාගම්වල ආදායමෙන් අඩකට දායක වන තොරතුරු තාක්ෂණ සේවා සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ඉල්ලුම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු මගින් බලපෑමට ලක්ව තිබේ.

තීරු බදු මගින් ප්‍රධාන වශයෙන් භෞතික භාණ්ඩ ඉලක්ක කර ඇති අතරතුර එම තීරුබදු මත පවතින අවිනිශ්චිතතාවයේ ආර්ථික බලපෑම සහ ඔවුන්ගේ ගෝලීය මූලාශ්‍ර උපාය මාර්ග යළි සලකා බලනවිට සමාගම් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ වියදම් නතර කරමින් සිටින බව විශ්ලේෂකයින් පවසයි.

කෘත්‍රිම බුද්ධිය වෙත යොමු වීම ඉහළ යාම ඇමෙරිකානු සමාගම් පිරිවැය අඩු කර ගැනීමේ සාකච්ඡා සඳහා පොළඹවා ඇති අතර ම ඉහළ සේවක පිරිසක් සිටින තොරතුරු තාක්ෂණ සමාගම්වලට සුළු සේවක පිරිසක් සමග කටයුතු කිරීමට බල කෙරී ඇත.

කලක පටන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වූ බැංගලෝර්, හයිද්‍රාබාද් සහ පූනේ වැනි නගරවලට මෙහි ප්‍රතිවිපාක එල්ල වීම ආරම්භ වී තිබේ. ඇස්තමේන්තුවකට අනුව, පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ 50,000කට පමණ රැකියා අහිමි වී ඇත. එමෙන් ම ඉන්දියාවේ දැවැන්තම තොරතුරු තාක්ෂණ සේවා සමාගම් හය තුළ ශුද්ධ සේවක බඳවා ගැනීම් 72%කින් පහත වැටී තිබේ.

Bangalore city aerial view with skyscrapers behind a carpet of green covering, and amber-hued skies.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ මෘදුකාංග විප්ලවය බැංගලෝර් වැනි නව සමෘද්ධිමත් නගර බිහි කළේ ය

සෑම වසරකදී ම එරට ශ්‍රම බළකායට ඇතුළු වන මිලියන සංඛ්‍යාත තරුණ උපාධිධාරීන් සඳහා රැකියා උත්පාදනය කිරීමේ අරගලයක නිරත වී සිටින ඉන්දියාවේ පුළුල් ආර්ථිකයට මේ සියලු කරුණු හමුවේ බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතී.

රට තුළ ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක අඩුවක් පැවති මොහොතක, 1990 දශකයේදී ඉන්දියාව ලෝකයේ මෙහෙයුම් කාර්යාලය බවට පත් කරන ලද මෙම මෘදුකාංග සමාගම්, තොරතුරු තාක්ෂණ අංශයට පිවිසෙන නව සේවකයින් සිය දහස් ගණනක් සඳහා ඔවුන්ගේ වඩාත් ම කැමති රැකියා විකල්පය විය. ඒවා රට තුළ නව, ධනවත් මධ්‍යම පන්තියක් බිහි කළ අතර, බොහෝ නගරවල වර්ධනයක් ඇති කර මෝටර් රථ සහ නිවාස සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීය.

එහෙත් ස්ථාවර, මනා වැටුප් සහිත රැකියා අඩුවෙමින් පවතින බැවින්, වර්තමානයේදී ඉන්දියාවේ සේවා ප්‍රමුඛ ආර්ථික වර්ධනය පිළිබඳ ප්‍රශ්න මතුව තිබේ.

මෑත වසර කිහිපය දක්වා ම ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සෑම වසරක ම නව උපාධිධාරීන් 600,000ක් පමණ ඔවුන්ගේ සමාගම්වලට බඳවා ගෙන තිබිණි. නමුත් ගත වූ අවසන් වසර දෙක තුළදී එම සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් 150,000ක් දක්වා පහත වැටී ඇතැයි TeamLease Digital පෙන්වා දෙයි.

තොරතුරු තාක්ෂණ, මූල්‍ය කටයුතු හෝ පර්යේෂණ සහ සංවර්ධනය වැනි සහයක කාර්යන් ඉටු කරන බහුජාතික සමාගම්වල අක්වෙරළ සමගාම් වන අලුතින් පිහිටුවන ලද මූල්‍ය තාක්ෂණ සහ GCC (global capability centres) වැනි අනෙකුත් නැගී එන අංශ ඉන් ඉතිරි වන සේවකයින් බඳවා ගන්නා නමුත් අවම වශයෙන් "නව උපාධිධාරීන්ගෙන් 20-25%කට රැකියා නොලැබෙනු ඇතැයි," ෂර්මා පවසයි.

ඇය පෙන්වා දෙන්නේ "තොරතුරු තාක්‍ෂණ සමාගම් විසින් සිදු කරන ලද සේවක බඳවා ගැනීමේ ප්‍රමාණයට GCCවලට කිසි විටෙකත් සේවකයින් බඳවා ගත නොහැකි බව" ය.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මෙම ප්‍රවණතාවල ආර්ථික ප්‍රතිඵල වෙත අවධානය යොමු කිරීම ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අංශයේ කප්පාදු කිරීම් ඊට "අනුබද්ධ සේවා සහ කර්මාන්ත ‍රැසකට ඍණාත්මක ලෙස බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින අතර දේපළ වෙළෙඳාම් බිඳ වැටීම සහ උසස් තත්ත්වයේ භාණ්ඩ සහ සේවා මිල දී ගැනීම සහ පරිභෝජන හැකියාව සඳහා විශාල බලපෑමක් එල්ල කළ හැකියි," යැයි දකුණු ඉන්දියාවේ විශාලතම අන්‍යොන්‍ය අරමුදල් නියෝජිතයෙකු වන ඩී මුතුක්‍රිෂ්ණන් TCS සමාගමේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සිය X ගිණුමේ සඳහන් කර තිබේ.

ව්‍යවසායකයෙකු සහ මෝටර් තාක්‍ෂණ සමාගමක් වන Atombergහි නිර්මාතෘ අරින්දම් පෝල් කෘත්‍රිම බුද්ධි අංශයේ පසුබෑමෙන් ඉන්දියාවේ මධ්‍යම පන්තියට එල්ල විය හැකි බලපෑම පිළිබඳ මීට මාස කිහිපයකට පෙර LinkedInහි සටහනක් මගින් අනතුරු අඟවා තිබිණි.

"අද පවතින සුදු කරපටි රැකියා ක්ෂේත්‍රයේ රැකියා 40-50%ක් පමණ නොපවතිනු ඇත," පෝල් සඳහන් කර තිබිණි "එයින් අදහස් කරන්නේ මධ්‍යම පන්තියේ සහ පරිභෝජනයේ අවසානයි කියන එක."

කෘත්‍රිම බුද්ධි විප්ලවය මගින් ගෙන එන බාධා රාශියකට ඉන්දියානු තාක්ෂණික දැවැන්තයින් කෙතරම් ඉක්මනින් අනුගත වේ ද යන්න තීරණය කරනු ඇත්තේ ගෝලීය තාක්ෂණික ලෝකයේ ඉන්දියාවට ශක්තිමත්ව හා තරගකාරීව සිටිය හැකි ද යන්න මත ය. එමෙන් ම, එහි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසි පරිදි පවත්වා ගත හැකි පරිභෝජන මධ්‍යම පන්තිය පුළුල් කළ හැකි ද යන්න මත ය.