අනාගතයේදී ඉල්ලුම වැඩි රැකියා ක්ෂේත්‍ර 5 තුළ රැකියාවක් කිරීමට ඔබ ඉගෙන ගත යුතු දේ

Futuristic image of a young man and young woman with smart glasses looking at a digital screen with computer code

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශාල දත්ත, ක්ලවුඩ් පරිගණකකරණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්‍ෂණයන්හි වේගවත් දියුණුව ශ්‍රම වෙළෙඳපොළ තුළ කම්පනයක් සහිත වෙනසක් ඇති කරනු ඇතැයි පුරෝකථනය කර ඇත
    • Author, ඔලෙග් කාර්ප්‍යාක්
    • Role, බීබීසී යුක්‍රේන සේවය

ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර වර්තමානයේ පවතින බොහෝ රැකියා ඉක්මනින් නැති වී යන තත්ත්වයක් මතුව තිබේ.

ලෝක ආර්ථික සංසදය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව එවැනි තත්ත්වයක් සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි. නව තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය දියුණු වීම සහ හරිත ආර්ථිකය හා තිරසරභාවය කරා ගමන් කිරීම එම සාධක වේ.

මහා පරිමාණ දත්ත, ක්ලවුඩ් පරිගණකකරණය සහ කෘතිම බුද්ධිය වැනි නව තාක්‍ෂණයන්හි වේගවත් දියුණුව ශ්‍රම වෙළෙඳපොළ තුළ කම්පනයක් සහිත වෙනසක් ඇති කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එහි පවතින සතුටුදායක පුවත වන්නේ, නව තාක්‍ෂණයනයේ ආගමනය සමස්ත ආර්ථිකයට ම ප්‍රබෝධයක් ලබා දීම ය. ඒ ඔස්සේ ඇතැම් රැකියා අහිමි වී යන අතර තවත් බොහෝ රැකියා නිර්මාණය වේ. සියල්ලට ම වඩා ව්‍යාපාරයකට අඩු සම්පත්වලින් වැඩි ඵලදායීත්වයක් ලබා ගත හැකි විට, එය ස්වභාවිකව ම පුළුල් වේ.

ලෝක ආර්ථික සංසදයේ පර්යේෂකයන් පවසන්නේ, ඉදිරි වසර පහක කාලය තුළ දැනට පවතින සියලු ම වෘත්තීන්ගෙන් හතරෙන් එකක් පමණ වෙනස් වනු ඇති බව ය.

එබැවින්, තරගකාරී ශ්‍රම වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට නම් වඩවඩාත් නව නිපුණතා වර්ධනය කර ගැනීම හා හැකියාවන් ඔප් නංවා ගැනීම මෙන් ම අධ්‍යයන කටයුතුවල නිරත වීම කළ යුතු ය.

ඉහළ කුසලතා

නව ශ්‍රම වෙළෙඳපොළේ තරගකාරී ස්ථාවරයක් ඇති කර ගැනීමට අත්කර ගත යුතු ප්‍රධාන කුසලතාවක් වන්නේ, තාක්ෂණික සාක්ෂරතාව යි.

සෑම පුද්ගලයෙකු ම පරිගණක භාෂා දැන සිටිය යුතු බව හෝ කෘත්‍රිම බුද්ධියේ දුෂ්කරතා තේරුම් ගත යුතු බව මින් අදහස් නොවේ.

Apprentice engineer working in medical electronics machinery manufacturing factory

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනාගතයේදී STEM නමින් පොදුවේ හඳුන්වන රැකියා ලොව තුළ වඩාත් ජනප්‍රිය වනු ඇතැයි විශ්වාස කෙරෙයි. STEM යනු විද්‍යාව (Science), තාක්‍ෂණය (Technology), ඉංජිනේරු (Engineering) සහ ගණිතය (Mathematics) යන ක්ෂේත්‍ර හඳුන්වන පදයකි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අනාගතයේදී, STEM රැකියා සඳහා ඇති ඉල්ලුම තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. STEM යනු විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන එකිනෙකට වෙනස් නමුත්, එකිනෙකට සම්බන්ධ තාක්ෂණික විෂයයන් එකට එකතු කරමින් භාවිත කරන පදයකි.

එබැවින්, ඔබේ දරුවා පාසලේදී වැඩි අවධානයක් යොමු කළ යුතු විෂයයන් මොනවා දැයි ඔබ සිතන්නේ නම්, ඒ සඳහා ඇති පිළිතුර ගණිතය, පරිගණක විද්‍යාව සහ ස්වාභාවික විද්‍යා යන විෂයයන් ය.

මීළගට සොයා බැලිය යුතු කුසලතාව වනුයේ, විශ්ලේෂණාත්මක චින්තනය යි. එය වැඩි දියුණු කිරීම සඳහා යම් පුද්ගලයෙකුට සිය සංජානන හැකියාවන් ඔප්නංවා ගැනීම වැදගත් වේ. වෙනත් වචනවලින් කිවහොත්, රටා හඳුනාගැනීමේ හැකියාව, කරුණු සම්බන්ධ කිරීම සහ හැඟීම් හෝ පෞද්ගලික කැමැත්ත මගින් අවහිර නොවන නිගමනවලට එළඹීමට හැකි විය යුතු ය.

එය ඉටු කර ගැනීම සඳහා, ඔබ අවධානයෙන් සිටීම සහ මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. ඊට හේතු වන්නේ නවීන උපකරණ, සමාජ ජාල, පරිගණක ක්‍රීඩා සහ වෙළෙඳ දැන්වීම් අපගේ අවධානය ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් සටන් කරන හෙයින් අපගේ අවධානය මඟ හැරී යාමේ බියක් ඇති වීම යි.

විශ්ලේෂණ කුසලතා සඳහා කුතුහලය සහ අඛණ්ඩ ස්වයං අධ්‍යාපනය ද ඇතුළත් වේ. එබැවින් කුසලතා වැඩිදියුණු කිරීමට සහ ඉගෙනීමට, ඔබේ ඉලක්කය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමට ඔබට හැකි විය යුතු ය.

ඉහළ මට්ටමකින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම ද ඔබ අත්කර ගත යුතු ඉතා වටිනා කුසලතාවකි.

එසේ ම, නිර්මාණශීලීත්වය ද ඉතා වැදගත් වේ. විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නිර්මාණ හෝ කලාව යන ක්ෂේත්‍රවල, තාක්ෂණික සාක්ෂරතාව නිර්මාණශීලීත්වය සමඟ ඒකාබද්ධ කර ගැනීමට සමත් වන පුද්ගලයන්ට ඉහළ උසස්වීම් පිරිනමනු ලැබේ.

Teenage girl building robot

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, සැලසුම් හෝ කලාව තුළ නිර්මාණශීලීත්වය තවමත් සාර්ථකත්වය දරයි

කෘත්‍රිම බුද්ධි යුගය තුළ විශේෂයෙන් ම සන්නිවේදනය සහ සංවේදනය ඉතා ඉහළ වටිනාකමක් ඇති කුසලතා දෙකක් වනු ඇත.

යන්ත්‍ර කෙතරම් වේගයෙන් දියුණු වුව ද, මිනිසුන්ට සැම විට ම මිනිසුන් අවශ්‍ය වනු ඇත. ජනයාගේ අවධානය, කණ්ඩායම් ක්‍රියාකාරකම්, සවන් දීමට ඇති හැකියාව, කතාවක් කීමට ඇති හැකියාව, සහයෝගය සහ අනුකම්පාව ඊටත් වඩා අගැයීමට ලක් වනු ඇත.

වෘත්තිකයන් සඳහා නිර්මාණය කර ඇති සමාජ ජාලයක් වන LinkedIn හි 2020 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව සන්නිවේදනය, වර්තමාන රැකියා වෙළඳපොළ සඳහා වැඩි ම ඉල්ලුමක් ඇති කුසලතාව බවට පත්ව තිබේ.

“වැඩ කරන ස්ථානයේ කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය භාවිතය, වර්ධනය වන දූරස්ථ ශ්‍රම බළකාය සහ තාක්‍ෂණය අපට ලොව පුරා සිටින පුද්ගලයින් සමග සම්බන්ධ වීමට ඉඩ සලසා දීමත් සමග, ඇත්ත වශයෙන් ම එකිනෙකාට කතා කිරීමට සහ සවන් දීමට සහ සම්බන්ධතා ඇති කර ගැනීමට අප දැන සිටීම වඩා වැදගත් නැහැ,” සේවා ස්ථාන කුසලතා සම්බන්ධ විශේෂඥයෙකු වන ඩෑන් නෙග්රෝනි පවසයි.

නවීන තාක්ෂණය

නුදුරු අනාගතයේදී ද තොරතුරු තාක්‍ෂණය සහ නව තාක්‍ෂණය වඩාත් බලාපොරොත්තුසහගත කර්මාන්ත හා සේවා අතරට පැමිණීම පුදුමයක් නොවනු ඇත. කෘත්‍රිම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනීම සම්බන්ධයෙන් ලබා ගන්නා දියුණුව හරහා අනාගතයේදී ආකර්ෂණීය රැකියා අවස්ථා උදා කර දෙනු ඇත.

මෙම ක්ෂේත්‍රයේ අනාගත වෘත්තීන්ගෙන් එකක් වන්නේ කෘත්‍රිම බුද්ධිය මෙහෙයවන ඉංජිනේරු ශිල්පය යි. ඔහු කෘත්‍රිම බුද්ධියේ ආකෘති සමග සන්නිවේදනයේ විශේෂඥයෙකු වන අතර ඉල්ලුම නිවැරදිව සපුරාලීමට සහ කෘත්‍රිම බුද්ධිය සහ මිනිසුන් අතර යම් ආකාරයක අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට උපකාරී වේ.

Software engineer developers working on program coding across computer screens

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනාගතයේදී සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සඳහා වන ඉල්ලුම සහ රැකියා අවස්ථා හිඟ නොවනු ඇත

කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ වෙනත් රැකියා අතර කෘත්‍රිම බුද්ධියට අදාළ ආචාර ධාර්මික වෘත්තිකයෝ ඇතුළත් වෙති. ඔවුන් කෘත්‍රිම බුද්ධිමය ආචාර ධර්ම පිළිබඳ විශේෂඥයින්, ආරක්ෂක ඉංජිනේරුවන් සහ මානව-යන්ත්‍ර අන්තර්ක්‍රියා සඳහා පරිශීලක-හිතකාමී පරිගණක පද්ධති සංවර්ධකයින් විය හැක.

පොදු සමාජය තුළ විවිධ වෘත්තීන්හි නියුතු පුද්ගලයින්ට පුහුණු කරනු ලබන්නේ, කෘත්‍රිම බුද්ධිය තරගකරුවෙකු ලෙස නොව හවුල්කරුවෙකු ලෙස වටහාගෙන ක්‍රියාකරන ලෙසයි. එමෙන් ම, කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමටත් උපදෙස් ලබා දෙයි.

තවත් ක්ෂේත්‍රයක් වන්නේ Netflix වැනි සබැඳි වේදිකාවල සිට හැඩ්රෝන් කලයිඩර් හෝ පාලන පද්ධති දක්වා විශාල දත්ත, විශාල තොරතුරු විශ්ලේෂණය කිරීම ය.

ලොව වටා පවතින්නේ වඩාත් සංවේදී තොරතුරු බැවින් අනාගතයේදී සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සඳහා ද රැකියා හිඟයක් ඇති නොවනු ඇත.

මූල්‍ය තාක්ෂණය පිළිබඳ විශේෂඥයින්, ව්‍යාපාර විශ්ලේෂකයින් සහ මහා පරිමාණ පරිගණක පද්ධති සංවර්ධකයින් ද අනාගතයේදී අවශ්‍ය වනු ඇත.

හරිත රැකියා

ලෝක ආර්ථික සංසදයේ 2023 අනාගත රැකියා වාර්තාවට අනුව විවිධ ක්ෂේත්‍ර සහ කර්මාන්ත තුළ හරිත රැකියා සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වර්ධනය වේ.

"ගෝලීය වශයෙන් ගත් කල, 2030 වසරේ හරිත සංක්‍රාන්තියේදී පිරිසිදු බලශක්ති, කාර්යක්ෂමතාව සහ අඩු විමෝචන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියා මිලියන 30ක් උත්පාදනය වනු ඇතැයි," එම වාර්තාව පවසයි.

මේ වන විට, හරිත බලශක්ති සහ තිරසර සංවර්ධන ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා පවතින ප්‍රමුඛ රටවල් වන්නේ බටහිර රටවල් සහ ජපානයයි. චීනය ක්‍රමයෙන් එම අවස්ථා නිර්මාණය කරමින් සිටී.

Construction worker installing solar panels

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක ආර්ථික සංසදය අනාවැකි පළ කරන්නේ, 2030 වන විට ගෝලීය හරිත සංක්‍රාන්තිය ඔස්සේ පිරිසිදු බලශක්ති, කාර්යක්ෂමතාව සහ අඩු විමෝචන තාක්ෂණය යන අංශ ඔස්සේ රැකියා මිලියන 30ක් නිර්මාණය කළ හැකි බව ය.

ව්‍යාපාර, විද්‍යාව, දේශපාලනය හෝ සෘජුව ම පරිසරයට සම්බන්ධ විය හැකි ය, පුනර්ජනනීය බලශක්තිය හෝ නව බලශක්ති ප්‍රභවයන් සහ බැටරි සංවර්ධනය කිරීම, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ සංරක්ෂණය කිරීම, ව්‍යාපාරික උපදේශනය හෝ, උදාහරණයක් ලෙස, නීතිමය පුහුණුව සහ පාරිසරික ආරක්ෂණ නීතිවල වෙනස්කම් යන අංශවලට මෙම රැකියා සම්බන්ධ වනු ඇත.

නගර සැලසුම්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන් සහ සුහුරු නිවාස සංවර්ධකයින් සඳහා ද ඉහළ ඉල්ලුමක් ඇති වනු ඇත.

සෞඛ්‍ය වෘත්තිකයින්

ලෝක ජනගහනය වයස්ගත වෙමින් පවතී. ඊට සාපේක්ෂව ආයු අපේක්ෂාව වැඩි වෙමින් පවතී. ඒ අනුව, රැකවරණය සහ ප්‍රතිකාර කිරීම වඩාත් අවශ්‍ය වනු ඇත.

Hospital colleagues checking medical records database

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයින් රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ නව ක්‍රම අධ්‍යයනය කිරීමට හා ඒවාට හැඩ ගැසීමට කටයුතු කළහොත් ඔවුන්ට විශාල ඉල්ලුමක් නිර්මාණය වනු ඇත.

එබැවින් අනාගතයේදී සෞඛ්‍ය වෘත්තිකයන්ට විශාල ඉල්ලුමක් පවතිනු ඇත. රෝගියාට ඖෂධ පමණක් නොව සදාචාරාත්මක වශයෙන් සහයෝගය ද ලබා දෙන වෛද්‍ය වෘත්තිකයින්ගේ අවශ්‍යතාව දැඩිව පවතී.

වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය විශේෂඥයින්ට නව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඉගෙනීමට සහ ඒවාට අනුගත වීමට සිදුවේ. ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය ද උපකාර වනු ඇත.

මනෝචිකිත්සකයින් සහ පුද්ගල සංවර්ධන උපදේශකයින් හෝ අධ්‍යාත්මික ක්‍රමවේද පිළිබඳ උපදේශකයින් සඳහා ද රැකියා පවතිනු ඇත.

කායික ශ්‍රම දායකයින්

කාර්මිකයින්, අලුත්වැඩියා කරන්නන්, විදුලි කාර්මිකයන් හෝ ඉදිකිරීම්වල නිරතවන්නන් වැනි කායිකව හෝ භෞතිකව සිය ශ්‍රමය ලබා දෙන වෘත්තිකයන් අනාගතයේදී තවදුරටත් අවශ්‍ය වනු ඇත.

Two young apprentices are learning on the job from an experienced farmer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෘෂිකාර්මික කෂේත්‍රයේ නව වෘත්තීන් සඳහා වන ඉල්ලුම ද අනාගතයේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ

විවිධ තත්ත්වයන් යටතේ කුඩා හා නිරවද්‍ය කාර්යයන් කිරීමට අවශ්‍ය වූ විට, මිනිසා වෙනුවට යෙදවිය හැකි විකල්පයක් තවමත් නොමැත. එහෙත්, ක්ෂේත්‍රයේ රැඳී සිටීමට සහ ඉල්ලුම පවත්වාගෙන යාමට නම් මෙම විශේෂඥයින්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කර ගැනීම සහ ස්මාර්ට් මෙවලම් සම්බන්ධ දැනුම ප්‍රගුණ කර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.

කෘෂිකර්මාන්තය තුළ පවතින නව වෘත්තීන් සඳහා පවතින ඉල්ලුම ද ඉදිරියේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෘථිවියේ ජනගහනය වැඩිවෙමින් පවතින අතර, සෑම කෙනෙකු ම ආහාර අවශ්‍යතා සපුරා ගත යුතු ය. එහෙත් ගොවීන්ට වඩා කුසලතා පූර්ණ ඉංජිනේරුවන්ට ඇති ඉල්ලුම යළිත් ඉහළ යනු ඇත.

තවදුරටත් ඉතිරි නොවන රැකියා

ශ්‍රම වෙළෙඳපොළෙන් ඉක්මනින් ඉවත් වීම ඇරඹෙන රැකියා රැසක් තිබේ. ඒ, නව තාක්ෂණය සහ මෙවලම් ඔස්සේ ස්වයංක්‍රීයව සිදු කර ගැනීමට පහසු වෙමින් පවතින සේවා ය.

ශ්‍රම වෙළෙඳපොළෙන් ඉක්මනින් ඉවත් විය හැකි රැකියා ලැයිස්තුවකි, මේ:

  • පාරිභෝගික සේවා (මුදල් අයකැමි , විකුණුම්කරුවන්, උපදේශකයින්, ආදිය);
  • කාර්යාල කළමනාකරණය (දූරස්ථව වැඩ කිරීම වැඩි වීම හේතුවෙන්)
  • දත්ත ඇතුළත් කිරීම (සංඛ්‍යා ලේඛන, මූල්‍ය, යතුරු ලියන්නන්, තාක්ෂණික පරිවර්තක ආදී ක්ෂේත්‍රවල ලිපිකරුවන්)
  • ගිණුම්කරණය
  • සමාන කාර්යයන්වල නිරත වන කර්මාන්ත ශාලා කම්කරුවන්

කතන්දර කීම

අනාගත තත්ත්වයන් විශ්ලේෂණය කරන විශේෂඥයින් කලාතුරකින් සඳහන් කරන තවත් එක් වෘත්තියක් වන කතන්දර කීම, අනාගතයේදී නිසැකව ම අවශ්‍ය වනු ඇත.

Portrait of a young girl writing in her diary.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මානව අත්දැකීම් සම්ප්‍රේෂණයට අදාළ කලාව ඇතුළු ඕනෑ ම නිර්මාණාත්මක කාර්යයක් අභියෝග මැද නොනැසී පවතිනු ඇත

මීට වසර දහස් ගණනකට පෙර අවශ්‍ය වූවා සේ ම, මිනිසාගේ ජීවන අත්දැකීම් සම්ප්‍රේෂණයට අදාළ ඕනෑ ම නිර්මාණාත්මක කාර්යයක් තවදුරටත් සුවිශේෂී වනු ඇත.

කෘත්‍රිම බුද්ධිය නව අභියෝග ගෙන ආවත් ලේඛකයන්, කවියන්, අධ්‍යක්ෂවරුන්, නළුවන්, විකට නළුවන්, කලාකරුවන් සහ සංගීතඥයන් තවදුරටත් අවශ්‍ය වනු ඇත.