ජූලියන් අසාන්ජ් යනු කවු ද? ඔහු හෙළිදරව් කළ රහස් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්, තමන් එක්සත් ජනපදයට භාර දීම වැළැක්වීමේ සිය අවසන් උත්සහය ගැනීම සඳහා පෙබරවාරි 20 වන දින මහාධිකරණයට වෙත යාමට නියමිත ය.
2019 සිට එක්සත් රාජධානියේ සිර ගෙයක සිටින අසාන්ජ්, 2010 සහ 2011 යන වසරවලදී රහසිගත හමුදා ලිපිගොනු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට අවශ්‍යව සිටී.
ජූලියන් අසාන්ජ් යනු කවු ද සහ විකිලීක්ස් යනු කුමක් ද?
අසාන්ජ් නව යොවුන් වියේදී ම පරිගණක වැඩසටහන්කරණය (computer programming) සඳහා කීර්තියක් දිනා ගත් අයෙකි.
1995 වසරේදී, ඔහුගේ උපන් රට වන ඔස්ට්‍රේලියාවේ අධිකරණයකදී පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීමේ වැරදි (hacking offences) සම්බන්ධයෙන් ඔහුට දඩ නියම වූ අතර, නැවත එය සිදු නොකරන බවට පොරොන්දු වූ බැවින් සිරගත වීම වැළකිණි.
2006 වසරේදී අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කළේ ය. එහි යුද්ධය, ඔත්තු බැලීම සහ දූෂණය සම්බන්ධ රහසිගත තොරතුරු ඇතුළත් නිල වාර්තා ඇතුළු මිලියන දහයකට වඩා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.
2010 වසරේදී එය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කරන අයුරු දැක්වෙන එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක සටහන් වී තිබුණු වීඩියෝවක් නිකුත් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Wikileaks
හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක චෙල්සි මැනින් විසින් සපයන ලද රහස්‍ය ලේඛන දහස් ගණනක් ද එමගින් ප්‍රකාශයට පත් කෙරිණි.
මේවායින් පෙන්වා දී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී ප්‍රසිද්ධියට පත් නොකෙරුණු සිදුවීම්වලදී එක්සත් ජනපද හමුදාව සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කර ඇති බව ය.
එක්සත් ජනපද රජය විකිලීක්ස් වෙත ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2019 වසරේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මෙම හෙළිදරව් කිරීම විස්තර කළේ "එක්සත් ජනපද ඉතිහාසයේ රහසිගත තොරතුරු හෙළිදරව් වුණු විශාලතම සිදුවීම" ලෙසිනි.
එක්සත් ජනපද බලධාරීන්ගේ නීතීඥයින් පැවසුවේ, මෙම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේදී ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සිටින පුද්ගලයින් නම් කිරීමෙන් ඔවුන්ට "බරපතළ හානියක්, වධහිංසා පැමිණවීමක් හෝ මරණය පවා අත්කර දීමේ අවදානමකට" ලක් කර ඇති බව ය.
අසාන්ජ් අවධාරණය කළේ, මෙම ලිපිගොනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන ලද බරපතළ අපයෝජනයන් හෙළිදරව් කර ඇති බවත්, ඔහුට එරෙහිව පවරා ඇති නඩුව දේශපාලනිකව අභිප්‍රේරණය වූවක් බවත් ය.
සංවේදී තොරතුරු ලබා ගැනීම සඳහා ඇමෙරිකානු හමුදා දත්ත ගබඩාවලට අනවසරයෙන් ඇතුළු වීමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, වැරදි 18ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
අසාන්ජ් එක්සත් ජනපදයට ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීහු උදර්පණ කටයුතු ආරම්භ කළහ.
වරදකරු වුවහොත් ඔහුට වසර 175ක සිරදඬුවමක් නියම වනු ඇතැයි ඔහුගේ නීතීඥයෝ පවසති. කෙසේ වෙතත් ඇමෙරිකානු රජය පවසන්නේ වසර හතරත් හයත් අතර සිරදඬුවමක් පැනවීමට වැඩි ඉඩක් පවතින බව ය.
ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට යවා නැත්තේ ඇයි?
ඔහු භාර දෙන ලෙසට 2019 වසරේ එක්සත් ජනපදය කළ ඉල්ලීමට නඩු විභාග මාලාවකින් පසු අධිකරණය අවසර දුන් නමුත් අසාන්ජ් එම තීරණය අවලංගු කිරීම සඳහා වසර කිහිපයක් සටන් කළේ ය.
වෙනත් වරදක් සම්බන්ධයෙන් ඔහු 2019 වසරේදී ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවන ලද අතර අධිකරණය මගහැරීමේ ඔහුගේ අතීත ක්‍රියා හේතුවෙන් එක්සත් ජනපදයට භාර දීම සම්බන්ධයෙන් වන නඩුව විභාග වන අතරතුර ඔහු එහි රඳවා තැබිණි.
2021 වසරේදී, මහාධිකරණය ඔහු භාර දිය යුතු බවට තීන්දු කළේ, දුර්වල මානසික සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ඔහු එක්සත් ජනපද බන්ධනාගාරයක් තුළ සිය දිවි නසා ගත හැකි බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව තහවුරු කළ අතර එවකට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් එම උදර්පණ නියෝගය තහවුරු කළා ය.
අසාන්ජ් 2024 පෙබරවාරි 20 සහ 21 යන දිනවල නැවත මහාධිකරණයට පැමිණෙන්නේ, අභියාචනා කිරීමට ඔහුට අවසර දීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් පෙර ලබා දුන් තීන්දුවක් නැවත සලකා බැලීම සඳහා වන නඩු විභාගයක් සඳහා ය.
ඔහුගේ ආධාරකරුවන් පවසා ඇත්තේ, මෙය ඔහුගේ අවසන් නීතිමය අභියෝගය විය හැකි බව ය.
කෙසේ වෙතත්, ඔහුගේ නීතීඥයින් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට ද ඉල්ලුම් කර ඇති අතර, ඔහු අමෙරිකාව වෙත භාර දීම අවහිර කළ යුතු බවට තීන්දු කරන ලෙස එමගින් ඉල්ලා ඇත.
ජූලියන් අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ ජීවත් වූයේ ඇයි?
2010 වසරේදී ස්වීඩන් බලධාරීන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේ, ඔහු රට තුළ සිටියදී කාන්තාවක දූෂණය කර තවත් කාන්තාවකට අතවර කළ බවට චෝදනා කරමිනි.
එම චෝදනා "පදනම් රහිත" බව ඔහු පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇප මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අසාන්ජ් තමන් වෙත භාර දෙන ලෙස ස්වීඩනය එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටියේ ය.
වසර දෙකක නීතිමය සටන් පැවති නමුත් 2012 වසරේදී එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ප්‍රශ්න කිරීම සඳහා ස්වීඩනයට භාර දිය යුතු බවට තීන්දු කළේ ය.
කෙසේ වෙතත්, ඔහු ඒ වෙනුවට ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ ය. විකිලීක්ස් වෙත සහය දැක්වූ එවකට රටේ ජනාධිපති රෆායෙල් කොරයා විසින් එය ලබා දුන්නේ ය.
අසාන්ජ් තානාපති කාර්යාලයේ වසර හතක් ගත කළ අතර ගායිකාවක වන ලේඩි ගාගා සහ රංගන ශිල්පිනී පැමෙලා ඇන්ඩර්සන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයෝ නිරන්තරයෙන් ඔහු බැලීමට පැමිණියහ.

ඡායාරූප මූලාශ්‍රය, PA
2019 අප්‍රේල් මාසයේදී ඉක්වදෝරයේ නව ජනාධිපති ලෙනින් මොරේනෝ අසාන්ජ්ට තානාපති කාර්යාලයෙන් පිටව යන ලෙස නියෝග කළේ, ඔහුගේ "නොහික්මුණු සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම", ඔහුගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව ලැබුණු පැමිණිලි සහ ඔහු තානාපති කාර්යාලයේ ආරක්ෂක ලිපිගොනු වෙත ප්‍රවේශ වන බවට ඇති වූ සැකය හේතුවෙනි.
අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් තානාපති කාර්යාලය තුළදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව ඔහුට නඩු පැවරුණේ ඇප කොන්දේසි කඩ කරමින් ස්වීඩනයට යැවීම සඳහා අධිකරණය වෙත භාර නොවී සිටීම නිසා ය.
ඔහුට සති 50ක සිර දඬුවමක් නියම විය.
2019 නොවැම්බරයේදී, ස්වීඩන් බලධාරීන් අසාන්ජ්ට එරෙහි ඔවුන්ගේ නඩුව ඉවත් කර ගත්තේ, ඔහුට චෝදනා එල්ල වී ඇති වැරදි සිදු වී බොහෝ කාලයක් ගත වී තිබූ බැවිණි.
ජූලියන් අසාන්ජ්ගේ බිරිඳ ස්ටෙලා අසාන්ජ් කවු ද?
අසාන්ජ් 2022 වසරේදී බෙල්මාර්ෂ් බන්ධනාගාරය තුළදී ඔහුගේ දිගුකාලීන සහකාරිය වූ නීතිඥ ස්ටෙලා මොරිස් සමග විවාහ විය.
මෙම යුවළ 2015 වසරේදී ඔවුන්ගේ සම්බන්ධතාව ආරම්භ කළ අතර, ඔවුන්ට දාව දරුවන් දෙදෙනක් සිටිති. ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ ජීවත්වූ අවධියේදී එම දරුවන් බිහි කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අසාන්ජ් මහත්මිය ඇඳ සිටියේ, අසාන්ජ් [ඇමෙරිකාවට] භාර දීමට එරෙහිව හඬ නැගූ ඩේම් විවියන් වෙස්ට්වුඩ් විසින් නිර්මාණය කරන ලද මංගල ඇඳුමක් ය.
ඔවුන්ගේ දරුවන් දෙදෙනා ම අසාන්ජ්ගේ පියා සහ සහෝදරයා සමග මංගල උත්සවයට සහභාගි වූහ.












