ජුලියන් අසාන්ජ්ට 'රහසිගතව දරුවන් දෙදෙනෙක්'

ජුලියන් අසාන්ජ්ට 'රහසිගතව දරුවන් දෙදෙනෙක්'

ඡායාරූප මූලාශ්‍රය, PA Media

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටි කාලය ඇතුළත දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත් වූ බව ඔහුගේ සහකාරිය හෙළිදරව් කළාය.

ස්ටෙලා මොරිස් පවසන්නේ ජුලියන් අසාන්ජ් සමඟ තමා 2015 පටන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් ඔහුට දාව උපන් දරුවන් දෙදෙනා තනිවම හදාවඩා ගත් බවත් ය.

ඇය මේ බව හෙළිදරව් කළේ, ජුලියන් අසාන්ජ් මේ වන විට රඳවා සිටින බෙල්මාශ් බන්ධනාගාරය තුළ නව කොරෝනාවෛරසය පැතිරයාමේ බියක් පළවෙමින් පවතින අතරවාරයේ ය.

එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටි ඔහු එම බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවේ මීට වසරකට පෙරය.

48 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික අසාන්ජ් සිය සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් ඇප ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

දකුණු අප්‍රිකාවේ උපන් ස්ටෙලා මොරිස් නීතිඥවරියකි. අසාන්ජ් සමඟ පෙම් සබඳතාවක් පැවතුණු බවට ප්‍රථම වරට හෙළිදරව් කරමින් ඇය 'The Mail' පුවත්පතට කියා සිටියේ අසාන්ජ් ගේ "ජීවිතය අනතුරක් අද්දර" පවතින බවය.

නව කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් ඔහුට ඉන් දිවි ගලවා ගැනීමේ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ස්ටෙලා පවසන්නීය.

විකිලීක්ස් වෙබ් අඩවියට අයත් 'යූ ටියුබ්' ගිණුමේ පළ කර ඇති වීඩියෝවක ස්ටෙලා පවසන්නේ තමන්ට අසාන්ජ් මුලින්ම මුණ ගැසුණේ 2011 වසරේදී ඔහුගේ නීතිඥ කණ්ඩායමට එක් වූ අවස්ථාවේ දී බවය.

විකිලීක්ස් වෙබ් අඩවියට අයත් 'යූ ටියුබ්' ගිණුමේ පළ කර ඇති වීඩියෝවක ස්ටෙලා පවසන්නේ තමන්ට අසාන්ජ් මුලින්ම මුණ ගැසුණේ 2011 වසරේදී ඔහුගේ නීතිඥ කණ්ඩායමට එක් වූ අවස්ථාවේ දී බවය

ඡායාරූප මූලාශ්‍රය, WIKILEAKS

ඡායාරූප ශීර්ෂ වැකිය, විකිලීක්ස් වෙබ් අඩවියට අයත් 'යූ ටියුබ්' ගිණුමේ පළ කර ඇති වීඩියෝවක ස්ටෙලා පවසන්නේ තමන්ට අසාන්ජ් මුලින්ම මුණ ගැසුණේ 2011 වසරේදී ඔහුගේ නීතිඥ කණ්ඩායමට එක් වූ අවස්ථාවේ දී බවය

ලිංගික අපයෝජන චෝදනා මත ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.

නමුත්, ඔහුට එරෙහිව තිබූ ලිංගික අපයෝජන චෝදනා පසුව ඉවත්කර ගෙන තිබිණි.

ඇමෙරිකාවද අසාන්ජ් තම රටට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටී. ඒ ඇමෙරිකානු රහස්‍ය තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙනි.

ස්ටෙලා පවසන්නේ අසාන්ජ් හමුවීමට දිනපතාම පාහේ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයට ගිය අතර එමගින් ඔහු පිළිබඳව "හොඳින් දැන හඳුනා ගැනීමට" අවස්ථාවක් ලැබුණු බවය.

අනතුරුව, 2015 දී දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් හට ගත් බවත් ඉන් වසර දෙකකට පසුව දෙදෙනා අතර විවාහය ලියාපදිංචි කෙරුණ බවත් ඇය පවසන්නීය.

තම දරුවන් දෙදෙනා උපත ලබන මොහොත වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ අසාන්ජ් නැරඹු බව ස්ටෙලා 'ද මේල්' පුවත්පතට පවසා තිබේ.

තම පියා බැලීමට දරුවන් දෙදෙනා ඉක්වදෝර තානාපති කාර්යාලයට ගොස් ඇති බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

තුන් හැවිරිදි ගේබ්‍රියෙල් සහ එක් හැවිරිදි මැක්ස් වීඩියෝ දුරකථන තාක්ෂණය ඔස්සේ සිය පියා සමඟ කතා බහ කරන බව ස්ටෙලා හෙළි කළාය.

"පවුල් ජීවිතයක් ඇති කර ගැනීමේ එකම අරමුණ ඔහු වටා බැඳ ඇති පවුරු බිඳ දමා සිර මැදිරියෙන් එපිට ජීවිතයක් ගැන සිතීම" පමණක් ම බව විකිලීක්ස් වෙබ් අඩවියට අයත් 'යූ ටියුබ්' ගිණුමේ පළ කර ඇති වීඩියෝවේ ස්ටෙලා පවසන්නීය.

"මේ වගේ සන්දර්භයක් තුළ පවුල් ජීවිතයක් ආරම්භ කිරීම හොඳ සිහියෙන් නොකළ දෙයක් ලෙස බොහෝ දෙනාට පෙනී යා හැකි නමුත් සියල්ල අව්‍යාජව තබා ගැනීම සඳහා අපට නම් හොඳ සිහියෙන් කළ යුතුව තිබූ එකම දෙය මෙය වුනා."

"දරුවන් දෙදෙනා ඉතාම සතුටින් වෙනවා." අසාන්ජ්ගේ සහකාරිය ස්ටෙලා මොරිස් තවදුරටත් පවසන්නීය.

ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් තමන්ව ඇමරිකාවට භාර දෙනු ඇතැයි අසාන්ජ් බියෙන් පසු විය.

යුදමය සහ රාජ්‍යතාන්ත්‍රික රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපිලේඛන දහස් ගණනක් 'විකිලීක්ස්' වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේදී නඩුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන්න ඊට හේතුවී තිබේ.

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි ඉක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුණේ 2019 අප්‍රේල් 11 වැනිදා ය.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට භාරවීමට අපොහොසත් වීම නිසා බවය.

අනතුරුව ඔහුට සති 50ක සිර දඬුවමක් පැනවීය. ඒ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මතය.

පසුගිය සැප්තැම්බරයේ දී ඔහුගේ සිර දඬුවම නිම වී බෙල්මාශ් බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිතව තිබුණි.

නමුත් විනිසුරුවරයා කියා සිටියේ, සැඟවී සිටීමට උත්සාහ කරන ඉතිහාසයක් සහිත පුද්ගලයෙකු බැවින් රටින් පිටුවහල් කිරීම සඳහා පවතින නඩු විභාගය අවසන් වනතුරු අසාන්ජ් සිරගත කොට තැබිය යුතු බවය.

අසාන්ජ් රටින් පිටුවහල් කිරීම සඳහා පවතින නඩු විභාගයට අදාළ ලිපි ගොනුවක ස්ටෙලා මොරිස් ගේ දරුවන් දෙදෙනාගේ තොරතුරු ද පවතින බව 'ද මේල්' වාර්තා කරයි.

ජුලියන් අසාන්ජ් ට තවත් දරුවන් සිටින බවට විශ්වාස කෙරේ. නමුත් ඔවුන් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉතා සවල්පයකි.

ඔහුට ඩැනියෙල් අසාන්ජ් නමින් වැඩිමහල් පුත්‍රයෙකු සිටින බවත් ඔහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන බවත් වාර්තා වී තිබුණි.

එක්සත් රාජධානියේ බන්ධනාගාර තුළ සිටින සිරකරුවන්ගෙන් දහසකට අධික පිරිසකට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්ෂණ මතු වී ඇතැයි නිල වාර්තා සඳහන් කරයි.

කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මියගිය සිරකරුවන් අතරින් එක් අයෙකු බෙල්මාශ් බන්ධනාගාරයේ රැඳවියෙකු බව අභ්‍යන්තර දත්ත අනුව සනාථ වන බව බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යංශය තහවුරු කළේය.

කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ගැනීම සඳහා අඩු අවදානම් සිරකරුවන් 4000ක් පමණ නිදහස් කරනු ඇති බවට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබේ.

මෙම තොරතුරුද දැනගන්න: