තායිලන්තයේ ආගමන නීති ලිහිල් කිරීම නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින්ට ලැබෙන වාසි මොනවාද?

Tourists take pictures on a bench next to the White Temple. The "Wat Rong Khun" most commonly known as the "White Temple" was designed and constructed by famous Thai artist Chalermchai Kositpipat and opened to visitors in 1997.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරක ව්‍යාපාරය තායි ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන අතර එය වසංගත තත්ත්වයෙන් පසු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී නොමැත.
    • Author, කෙලී නැග් සහ තන්‍යාරාත් ඩොක්සෝන්
    • Role, සිංගප්පූරුව සහ බැංකොක් සිට

තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ අරමුණින් වීසා රහිතව රටට ඇතුළුවීමේ යෝජනා ක්‍රමය රටවල් 93ක් දක්වා වැඩි කර තිබේ.

සඳුදා (ජූලි 15) සිට ක්‍රියාත්මක වූ මෙම නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 60ක් දක්වා අග්නිදිග ආසියානු රටක් වන තායිලන්තයේ රැඳී සිටිය හැකි ය.

මීට පෙර, වීසා රහිතව එරටට ඇතුළු වීමට අවසර දී තිබුණේ, රටවල් 57කට පමණි.

ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන සහන

තායිලන්තයේ නව සංචාරක වීසා යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයින්ට ද සහනයක් ලබා දී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට on arrival වීසා, එනම්, තායිලන්තයට ගොඩ බැසීමෙන් පසුව වීසා ලබා ගත හැකි ය.

මෙම නව ක්‍රමය අනුව, ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රලාභීන්ට තායිලන්තයට යාමට පෙර පූර්ව වීසා අයැදුම් කිරීමක් අවශ්‍ය නොවේ.

එරටට ගොඩ බැසීමෙන් පසුව ලබා ගන්නා වීසා මත දින 60ක් එරට රැඳී සිටීමට අවස්ථාව හිමි වේ.

මෙම අවස්ථාව අලුතින් පිරිනැමුණු රටවල් අතර, ජෝර්දානය, ඉක්වදෝරය ඇතුළු රටවල් 17ක් වේ.

තායිලන්තයේ සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තය තායිලන්ත ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. කෙසේ වෙතත්, තායිලන්තය කොරෝනා වසංගතයෙන් තවමත් සම්පූර්ණයෙන් මිදී නැත.

නිල දත්තවලට අනුව, 2024 පළමු මාස ​​හය තුළ තායිලන්තයට විදේශීය සංචාරකයින් මිලියන 17.5ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 35%කින් ඉහළ යාමකි. කෙසේ වෙතත්, පූර්ව වසංගත සමයේ මට්ටමට සාපේක්ෂව එය අඩු අගයකි.

තායිලන්තයට පැමිණෙන සංචාරකයින් අතරින් බහුතරය පැමිණෙන්නේ, චීනය, මැලේසියාව සහ ඉන්දියාවෙනි.

එම කාල සීමාව තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම බාට් බිලියන 858ක් (ඩොලර් බිලියන 23.6; පවුම් බිලියන 18.3ක්) වූ අතර, එය රජයේ ඉලක්කයෙන් හතරෙන් එකකට වඩා අඩු ය.

සෑම වසරක ම සංචාරකයින් මිලියන ගණනක් තායිලන්තයට එක්රොක් වන්නේ, රන්වන් බෞද්ධ විහාර, සුදු වැලි සහිත වෙරළ තීර, දර්ශනීය කඳු සහ ආකර්ෂණීය රාත්‍රී ජීවිතය හේතුවෙනි.

වීසා-රහිත නීතිරීති සංශෝධනය කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වන පුළුල් සැලසුමක කොටසකි.

තවත් සහන

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සඳුදා දිනයේ, තායිලන්තය දූරස්ථ සේවකයන් සඳහා නව පස් අවුරුදු වීසා බලපත්‍රයක් හඳුන්වා දුන් අතර, එය දරන්නන්ට සෑම වසරක ම දින 180ක් දක්වා රැඳී සිටීමට ඉඩ සැලසේ.

ඊට අමතරව, තායිලන්තයෙන් මූලික උපාධිය හෝ ඊට ඉහළ උපාධියක් ලබා ගත් සංචාරක ශිෂ්‍යයින්ට උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසරක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ද අවසර හිමි වනු ඇත.

ජූනි මාසයේදී, රජයේ බලධාරීන්, හෝටල් හිමියන්ගේ මෙහෙයුම් ගාස්තු නිදහස් කිරීමක් තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කරන බව නිවේදනය කළේ ය. ඔවුන් රට තුළට පැමිණෙන අමුත්තන් සඳහා යෝජිත සංචාරක ගාස්තුව ද ඉවත් කර ඇත.

කෙසේ වෙතත්, සංචාරකයින්ගේ අවශ්‍යතාවලට ප්‍රමාණවත් යටිතල පහසුකම් රට තුළ නොමැති බවට ඇතැම් පාර්ශවවල අවධානය යොමු වී තිබේ.

"සංචාරකයින වැඩි පිරිසක් පැමිණෙන්නේ නම්, සංචාරක අමාත්‍යාංශය විතරක් නෙවෙයි, සමස්තයක් ලෙස රට ම ඔවුන් පිළිගැනීමට අපගේ සම්පත් සූදානම් කළ යුතු යි," තායි සංචාරක ප්‍රවර්ධන සංගමයේ සභාපති කැන්ටපොං තනනුවාන්ග්‍රොජ් පැවසීය.

"එහෙම නොවුණොත්, [සංචාරකයින්ට] ඔවුන් ලබන අත්දැකීම් ගැන පැහැදීමක් ඇති නොවනු ඇති අතර තායිලන්තයටවත් අපිටවත් දෙවන අවස්ථාවක් ලැබෙන එකක් නෑ," ඔහු පැවසීය.

තායිලන්ත සංචාරක කවුන්සිලයේ සභාපති චම්නන් ශ්‍රීසාවත් පැවසුවේ, "සංචාරකයින්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පැමිණෙන ගුවන් ගමන් වැඩි නොවිය හැකි බැවින් ගුවන් ගමනාගමනයේ බාධාවක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන," බව ය.

මියන්මාරයේ හෝ කාම්බෝජයේ ජාවාරම් සිදුකෙරෙන මධ්‍යස්ථානවල සේවය කිරීම සඳහා සංචාරකයින් පැහැරගෙන දේශ සීමා හරහා එම රටවලට යවා ඇති බවට පැතිර යන කටකතාවලින් පසු ඇතැම් පුද්ගලයින් ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කර ඇත.

පසුගිය වසරේ බැංකොක්හි සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක සිදුවූ මාරාන්තික වෙඩි තැබීම ද සංචාරකයින්ගේ කනස්සල්ලට හේතු විය.