‘IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි’ ?

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Public Security
ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි 6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඊ- වීසා ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කළ මාධ්‍ය හමුවේදී වැරදි කරුණු ගණනාවක් ප්‍රකාශ කළ අතරම ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කළ බව ය.
"ටිරාන් අලස් ජනතාවගෙන් හංගපු, හොර වැඩක් විදිහට කරපු ඒ ක්‍රියාවලියට අඩංගු සමස්ත ලිපි ලේඛණ අපි ළඟ තියෙනවා. මේ ලිපි ලේඛණ හරහා අපිට තියෙනවා ටිරාන් අලස් ගෙන් ප්‍රශ්න කිහිපයක්ම අහන්න. ඒ මාධ්‍ය හමුවේදී ඔහු පිළිතුරු නොදුන් ප්‍රශ්න."
"මුලින්ම 2023 වසරේ සැප්තැම්බර් මාසේ 08 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලිපි ශීර්ෂයෙන් ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව."
"ඒකෙ තියෙනවා ලංකාවේ ඊ- වීසා සහ ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් වන IVS GBS කියන සමාගම මැදිහත් කර ගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා."
"කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ටිරාන් අලස්. දැන් ඒක නැහැ කියලා කියන්න ඔහුට බැහැ."
"ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැරදි කරුණු තොරතුරු ඇතුලත් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා මේකට අදාලව ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා කියලා. කැබිනට් පත්‍රිකාව අනුව එහෙම දෙයක් වෙලා නැහැ."
"ටිරාන් අලස් අද කියනවා නව තාක්ෂණය ගෙන එනවා කියලා ලොකු කතාවක්. නමුත් ඇත්ත දේ තමයි මේ IVS GBS කියන සමාගම යෝජනාවලියක් ඉදිරිපත් කරනවා ලංකාවේ වීසා නිකුත් කිරීමේ බලය ඔවුන්ට දෙන්න කියලා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"IVS GBS ග්ලෝබල් සමාගම 2023 වසරේ ජුනි මාසයේ දී තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ."
"මේ යෝජනාවලිය ටිරාන් අලස් පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා ඉල්ලීමක් කරනවා මේ සමාගමට මේක දෙන්න කියලා."
"එතකොට ආන්දෝලනයට ලක්වූ VFS සමාගම කියන්නේ අද ටිරාන් අලස් මේකේ උත්තර දෙන VFS සමාගම කියන්නේ ටෙන්ඩරය ගත්ත සමාගම නෙමේ."
"මේ ඉදිරිපත් කළ යෝජනාවේ පැහැදිලිව තියෙනවා Presented by IVS GBS Global Services powered by with VFS Global as a Technical Partner කියලා."
"VFS ග්ලෝබල් සමාගම මේකට සම්බන්ධ වෙන්නේ තාක්ෂණ සහකරු ලෙසයි මැදිහත් වෙන්නේ. මේක භාර දීලා තියෙන්නේ IVS GBS කියන සමාගමට. ටිරාන් නම කියන්න බය සමාගමට තමයි භාර දීලා තියෙන්නේ."
"මේ අතර ( මැයි මස 06 වෙනිදා) දිනය යටතේ VFS සමාගම මාධ්‍ය නිවේදනයක් යොමු කරලා තියෙනවා."
"ඒ මාධ්‍ය නිවේදනයේ දෙවන පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා IVS GBS කියන සමාගම තමයි මුලික කොන්ත්‍රාත්කරු මේ ව්‍යාපෘතියේ, VFS සමාගම තාක්ෂණික සහයකයා කියලා."
"මේකට මුළුමනින්ම පටහැනි දෙයක් තමයි ටිරාන් අලස් මාධ්‍ය හමුවට ඇවිත් කිව්වේ." ඔහු කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, screenshot
ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ඊ- වීසා නිකුත් කිරීමට අදාළ මුල් සමාගම ඉන්දීය සමාගමක් බවත්, අමාත්‍ය ටිරාන් අලස් එම සමාගමේ නම හෙළි කිරීමට කටයුතු නොකළ බවයි.
"අපි බලමු IVS GBS කියන සමාගම මොකක්ද කියලා. ඒ සමාගම කාගේද කියලා? IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ? මොකක්ද ඒ රහස."
"IVS කියන සමාගම අයිති කවීරාජ් බන්ධාරි කියන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයාට."
"කවීරාජ් බන්ධාරි කියන්නේ හිටපු ඉන්දීය විදේශ ලේකම් රොමේෂ් බන්ධාරි ගේ පුතා. "
"මේක ඉන්දීය විදේශ සේවය, ඉන්දීය ඔත්තු සේවා ඔක්කොම එක්ක ගැට ගැහිච්ච කතාවක්"
"මේක IVS සමාගමට දෙන කොට ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්නවා ඒ ගැන. මේක ඉන්දීය සමාගමකට දීලා තියෙනවා කියලා කට්ටිය කියද්දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කලබල වෙලා, හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ නිවේදනයක් නිකුත් කරනවා නැහැ නැහැ ඒක ඉන්දීය සමාගමක් නෙමෙයි කියලා."
"දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඊනියා විපක්ෂයේ අය එහෙ කියවනවා මේක ඩුබායි සමාගමක් කියලා."
"IVS කියන සමාගම ඉන්දීය සමාගමක්, ඒක ඉන්දීය රජයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වන සමාගමක්. ඒ සමාගම ගැන තොරතුරු හංගන්න ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වුනේ ඇයි මේකේ හැංගිච්ච න්‍යාය පත්‍රයක් නැත්නම්. ඇයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බොරු කිව්වේ."
"අපි හිතනවා ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට, ලංකාවේ සංචාරකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව හානියක් වෙනවා කියලා."
ඒ වගේම අපි අහනවා ටිරාන් අලස් ගෙන් ලෝකයේ කොයි රටේ ද VFS ආයතනයට ගුවන් තොටුපොළේ කවුන්ටර් එකක් දාලා වීසා ලබා දෙන්න ඉඩ දීලා තියෙන්නේ කියලා."
"VFS එක කරන්නේ රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ වීසා අයදුම්පත අරන් දීලා තානාපති කාර්යාලයට ඒක ප්‍රොසෙස් කරලා ගාස්තුවක් අය කරන එක."
"ඒ වගේම මොන රටේද වීසා ඉල්ලුම්කරුගේ අතිශය රහස්‍ය තොරතුරු VFS සමාගමට දීලා තියෙන්නේ. නිකම් බොරුවට ටිරාන් අලස් රටවල් 60 ගානක් ගැන කියවනවා අනිත් මිනිස්සු ඒවා ගැන දන්නේ නැහැ කියලා.". ඔහු පැවසීය.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සංචරණ පද්ධති මෘදුකාංගය 2021 වසරේ කැබිනට් අනුමැතිය යටතේ ටෙලිකොම් සමාගම විසින් යාවත්කාලීන කර ඇති බවට මෙම ඊ-වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බව පුබුදු ජාගොඩ පැවසුවේය.
එහිදී ඇමෙරිකානු ඩොලර් එකක ගාස්තුවක් යටතේ විදේශිකයෙකු ගෙන් වීසා ලබාදීම සඳහා ගාස්තු අය වන ආකාරයෙන් පද්ධතිය සකස් කොට එය ක්‍රියාවට නැංවීමට සුදානම් කර ඇති බවට අදාළ කමිටු වාර්තාවේ සඳහන් කර ඇති බව ඔහු මෙහිදී පැවසුවේය.
'මේ දේම තමයි කෙහෙළියත් කළේ'
බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සිදුකර ඇත්තේ ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කළ බවට පිළිගත් ආකාරයේ කරුණක් බව මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේක්ම්වරයා පෙන්වා දුන්නේය.
" ඊ- වීසා නිකුත් කිරීමේ දී ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකළ බවත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ නිසා අදාළ ව්‍යපෘති යෝජනාව ඉදිරිපත් කළ සමාගමට අවසර දුන් බවත් අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.
"හරි එතකොට දැන් හිරේ ඉන්න කෙහෙළියත් කළේ ඔය ටිකමයි."
"එයාටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා, ඊට පස්සේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව බාල ඖෂධ ගෙන්නුව නිසා දැන් හිරේ ඉන්නවා."
"එතකොට ටිරාන් කියනවා කැබිනට් අනුමැතිය ලැබුණු නිසා ටෙන්ඩර් කැඳවන්නේ නැතිව මේක කළා කියලා."
"මේ කරල තියෙන දේට එයාව කවද්ද හිරේ දාන්නේ? හරිනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමාව ඉල්ලන්න ඕන ජනතාවගෙන් එයාලා නිකුත් කරපු අසත්‍ය ප්‍රකාශයට."
"බෙහෙත් ගේන්න හොඳ නැහැ, හැබැයි වීසා දෙන්න හොදයි ටෙන්ඩර් කැඳවන්නේ නැතිව."
"මේක ගැන කතා කරන්න ඇවිල්ලා ටිරාන් අලස් කොටුවෙලා ඉන්නේ." ඔහු පැවසුවේය.
එමෙන්ම ඊ - වීසා නිකුත් කිරීමට අදාළව සමාගම් සමග ගිවිසුම් ගතවීමේදී ඔවුන්ගේ සේවා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 18.5ක් සඳහන්ව තිබුණත්, පහසුකම් ගාස්තු ලෙස ඩොලර් 7.27ක් අය කරන බවත් එය කිසිදු ගිවිසුමක ඇතුලත් නොවන බව ඔහු පැවසීය.
කැබිනට් මණ්ඩලය ගත් තීරණය
මේ අතර විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කළ බව එහි දැක්වෙයි.
සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඇමති හරීන් ගේ ඉල්ලා අස්වීම ?
සංචාරක අමාත්‍යවරයා ලෙස තමන් ඉල්ලා අස්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් හුවමාරු වන බවත්, එය සත්‍ය නොවන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
මේ අතර ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතු කර තිබු පැනයකට ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුම හරහා පිළිතුරු ලබා දීමක් සිදුකරන ලදී.
"රටවල් 50කට අධික ප්‍රමාණයකට නොමිලේ වීසා ලබාදීමේ යෝජනාව අපි අවසන් කරමින් සිටියදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ රේඛීය අමාත්‍යාංශයට වඩා විපක්ෂ නායකවරයාට එය මා මත පැටවීමට අවශ්‍ය වීම පුදුමයක් නොවේ."
"නව යෝජනාව ඉදිරිපත් කරන විට VFS ගාස්තු ගැන සඳහන් කර නොතිබුණි. එය හෙළි වූ දා සිට මම එම යෝජනාවට විරුද්ධ වීමි."
"මුල සිටම සඳහන් කළ පරිදි, මැයි 7 වැනි දින සිට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් සඳහා නොමිලේ වීසා සඳහා වන අපගේ යෝජනාව අවසන් වන තෙක් සියල්ල ඇතුළත්ව ඩොලර් 50කට දින 30ක කාලයක් සඳහා තනි පිවිසුම් වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. එතෙක් රටවල් 7ක් සඳහා පෙර පරිදිම නොමිලේ වීසා පහසුකම හිමිවේ." අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
‘විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩියි කියලා කෑගහන ලංකාවේ අය රට යන්න ඊට වඩා ගාස්තු ගෙවනවා’
“VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ. ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ.ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා." යැයි ඊ- වීසා නිකුත් කිරීමේදී මතුවූ ගැටළු ගැන කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් (මැයි 6 වැනිදා) අවධාරණය කළේය.
මැයි 01 වැනිදා වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු සහගත තත්ත්වය සහ වීසා ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගීත්වයෙන් (මැයි 06 වැනිද) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
වීසා ගාස්තු පිළිබඳවත් එවා සම්මත කරගත් යෝජනාවලට අනුකූල බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය."වීසා ප්‍රශ්නය ගැන කතා කලොත් ඒක කොටස් දෙකකට තියෙන්නේ. එකක් වීසා වලට අප අය කරන මුදල වැඩි කිරීම. අනිත් එක VFS සමාගම වීසා නිකුත් කිරීමේ කර්තව්‍යයට එකතු කර ගැනීම."
'ගැටළු සහගත වීසා කාණ්ඩය'
"අපි වීසා ගාස්තු වැඩි කිරීම ගැන කතා කලොත් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අර ගත්තා වෙනත් වීසා කාණ්ඩ ලබා දෙන්න."
"මාර්ගගත ක්‍රමයට ලබා දීම සිදුකලේ දින 30 වීසා කාණ්ඩය පමණයි. ඒ දවස් 30 වීසා එක කාණ්ඩ කිහිපයක් යටතේ වෙනස් කිරීමට කටයුතු කළා."
"විශේෂයෙන් නොමෑඩ් කියන වීසා කාණ්ඩය, ඔන්ලයින් සේවාවන් කරන අයෙකුට ලංකාවට ඇවිල්ලා හෝටලයක නැවතිලා ඉදගෙන තමන්ගේ රැකියාව කරන් යන්න හැකියාව තියෙනවා මේ වීසා එක යටතේ."
"දකුණු පළාතේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී හමුවූ විදේශිකයින් ගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන නව වීසා ක්‍රමවේදය සකස් කරන්න කටයුතු කළේ."
"නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් මස 23 වන දින සම්මත වූනා."
"දැන් මේ ඩොලර් 75 වීසා එකක් ගැන කතා කරනවා. ඒ වීසා එකත් තියෙන්නේ මේ සම්මත කරපු ලිස්ට් එකේ. යෝජනාව සම්මත කරලා ගැසට් කළා."
"දැන් ගැසට් කළාට පස්සේ අපිට තිබුණ ප්‍රශ්නය තමයි අපේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ මේ එකක්වත් කරන්න බැහැ."
"නොවැම්බර් මාසේ සම්මත වුන එක අපිට ඉන්න වුණා අප්‍රේල් මාසයේ 17 වෙනිදා වෙනකම් ක්‍රියාවට නංවන්න. ඒක VFS පද්ධතිය එනකම් ඉදලයි මේක කරන්න පුළුවන් වුනේ."
"අපේ තිබ්බේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ පින්තූරයක්වත් එවන්න බැහැ. ඔන්ලයින් වීසා එනවා අකුරු විතරයි එන්නේ. එහෙම තමයි අපේ පද්ධතිය තිබුණේ."
"අප්‍රේල් මාසයේ 17 වැනිදා ඩොලර් 75 වීසා එකට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළකරලා ප්‍රවෘත්ති සාකච්ඡා පවා තිබ්බා."
"මේක සම්මත වුණා කියලා මම පාර්ලිමේන්තුවේදී කියද්දී ඔවුන්ට ඒකවත් මතකයේ තිබුනේ නැහැ. අඩුම තරමින් ඔවුන් සම්මත කරාපු එක ගැනවත් ඔවුන්ට මතකයක් නෑ."
"ඩොලර් 75 වීසා එක කියන්නේ මාස 06 ක ඩබල් එන්ට්‍රි වීසා එකක්. සින්ගල් එන්ට්‍රි දවස් 30 වීසා එකට ඩොලර් 50ක ගාස්තුවක් අය කරන්නේ." අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය.
මොකක්ද මේ VFS කියන ආයතනය
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ලබාදීම සිදුකරන VFS ආයතනය සම්බන්ධයෙන් ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ VFS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබු බවයි. එමෙන්ම රටවල් ගණනාවක ඔවුන් සිය සේවාවන් පවත්වාගෙන යනු ලබන බවද ඔහු පැවසුවේය.
"රට යන ලංකාවේ අය පවා දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. මේ ආයතනය රජයන් 67ක, රටවල් 151ක මධස්ථාන තුන්දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන සමාගමක්."
"ඒ සේවාවට ඒගොල්ලෝ එක්ක තරග කරන්න කවුරුත් නැහැ. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ VFS සේවාවයි."
"එක් චෝදනාවක් එල්ල වුණා මේක ඉන්දියානු සමාගමක් කියලා. ඒ වගේම ඉන්දියන් අය ඇවිල්ලා එතන වාඩි වෙලා ඉන්නවා කියලා."
"මම ඒ ගැන සොයා බැලුවා. ඒක ඉන්දියානු සමාගමක් නෙමෙයි."
"මේ සිදුවීම වූ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ කවුන්ටර්වල ඉදලා තියෙන්නේ ලංකාවේ 13 දෙනෙක්."
"VFS එක කරන්නේ ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම පමණයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටයි."
"මේ ව්‍යාපෘතිය ගැන වසර 07කට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එක ලංකාවේ සමාගමක් වසර කිහිපයක් උත්සාහ කළත් ඔවුන්ට ඒක සාර්ථක කර ගන්න හැකියාව ලැබුණේ නැහැ."
"ඒ වගේම චීනයේ සමාගමක් වසර 04ක් උත්සහ කරලත් ඔවුන්ට මේක සාර්ථක කර ගන්න බැරි වුණා."
"අපිට අවශ්‍යතාවයක් තිබුණා වීසා ලබා දීමේ නව ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අතර වාරයේ දී තමයි VFS ආයතනය විසින් මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ."
"පස්සේ ඒක ගැන බලලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කළා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී."
"මේ සම්බන්ධයෙන් සොයා බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළා. ඒ වගේම නීතිපතිවරයා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිතුමා පවා ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබුණා."
"ලංකාවේ ඉන්න ජනතාව විදේශගත වෙද්දී VFS එකට ගෙවනවා එක එක රටවල් සඳහා විවිධ මිල ගණන් යටතේ ගාස්තු."
"උදාහරණයක් විදිහට UAE වලට යද්දී ඇමෙරිකානු ඩොලර් 25ක් ගෙවනවා."
"නමුත් විදේශ රටක ඉදලා ලංකාවට එන විදේශිකයෙක් ඩොලර් 18.5ක් ගෙවනවා කියලා මේ රටේ ඉන්නේ අය කෑගහනවා." අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මෙරට ගුවන් තොටුපොළවල් සහ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස සිංගප්පුරු රජයෙන් කළ ඉල්ලීමක් මත විශේෂ කණ්ඩායමක් ඉදිරි දිනයකදී මෙරටට පැමිණීමට නියමිත බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළේ ඇතිවූ ගැටළුව කුමක් ද?
මැයි මස 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේ VFS කවුන්ටරය අසලදී තරුණයෙකු සිදුකළ විරෝධය පළ කිරීම ගැන ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
" එදා එතන ලංකාවේ නිලධාරින් තමයි ඉදලා තියෙන්නේ."
"මේක පටන් ගත්ත නිසා VFS සමාගමේ ඩුබායි කාර්යාලයේ ඉන්න උප සභාපතිවරයා ඉන්දීය ජාතිකයෙක් එදා එතනට ඇවිත් ඉදලා තියෙනවා."
"අර කෑ ගහන තරුණයා එයාගේ බිරිඳ එක්ක යනවා ආගමන විගමන අංශයට. එයාට වීසා නෑ. එතන ඉන්න නිලධාරියා කියනවා අතනට ගිහිල්ලා වීසා එක ගන්න කියලා."
"මේ තරුණයා ඇවිල්ලා එතන ඉන්න අර ඉන්දීය ජාතික උප සභාපතිවරයා අතට තමයි පාස්පෝර්ට් එක දෙන්නේ."
"ඒ නිලධාරියා පාස්පෝර්ට් එක බලලා කියනවා පෝලිමට යන්න කියලා. ඒ වෙලාවේ ඉදලා එයා කෑගහලා තියෙනවා."
"එයාට ඕන වෙලා තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා පෝලිමේ ඉන්නේ නැතුව වයිෆ් ගේ වීසා එක අර ගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ." අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය.
ආගමන විගමන නිලධාරින් ගැනත් අවධානය
මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පිහිටි VFS කවුන්ටරයේ සේවාවන් පවත්වාගෙන යාමට පසුගිය මැයි මස 01 වෙනිදා බාධා සිදුවීම ගැන ද පියවර ගන්නා බවට අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු සඳහන් කර සිටියේය.
" එදා පළවෙනි දවස. VFS එකට හරියට WiFi පහසුකම් ලබාදීලා තිබිලා නැහැ. එයාලා ඩොන්ගල් යොදා ගෙන තමයි රාජකාරි ආරම්භ කරලා තිබුණේ."
"එදා මම හිටියේ නැහැ. ලේකම්තුමා රැස්වීමක් කැඳවලා තීරණය කරලා තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගේම VFS ආයතනයේ සිස්ටම් දෙකම සමානව පවත්වාගෙන යන්න දවස් කිහිපයක්."
"ඒ දේ වුනේ නැහැ, VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ."
"ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ."
"ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා." අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ( මැයි මස 01 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙනි.
කටුනායක ගුවන් තොටුපොළේදී සිදුවුයේ කුමක් ද?
මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ( මැයි මස 01 වෙනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබුණි.
ඒ හේතුවෙන් දිගු පෝලිම් ඇති වී දෙස් විදෙස් සංචාරකයන් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කිරීමත් සමග ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
කෙසේ වුවද මීට පෙර ආගමන විගමන නිලධාරින් විසින් මිනිත්තු කිහිපයක් තුළදී මාර්ගගත වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.
නව නිලධාරින් ඉවත් වෙයි
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම ( මැයි මස 01 වැනිදා) සිදු කළ පෞද්ගලික සමාගම එය නිසියාකාරව ඉටු කර ගැනීමට අපොහොසත් වීම නිසා රාත්‍රී 11.30 ට පමණ සේවයෙන් ඉවත් වී ගොස් තිබුණි.
ඉන්පසුව එම කාර්යය යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරා සිදු කර ගෙන යන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නියෝග කරනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර ගෙන යන බවත් ,එම කටයුතු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි සිදු වන බවත් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පැවසීය.
ඒක පද්ධතියේ ඇතිවූ දෝෂයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බව ය.
"අලුත් සිස්ටම් එකක් දාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකේ ගැටළු කිහිපයක් ඇති වෙලා මේ තත්ත්වය සිද්ධ වුනේ."
"අපි තාවකාලිකව ඒක නතර කරලා පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදුකරන්නේ. ඉදිරියේදී නැවත තීරණය කරන දිනයක නව ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා."
"මේක සිස්ටම් එකේ තාක්ෂණික වශයෙන් ඇතිවූ දෙයක්. ඒ නිසා ඒක නිවැරදි කරලා ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා." අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.
මේ අතර කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීම කළ පෞද්ගලික ආයතනයේ නිලධාරින් විසින් විදේශිකයින් ගෙන් අමතර ගාස්තු අය කිරීම සහ එකතු කරගෙන තිබු මුදල් ද රැගෙන රාත්‍රියේ පිටව ගිය බවට පලව තිබු මාධ්‍ය වාර්තා සත්‍යදැයි බීබීසී සිංහල විසින් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ වගේම විදේශිකයින්ගෙන් ගාස්තු අය කිරීම් පිළිබඳව විධිමත් වැඩපිළිවලක් අදාළ අනුමැතීන්වලට යටත්ව තමයි සිදුකර තියෙන්නේ." ඔහු පැවසීය.
“වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට පවරලා”
වසර 12 කට ආසන්න කාලයක් පුරාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන පැමිණි මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමට රජය විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ජයසිංහ බණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.
"ලංකාවට සංචාරකයෙක් එන්න ඉන්නවා නම් ඒ කෙනාට සෘජුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න බැහැ."
"අර තියෙන පෞද්ගලික සමාගම හරහා තමයි වීසා ඉල්ලුම් කරන්න ඕන ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා."
"එතකොට ඒ ආයතනය තමයි අදාළ වීසා ඉල්ලීමට අදාල කරුණු ගොනු කරලා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නේ. ඊට පසුවයි අපේ දෙපාර්තමේන්තුව හරහා වීසා එක නිකුත් කිරීම සිදුවෙන්නේ."
"මේක පැරණි ක්‍රමයම තමයි, නමුත් අතරමැදියෙක් ලෙස මේ ආයතනය මේකට සම්බන්ධවෙලා ඉන්නවා."
"ඔවුන් මේ සේවාව ලබා දෙන්න එක් වීසා එකකින් ඇමෙරිකානු ඩොලර් 18.5ක් අවම අය කිරීමක් කරනවා වගේම ඊට අමතරව තවත් අමතර ගාස්තු අය කරනවා."
"ලංකා රජය සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන්න කියලා ප්‍රතිපත්තියක් ලෙස රටවල් රැසකට වීසා සහන ලබා දුන්නා ගාස්තු වලින් නිදහස් කරලා."
"නමුත් ඒ වගේ වීසා ගාස්තු ඉවත් කරපු රටවල සංචාරකයින් මේ ආයතනය හරහා ලංකාවට එන්න වීසා ලබා ගනිද්දී අර කලින් කිව්ව ඇමෙරිකානු ඩොලර් 18.5 ගාස්තුව ඇතුළු වෙනත් ගාස්තු වලට යටත් වෙන්න වෙලා තියෙනවා."
"හැබැයි මේ අය කරන කිසිම ගාස්තුවක් රජයට අය වෙන්නේ නැහැ. එක ඒ පෞද්ගලික සමාගමටයි බැර වෙන්නේ."
"(මැයි මස 01 වැනිදා) වෙනකම් ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීම කළේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්. "
"නමුත් එක්වරම අදාළ සමාගම විසින් ඒ ඔන් ඇරයිවල් විසා නිකුත් කිරීම ඔවුන් යටතේ සිදුකරන්න ගිහින් මේ තත්ත්වය ඇතිවුනේ. ඒක ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒතරම් හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ." යැයි ශ්‍රී ලංකා ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයා පැවසුවේය.
වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද ?
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකරන ලදී.
එහිදී ඔහු සඳහන් කලේ 2012 වසරේදී හඳුන්වා දුන් මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ හඳුන්වා දුන් විද්‍යුත් සංචරණ අනුමැතිය මේ හරහා යාවත්කාලීන කිරීමට කටයුතු කළ බවයි.
ඒ සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම් ගතව කටයුතු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.
" 2012 වසරේ දී අපි මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීසා නිකුත් කිරීම ආරම්භ කළා. ඒ ETA කියල අපි අඳුන්වපු Electronic Travel Authorization නැත්නම් විද්‍යුත් සංචරණ අනුමැතිය."
"මේ මගින් තමයි අපි ලංකාවෙ වීසා ක්‍රමවේදය ජාත්‍යන්තරයට ගෙනිච්චෙ. ඒ ක්‍රමවේදය ඔස්සේ අපි කටයුතු කරමින් ඉන්නකොට අපිට දැනුණු දේ තමයි ඒ ක්‍රමවේදය වර්තමානය වෙන විට යාවත්කාලීන වෙලා තිබුණෙ නෑ. ඉතිං ඒ නිසා තමයි අපි කල්පනා කලේ නව ක්‍රමවේදයක් ඔස්සේ සියලුම වීසා මාර්ගගත ක්‍රම ඔස්සේ ලබාගැනීමේ හැකියාව."
"ඇතැම් රටවල් වලට වීසා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයන් වලදී අදාල රටට යන්නට මත්තෙන් වීසා ගැනීමේ හැකියාව හරි අඩුයි. නමුත් මේ ක්‍රමය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්ණ වීසා ක්‍රමවේදයම මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ගෙ රටේ ඉඳලම මේ රටට පැමිණෙන්න පෙර වීසා ලබාගෙන මෙරටට පැමිණෙන්න පහසුකම් මේ වන විට අපි හදල දීල තියෙනවා."
"අපි තව බලාපොරොත්තු වන දෙයක් තියෙනව , කෙනෙකුට රට තුලට එන කෙනෙකුට නැවත නැවත වීසා අයදුම් කිරීමට අවශ්‍ය නැතිව එක්වර වීසා අරගෙන දීර්ඝ කාලයක් ලංකාවෙ රැදී සිටින්නටත්, ඒ දීර්ඝකාලය තුල වරින් වර තමන්ගෙ රටට ගිහින් ඒමට ඉඩප්‍රස්ථාව හැදෙනව. මේ කාරණය සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත්."

ඡායාරූප මූලාශ්‍රය, screenshot
"දැනට අපේ තිබුණ ETA හරහා දින 30හේ වීසා එක දුන්නාම දින 30යි රට තුන්න ඉන්න හැකි වෙන්නෙ."
"දින තිහට පස්සෙ ආපහු වීසා අයදුම් කරන්න ඕන."
"නමුත් මේ අලුතින් අපි හඳුන්වල දීපු වීසා ක්‍රමවේදය යටතේ අයදුම්කරුට මෙවැනි සංචාරක වීසා කාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි හඳුන්වල දීල තියෙනවා."
"දින 60 වීසා, දින 90වේ වීසා, දින 180 වේ වීසා , වසර 05 සහ 10 දක්වා සංචාරක වීසා අපි මේ යටතේ හඳුන්වාදී තිබෙනවා."
"අවුරුදු 10ක වීසා එක ගන්න කෙනෙකුට නැවත වීසා ගැනීමකින් තොරව ඒ අවුරුදු දහය පුරාවට කැමති කාලයක ලංකාවට ඇවිල්ල සංචාරය කරල යන්න පුළුවන්."
"නැවත නැවත වීසා අයදුම් කරල සංචාරය කිරීමට වඩා බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදයට කැමතියි. පළවෙනි වීසා එකේම එක මාසෙ සිට මාස හයක් දක්වා වැඩි කරල රැඳී සිටීමේ කාලය දීර්ඝ කලේ සංචාරකයින්ට වීසා එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ඕන වෙලාවක එන්න හැකි වෙන්න. ඒ නිසා සංචාරක වීසා විශාල ප්‍රමානයක් මේ යටතේ හඳුන්වල දීල තියෙනවා."
"මීට කලින් අපි වීසා සඳහා ඔන්ලයි Electronic Travel Authorization (ETA) එක දින 30 හේ වීසා එක සඳහා විතරයි පාවිච්චි කලේ. නමුත් මේ නව ක්‍රමය යටතේ සියළුම වීසා කාණ්ඩ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම් කර ලබාගන්න පුළුවන්."
"මේ සේවාව www.srilankaevisa.lk වෙබ් අඩවිය මගින් ලබාගන්න පුළුවන්."
"මේ වෙබ් අඩවිය හරහා ඕනම කෙනෙකුට වීසා ලබාගන්න පුළුවන්."
"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ ඒ හරහා සංචාරකයින් ගෙන්වාගැනීමට අපි ගිවිසුම්ගත වෙලා තියෙනව VFS ආයතනයත් එක්ක, ඒ ආයතනය රටවල් 145 තුර ඒ රටවල් වල මව් භාෂා වලින් තොරතුරු ලබාගෙන වීසා අයදුම්කරුවන්ට ලංකාවට ඒමට අවශ්‍ය පහසුකම ඇති කරල තියෙනවා."
"සෑම අවස්ථාවකදීම වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම, ගාස්තු ලබාගැනීම ගැන තීරණ ගැනීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව හරහා."
"වීසා එකක් දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු වෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා පමණයි."
"එම නිසා නීතිමය වශයෙන් කිසිදු ගැටළුවක් නැහැ."
"වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ තොරතුරු සැපයීමේ අංශය පමණයි අපි VFS ආයතනය හරහා කරන්නේ."
"අපි බලාපොරොත්තු වෙනව අපි ඉලක්ක කර තිබෙන විදිහට මිලියන 03ක් හෝ ඊට වැඩි විශාල සංචාරක ප්‍රමාණයක් අපේ මේ අලුත් ක්‍රමවේදය හරහා ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වෙයි කියල." ආගමන විගමන පාලකවරයා එහිදී පැවසීය.












