කටුනායක ගුවන් තොටුපොළ: මගීන්ට හිසරදයක් වූ ශ්‍රී ලංකාවට පිවිසෙන රන් දොරටුව

ශ්‍රී ලංකාවට පිවිසෙන රන් දොරටුව ලෙස හදුන්වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවක විරෝධතා, වර්ජන සහ ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නිසා ගුවන් මගීන්ගේ විරෝධතා බහුල ස්ථානයක් බවට පත් වී තිබේ.
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය (පෙබරවාරි 27 වැනිදා) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා අවලංගු වීම් සහ ප්‍රමාද වීම් නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට සිදු වන අපහසුතා පිළිබඳ තමන් අතිශයින් කනගාටුවට වන බව ය.

පුරුද්දකට ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදය
ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නිසා පසුගිය මාස කීපය තුළම ගුවන් තොටුපොළ තුළ විදේශීය සංචාරකයන් මහත් කළබැගෑනි සිදු කර තිබුණි.
එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගැටළු නොදුරු දිනකදී නිවැරැදි වේ යැයි උපකල්පනය කිරීම අපහසු වී තිබේ.
ඒ, ගුවන් යානා හියඟය, යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබීම ප්‍රමාද වීම හා සේවක හිඟයයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ගමන් අරඹා පියාසර කරමින් තිබියදී යානයේ වායු සමනය කිරීමේ පද්ධතියේ හටගත් ගැටළුකාරී තත්ත්වයක් මත එම යානය මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත යළි ගොඩ බැස්සවීමට සිදුවිය.
පකිස්ථානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට මීයෙකු රිංගීම නිසා එම ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට ප්‍රමාද විය.

පසුගිය පැය 24 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 9 ක් පමණ අවලංගු වී තවත් ගුවන් යානා 16 ක් පමණ ප්‍රමාද වීමට ලක්ව තිබේ.
ජාතික ගුවන් සේවයේ යානා ප්‍රමාදයන් සමග කටුනායක ගුවන් තොටුපොළේ මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ සංචාරකයින් බහුල වශයෙන් පැමිණෙන සහ ඉදිරියේදී පැමිණීමට නියමිතව ඇති පසුබීම තුළය.
සංචාරකයින් පැමිණිමේ වර්ධනයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දීය සංචාරකයන්ට හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මීට ඉහතදී පියවර ගෙන තිබුණි .
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ ගුවන් තොටුපොළ රැසක සිට එයාර් ඉන්ඩියා ( ඉන්දීය ගුවන් සේවය ) , ඉන්ඩිගෝ , ශ්‍රී ලන්කන් , ෆිට්ස් එයාර් සහ විස්තාරා යන ගුවන් සේවා දෙරට අතර දෛනික ගුවන් මෙහෙයුම් නව ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි , ගුවන් මෙහෙයුම් වාර වැඩි කරමින් ක්‍රියාත්මක කරමින් තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් වැඩිම පිරිස ඉන්දීය ජාතිකයන් බවට පත් වී තිබේ.
මීට අමතරව එරොෆ්ලොට් ගුවන් සේවය ( Aeroflot ),අසූර් එයාර් ( Azur Air ) ,එයාර් අස්තානා සහ රොසියා යන ගුවන් සේවා රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටිති.
එසේම රෙඩ් වින්ග්ස් ( Red Wings ) ගුවන් සේවය ද රුසියාවේ සිට හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි.
2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතුරින් වැඩිම පිරිස අතර ප්‍රමුඛ ස්ථානයක් රුසියානු සංචාරකයින්ට හිමිවන බව මේ පිළිබඳ විමසීමක දී කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාරවරිය අනාවරණය කළාය.

එමෙන්ම බටහිර යුරෝපා රට වලින් මෙන්ම නැගෙනහිර යුරෝපා රටවලින් සහ චීනයෙන් ද මේ වනවිට විශාල වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එම ප්‍රමාණය 2024 වසරේ ජනවාරි 31 වැනිදා වනවිට ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාරවරිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 10 න් එකක් බවට ලොව ප්‍රමුඛ සංචාරක වෙඩ් අඩවි කීපයක් විසින නම් කරනු ලැබ තිබීම ද ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ.
ආගමන විගමන කවුළු පෝලිම
කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිශ්කාශන කවුළු දැනට 22 ක් පමණ ඇති අතර මෙම දෙපාර්තමේන්තුවේ පරිගණක සහ දත්ත පද්ධතිය නඩත්තු කිරීම පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ලබයි.
එම පද්ධතිය නිතර බිඳ වැටීම් වලට ලක් වේ. එනිසා සමහර අවස්ථාවල පැය ගණනාවක් විදේශීය සංචාරකයන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට සිදුව තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන පරිගණක පද්ධතිය වරින්වර බිද වැටීමට විසඳුමක් ලෙස අලුත් (Server) පද්ධතියක් ස්ථාපිත කිරීම සහ මෙතෙක් භාවිතා කළ තොරතුරු හුවමාරුව සදහා Fiber Optic ක්‍රමෝපායන් භාවිතා කිරීමට පියවර ගෙන ඇති බවත් , මෙම විසදුම් මගින් මෙතෙක් පැවති බිඳ වැටීම් නිමාවට පත් වනු ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසීය .
මීට අමතරව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යුත් කවුළු ( e - counter ) පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වෙත හදුන්වා දීමට පියවර ගනිමින් ඇති බවද ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අභ්‍යන්තර ගුවන් පහසුකම්
ගුවන් තොටුපොළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන්ට රට අභ්‍යන්තරයට යෑම සදහා විවිධ ප්‍රවාහන ක්‍රම කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.
ඒ අතුරින් කටුනායක සහ යාපනය පලාලි ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් සේවාවක් ෆිට්ස් එයාර් ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කර තිබේ.
මීට අමතරව සිනමන් එයාර් වැනි අභ්‍යන්තර ගුවන් සේවා ආයතන සීගිරිය , කොග්ගල , පුත්තලම වැනි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි .
කටුනායක ගුවන් තොටුපොළ තුළ ප්‍රධාන සංචාරක ප්‍රවාහන ප්‍රභවයක් ලෙස සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් තම සමාගම යටතේ ලියාපදිංචි ටැක්සි රථ 1,005 ක් පමණ සේවයේ යොදවා තිබේ.
මෙම රථ අතර බොහොමයක් පැරණි මදක් අබලන් වූ රථ පවතින බව එහි ගමන් ගන්නා සංචාරකයන් පැමිණිලි කර තිබේ .
මැදපෙරදිග සිට පැමිණෙන ගෘහ සේවිකාවෝ බොහෝ විට මෙම ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමට පෙළඹී සිටිති.
සංචාරක කවුන්ටර්
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පැමිණෙන විදේශීය සංචාරකයන්ට මීළඟට මුණ ගැසෙන්නේ සංචාරක කවුන්ටර් ( Travel Counter ) ගණනාවකි . ඒවා සංඛ්‍යාත්මකව 06 කි.ඒවා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙත සේවා රැසක් ඉටු කරනු ලබයි .
සංචාර සඳහා සංචාරකයින්ට සහන පැකේජයන් ක්‍රියාත්මක කිරීම, හෝටල් වෙන් කිරීම , හදිසි අවස්ථා වලදී ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම,සංචාරකයන්ට තමන්ටම පදවා ගෙන යා හැකි පදනම මත (Rent a Car ) පා පැදියේ සිට ඕනෑම වාහනයක් සපයා දීම, විදේශ රටවල රියදුරු බලපත්‍ර විනාඩි 20 ක් තුළ ශ්‍රී ලංකාවේ වාහන ධාවන කිරීමට අවසර ලැබෙන පරිදි පරිවර්තනය කර දීම , සංක්‍රමණික ගුවන් මගීන් සඳහා කෙටි කාලීන සංචාර සංවිධානය කර දීම , මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සදහා නිස්කලංක , යහපත් දේශගුණික ස්වභාවයන් ඇති හෝටල් වෙන් කර දීම වැනි සේවා රාශියක් සිදු කරයි.
මෙම කවුටර් තුළ නවීන සුඛෝපභෝගී රථ 720 ක් පමණ පළපුරුදු සංචාරක ප්‍රවර්ධන රියදුරන් සමග සේවා සැපයීම සදහා ලියාපදිංචි වී සිටිති.
ගුවන් තොටුපොළ ආශ්‍රිතව උබර් (Uber ) සහ පික් මී ( Pick me ) රථ සේවා ද ක්‍රියාත්මක ය.
සංවිධානාත්මක තැරැව්කරුවන්
ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත සංවිධානාත්මක තැරැව්කරුවන් කල්ලියක් සූදානම් වී සිටින බව ද අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.
විදේශීය සංචාරකයින් තම ගමන් පහසුකම් සළසා ගැනීම සදහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට , පෙර කී සංවිධානාත්මක කල්ලිය අඩු මිළට ප්‍රවාහන පහසුකම් සපයන මුවාවෙන් සංචාරකයන් රැගෙන යාම සිදු කරනු ලබයි.
මෙවැනි සිදුවීම් නිසා සංචාරකයින් විශාල ගැටළුකාරී අවස්ථාවන්ට ද මුහුණ පෑමට ද සිදූව අවස්ථාද වාර්තා වී තිබේ.
එසේම මෙම සංචාරකයන්ට ආහාරපාන සහ නවාතැන් සපයන හෝටල් ද අත්තනෝමතික ලෙස ඉහළ මිළ ගනන් සිතු සේ අය කළ අවස්ථා පිළිබඳ පැමිණිලි ද වාර්තා වෙමින් තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොහොසතුන්ට පමණ ද ?
අසල්වැසි ඉන්දියාව, තායිලන්තය, ජපානය ඇතුළු බොහෝ රටවල පොදු ප්‍රවාහන සේවා තුළින් ගුවන්තොටුපල තුළටම පිවිසීමට හා පිටවීමට මගීන්ට අවකාශ සලසන අතර පොදු ප්‍රවාහන බස් සේවා හෝ මෙට්‍රෝ දුම්රිය භාවිත කරමින් ගුවන් තොටුපොළේ සිටම අවශ්‍ය ගමනාන්ත වෙත යෑමට සංචාරකයින්ට පහසුකම් සැලසීම සාමාන්‍ය තත්ත්වයකි.
එහෙත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට කටුනායක එවැනි පහසුකම් නොමැති වීම හේතුවෙන් විවිධ පෞද්ගලික රථ වාහන වලින් පැමිණෙන පුද්ගලයින්ට හැර පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් පැමිණෙන මගීන්ට එය හිස රදයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංගම , පෞද්ගලික බස් රථ , යතුරු පැදි , ත්‍රිරෝද රථවලට එය තහනම් කලාපයක් වී ඇත.
විශේෂයෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කටුනායක - ඇවරිවත්ත නගරයේ බස් නැවතුම් පොළෙන් බැස , එතැන් සිට සිය ගමන් මලු කර මත තබා ගෙන ගුවන් තොටුපොළ වෙත ගමන් කිරීමට සිදු වී තිබේ.

මෙහිදී මගීන් මුහුණ දෙන වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ වැසි දින වලදී මෙම ගුවන් මගීන්ට කිලෝ මීටර් දෙකකට ආසන්න දුරක් සිය ගමන් මළු ද රැගෙන තෙත බරිත වෙමින් ගුවන් තොටුපොළ වෙත පිවිසීමට සිදු වීම ය .
පොදු ප්‍රවාහනය භාවිත කරමින් පැමිණෙන මගීන් සඳහා විශේෂ ඉඩකඩක් වෙන් කළ යුතු ස්ථානයක ඔවුන්ට මෙලෙස සීමා පැනවීම කනගාටුදායකය.

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පහසුවෙන් ගමන් කළ හැකි පොදු බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බස් රථ නැවතුම් පොළක් හෝ ගුවන්තොටුපොළ දුම්රිය නැවතුම් පොළ යළි සක්‍රීය කිරීමට පියවර ගත හොත් අඩු ප්‍රවාහන පිරිවැයක් යටතේ දෙස් විදෙස් සංචාරකයන්ට සිය ගමන් පහසුව සළසා ගත හැකිය .
කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී පමණක් නොව විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් විශාල වශයෙන් තම ගමන් මලු ඉතා අසීරුවෙන් රැගෙන කටුනායක ඇවරිවත්ත නගරය වෙත පැමිණ , එතැන් සිට සිය ගමන් පහසුකම් සළසා ගන්නා ආකාරය ද සුලභ දසුනක් වී තිබේ .
කල්මුණේ , අම්පාර වැනි නැගෙනහිර පළාතේ නගර කීපයකින් ගමන් ගන්නා ශ්‍රී ලංගම බස් රථ කීපයකට පමණක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට දැනට අවසර ලබා දී තිබේ.
දැනට මෙම ගුවන් මගීන් තම ගමන් පහසුකම් දුම්රිය සේවය මගින් සළසා ගන්නේ නම් ඒ සඳහා කටුනායක 18 කණුව නිදහස් වෙළෙඳ කලාප දුම්රිය ස්ථානය වෙත පැමිණිය යුතුව තිබේ .
‘කැනඩා මිත්‍ර මාවත’
මේ අතර, කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රථ වාහන වලින් පැමිණීමේදී , "කැනඩා මිත්‍ර මාවත " නමින් හැඳින්වෙන පිවිසුම වෙත පැමිණි විට , එකවර මාර්ග කිහිපයකට ප්‍රවේශ වන ලෙස පැවතීම නිසා සංකීර්ණ තත්ත්වයට මුහුණ දීමට රියදුරන්ට සිදු වී තිබේ .
මෙම මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකි මාර්ග පද්ධතිය විහිදී ඇති බැවින් , එම මාවත ඔස්සේ ගමන් කරන මගීන් විපිළිසරභාවයට පත් වේ .
මෙම සංකීර්ණභාවය මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය , ගුවන් තොටුපොළ සමග සාකච්ඡා කර වඩාත් සරළ මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බව රියදුරන් පෙන්වා දෙයි.













