'පුංචි මොස්කව්' බවට පත්වූ උණවටුනේ 'සුදු මුහුණු සාදය'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබේ.
එම සාදයට ජාත්‍යන්තර අවධානයක් හිමි වූයේ, එය "සුදු මුහුණු සහිත" සංචාරකයින්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයින් ප්‍රචාරණය කර තිබීමත් සමග ය.
අදාළ සාදය පෙබරවාරි 24 වන සෙනසුරාදා Sarayka Lounge නමැති අවන්හලෙහි පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, පෙබරවාරි 23 වන දා ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් Sarayka Lounge සඳහන් කර තිබුණේ, වහා ක්‍රියාත්මක වන පරිදි අදාළ සාදය නතර කිරීමට පියවර ගත් බව ය.
සිය අවන්හලෙහි විවිධ ඉසව් සඳහා සත්කාරකත්වය සපයන අතර, මෙය ද එවැනි ඉසව්වක් බවත් ජාතිවාදී ප්‍රකාශන හෝ සංවිධානවලට මීට පෙර හෝ ඉදිරියේදී හෝ සහය නොදෙන බවත් එහි සඳහන් විය.
ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද එහි දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
දැඩි විරෝධයක්
"සුදු මුහුණු පමණක් ඇති" සංචාරකයන්ට සීමා කර තිබූ මෙම රාත්‍රී සාදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රචාරණයේදී ම එල්ල වූයේ, දැඩි විරෝධයකි.
මෙවැනි සාද හරහා වර්ණ භේද වාදයට මග විවර වන බවට දෙස් විදෙස් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි විවේචන එල්ල විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
දිගින් දිගට ම එල්ල වූ මෙම විරෝධය හමුවේ එම සාදය අහෝසි කිරීමට සිදුවී තිබිණි.
සංවිධායකයෙකුගේ පසුතැවිල්ල
මෙම සාදය සංවිධානය කිරීමට සහය දුන් බව පවසන geo_ecstatic නමින් පෙනී සිටින DJ ශිල්පියෙකු ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, සමාව ඉල්ලා තිබේ.
ඔහු සිය සටහන සිංහල බසින් ද පළ කර තිබීම විශේෂත්වයකි.
රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ, "අදාළ සාදය පැවැත්වීමට නියමිතව තිබූ අවන්හල සහ ප්‍රධාන සංවිධායකයින් රුසියානු පුරවැසියන් බව තහවුරු නොවන දත්තවලින් පෙනී යන," බව ය.
කෙසේ වෙතත්, එහි සඳහන් කර තිබුණේ, එය "Dress-code: White" එනම් සුදු පැහැති ඇඳුමින් සැරසී පැමිණිය යුතු සාදයක් බව ය.
රුසියානු රජය සියලු ම ආකාරයේ වාර්ගික නොසලකා හැරීම් හා ජාතිවාදය දැඩි සේ හෙළාදකින බවත්, කුමන ආකාරයේ වුව ද, එවැනි කෲරකම්වලට එරෙහිව කටයුතු කරන බවත් එහි දැක්වේ.
එසේ ම, ශ්‍රී ලංකාවේ නීතියට හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරන්නැයි රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
'බීබීසී ආයතනයට කිසිදු අදහසක් දක්වන්න බෑ' - රුසියානු තානාපති කාර්යාලය
සැලසුම් කර තිබූ උණවටුන රාත්‍රී සාදය සම්බන්ධයෙන් සහ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු ජාතිකයින් ව්‍යාපාරවල නිරතව සිටින්නේ ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් අප දුරකතනය ඔස්සේ විමසීමක් කළ අතර, එහිදී එය ඊමේල් පණිවුඩයක් හරහා යොමු කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ අනුව, අප යොමු කළ ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී තිබුණේ, 'බ්‍රිතාන්‍ය බලධාරීන් "Russia Today" පුවත් ඒජන්සිය සමග සහයෝගයෙන් කටයුතු නොකරන හෙයින්, BBC ආයතනයට කිසිදු අදහස් දැක්වීමක් කළ නොහැකි,' බව ය.
ආගමන විගමන පාලකගේ නියෝගයට ජනපතිගෙන් වැට
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙබරවාරි 22 වන දා සිට දින 14ක කාලයක් ලබා දෙන බවට ය.
කෙසේ වෙතත්, පූර්ව කැබිනට් අනුමැතියකින් තොරව ආගමන විගමන පාලකවරයා නිකුත් කළ එම නියෝගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මීට පෙර දීර්ඝ කළ වීසා ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව ය.
මේ සම්බන්ධයෙන්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ සඳහන් කළ නොහැකි බව ය.
'පුංචි මොස්කව්'
ගාල්ල, උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි වශයෙන් රුසියානු ජාතිකයින් අතට පත්ව ඇතැයි උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත පැවසීය.
ඔහු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හමුවේ නෝර්වේ වැනි ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයින් උණවටුන ප්‍රදේශය අතහැර මිරිස්ස ප්‍රදේශයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇති බව ය.
"මගේ මිතුරෙක් ඉන්නවා නෝර්වේවල. ඔහු මට කිව්වා, ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයින් උණවටුන පුංචි මොස්කව් කියලා හඳුන්වනවා කියලා. ඇත්තට ම උණවටුනේ සංචාරක අවන්හල් වැඩි සංඛ්‍යාවක් කරගෙන යන්නේ රුසියානු ජාතිකයින්. ඔවුන් ඒ ව්‍යාපාර කරගෙන යන එක වරදක් නෙවෙයි. මගේ හෝටලයත් රුසියානුවෙකුට බදු දීලා තියෙන්නේ. හැබැයි නීති විරෝධී විදිහට ව්‍යාපාර කරනවා නම් දේශීය වුණත් විදේශීය වුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි," නීතිඥ රූපසේන කොස්වත්ත පැවසීය.
‘උණුවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක්.’
උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ පැවසුවේ,“අපි මේ මොහොතේ කතා කරන්නේ උණුවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක් පිළිබඳවයි. ඔවුන් රුසියානු සංචාරකයන් නොවේ. ඒ නිසා අපි ඒ දෙක පළමුව වෙන්කර හඳුනාගත යුතුයි. අපි රුසියානු සංචාරකයන්ට කැමතියි. මොකද උණවටුන ගත්තම සියයට 60ක්ම ඉන්නේ රුසියානු සංචාරකයන්.”
“එයාලගෙන් අපිට හොඳක් මිසක් නරකක් නැහැ නමුත් එයාල උණුවටුණ ප්‍රදේශයට ගොඩක් එන හින්දා එයාලගේ පස්සෙන් ආපු සංචාරකයන් නොවන කුමක් හෝ ක්‍රමයකින් වීසා ඇතුව හෝ නැතුව රටට ඇවිල්ලා මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කරගෙන ගියපු අයගේ එක්කෝ කම්මැලිකම නිසා එක්කෝ නොදන්න නිසා එක්කෝ තමන්ට කරගෙන යන්න බැරි නිසා ඒ බිස්නස් බද්දට අරගෙන කරන රුසියන් බිස්නස්කාරයෝ ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ.”
“මෙයාල සංචාරකයෝ නෙවෙයි. එයාල කරන්නේ අපේ ගමේ මිනිස්සුන්ට හම්බවෙන්න තියෙන ප්‍රතිලාභ ඒගොල්ලො හූරගන්න එක.”

‘ඒගොල්ලො නොකරන බිස්නස් එකක් නැති තරම්’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපි මේ අවස්ථාවේ හිස්ව තිබිච්ච හෝටල් ඒවා පුරවන්න Travel agencies වලට අඩු මුදලකට දිලා තියනවා. අපි බලාපොරොත්තු වෙන්නේ කෑම බීම සේවා සපයලා අමතර ආදායමක් ලබන්න. හැබැයි දැනට වෙලා තියෙන්නේ උණවටුනට එන රුසියානු සංචාරකයන්ට සැපයීම අපෙන් ගිලිහිලා රුසියානු කූට වෙළඳුන් අතට පත්ව තියනවා. ඒගොල්ලත් නොකරන බිස්නස් එකක් නැති තරම්. දැනට උණවටුන ගියොත් ඒගොල්ලන්ගේ නීති විරෝධී club සහ සුදු තියෙනවා. ප්‍රසිද්ධියේ බෝඩ් දාගෙන කරන පෝකර් games සහ ක්ලබ්ස් තියෙනවා. ඒ වගේම ඇප්ස් හරහා කරන බිස්නස් ගොඩයි. සිගරට් ඉඳලා විස්කි වෙනකම් නීති විරෝධීව බිස්නස් සිදුවෙනවා. රජයට කිසි ආදායමක් ගෙවන්නැතුව මෙයාලට මේවා කොහොමද හම්බවෙන්නේ? ඒ ගැනත් හොයන්න ඕනේ. සමහර වෙලාවට එයාලගේ රටේ ඉඳලා අතේ ගෙනල්ලා මේ බිස්නස් එක කරන වෙන්නත් පුළුවන්.” නිමල් ගීගනගේ පැවසීය.
"ඒ වගේම අනෙක් සංචාරකයන් උණවටුනට එන එක අඩුවෙලා තියෙනවා විශේෂයෙන්ම යුරෝපියන්. මේකෙ අතුලේ හුඟාක් කතා කරන්නේ රුසියානු භාෂාව ඉන්නේ රුසියන් අය ඒ නිසා යුරෝපීය අය මෙහෙ එන්නේ නැහැ. අනික් සංචාරක ව්‍යාපාර කරන අයටත් තමන්ගේ ව්‍යාපාරය කරගන්න බැරිවෙනවා අන්තිමට එයාලා කරන්නේ ඒ බිස්නස් එක රුසියන් කෙනෙක්ට දෙන එක. මේ විදියට ගියොත් අපේ ව්‍යාපාර නැතිවෙනවා තව අවුරුදු කිහිපයක් යනකොට උණවටුනේ සංචාරක ව්‍යාපාරය රුසියානු සංචාරක ව්‍යාපාරයන් අතට යනවා ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා වගකිවයුතු බලධාරී මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න ඕනේ." යැයි ඔහු පැවසීය.

"රුසියන් නෙමෙයි ඕනෑම විදේශිකයෙකුට මෙරට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. අපි ඒක පිළිගන්නවා එහෙම වෙන්න ඕන එතකොට තමයි දියුණුවක් ලබන්න පුළුවන්. හැබැයි එන්න ඕනෙ ආයෝජකයෝ නැතුව පරපෝෂිතයන් නෙවෙයි. රජයක් විදියට ආයෝජකයින් අඳුරගෙන දිරිමත් කරනවා වගේම අපේ රටේ ආයෝජනය කරපු අපිවත් බේරගෙන පිටින් එන ආයෝජකයොත් බේරගෙන මේ පරපෝෂිතයන් ගෙන් මේ ක්ෂේත්‍රය බේරාගත යුතුයි.” ඔහු අවධාරණය කළේය.
නම සඳහන් කිරීමට අකමැති තවත් සංචාරක ව්‍යාපාරිකයෙක් බීබීසී සිංහල වෙත පැවසුවේ "මේ වන විට යම් යම් ආරංචි තියෙනවා රුසියානු ගණිකාවන් යොදාගෙන කරන ව්‍යාපාර උණුවටුන තුළ තියෙනව කියලා වගේම ඒවා සැපයෙන්නෙත් රුසියානු සංචාරකයන්ටම පමණක් කියලා. යම් හෙයකින් මේ වගේ හේතුවක් මුල් කරගෙන ශ්‍රී ලාංකිකයන් සමඟ ගැටුමක් ඇතිවුණහොත් මාධ්‍යයෙන් ඒක කියන්නේ අන්න සංචාරකයන්ට පහර දීලයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කරන්න ඕනේ.” ඔහු පැවසීය.













