ලංකාව තුළ 'සෝලෝ ට්‍රැවලින්' සඳහා ලැයිස්තුවක්

surfer carries longboard

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යෙන් පිරුණු, එමෙන්ම කෙටි කාලයක් ඇතුළත ඕනෑම දේශගුණයක් සහිත පරිසරයක් වෙත ගමන් කළ හැකි දූපතක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත ය.

මීට දශකයකට පමණ ඉහත දී දෙස් විදෙස් සංචාරකයින් පවුල් වශයෙන් ද යුගල වශයෙන් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්තක් දැක්වුව ද, වර්තමානය වන විට බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇති ඇත්තේ 'සෝලෝ ට්‍රැවලින්' හෙවත් තනිවම සංචාරය කිරීම යි.

බටහිර රටවල පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ මෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද බොහෝ දෙනා තනිව සංචාරය කිරීමට උනන්දුවක් දක්වන බව පෙනෙයි.

2020 වසරේ දී ලොවම වෙලාගත් කොවිඩ් වසංගතය සහ 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවිය.

මේ හේතුවෙන් විදෙස් සංචාරකයින්ට පමණක් නොව දේශීය සංචාරකයින්ට ද රට තුළ සංචාරය කිරීමට හැකියාවක් නොලැබුණි.

නමුත්, මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමග දෙස් විදෙස් සංචාරකයින්ට අවම වියදමකින් සහ අවම කාලයකින් සංචාරය කිරීමට සුදුසු ස්ථාන මොනවා ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සොයා බැලීමක් සිදුකළේ ය.

ඒ සඳහා අපි මෙරට එවැනි ස්ථාන සොයා ගිය, 'මං සරන්නා' ලෙස සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ සංචාරකයෙකු වන ඉඳුනිල් විජේකෝන් සම්බන්ධ කර ගතිමු.

ඔහු, ඔහු ආරක්ෂිතව තනිව සංචාරය කළ ස්ථාන කිහිපයක තොරතුරු බෙදාගත්තේ ය.

බෙල්වුඩ්

මහනුවර දිස්ත්‍රික්කයේ මොරගොල්ල - ගලහ මාර්ගයේ ගමන් කරන විට හමුවන මෙම ප්‍රදේශය සංචාරකයින් විසින් 'පුංචි නවසීලන්තය' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙම ප්‍රදේශයේ වැවක් මෙන්ම තිරිවානා නිධියක් ද පිහිටා තිබෙන අතර, ස්වභාව සෞන්දර්යෙන් අනූන මෙය සංචාරය කරන අයෙකුට නිදහස් එමෙන්ම සුන්දර අත්දැකීමක් ළඟාකර ගත හැකි ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය.

"බෙල්වුඩ්වල කඳවුරු බැඳීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් වාහනයෙන්ම ගිහිල්ලා කඳවුරු බඳින්නත් පුළුවන්," ඉදුනිල් අප හා පැවසීය.

නාරංගල කන්ද

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශයේ පිහිටි නාරංගල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර 1527ක් උසට නැගී සිටියි.

ඉතා දැකුම්කළු පරිසරයකින් යුතු මෙම කන්ද බොහෝ දෙනා අතර රාත්‍රී කඳවුරු බැඳීමට යොදා ගන්නා ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.

එමෙන්ම කන්ද මුදුනේ සිට බලනවිට මනස්කාන්ත පරිසරයක දර්ශන රැසක් දැක බලා ගැනීමට මෙහි සංචාරය කරන්නෙකුට හැකිවේ.

විශේෂයෙන්ම හිරු උදාවන ආකාරය, වලාකුළුවලට ඉහළ සිට පහළ පරිසරය පෙනෙනවා වැනි දර්ශන ද දැක බලා ගැනීමට හැකිය.

නමුණුකුල කන්ද

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නමුණුකුල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 2036ක් උසට පිහිටා තිබේ.

මුදුන් නමයකින් සමන්විත නිසා මෙය 'නමුණුකුල' යනුවෙන් හැඳින්වුවත්, දැකගත හැකි වන්නේ කඳු මුදුන් හතක් පමණ ය.

නමුණුකුල කන්දේ පිහිටි 'දියනගල' නමින් හැඳින්වෙන ප්‍රදේශය ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය. ඒ, එම ප්‍රදේශයේ පිහිටි නාලිනී නමින් හැඳින්වෙන දිය ඇල්ල නිසාවෙනි.

නමුණුකුල කන්ද කඳු නගින්නන් අතර ප්‍රචලිත අතර මෙහි කඳවුරු බැඳීමට ද හැකි ය.

Namunukula

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුදුන් නවයක් ඇති නිසා 'නමුණුකුල' යනුවෙන් හැඳින්වුවත්, දර්ශනය වන්නේ මුදුන් හතක් පමණි

ග්‍රේට් වෙස්ටර්න් කන්ද

නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ග්‍රේට් වෙස්ටර්න් කන්ද, මුහුදු මට්ටමේ සිට මීටර් 2212ක් උසට පිහිටා තිබේ.

"මේ කන්ද බලන්න යන්න පුළුවන් වෙන්නේ දුම්රියෙන්. ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් බැහැලා කන්ද නගින්න වෙන්නේ. ඒ වගේම, මෙහෙ සංචාරය කරනවා නම් තව කෙනෙක් එක්ක යන එක හොඳ යි, මොකද මේ ප්‍රදේශයේ දිවියෝ ඉන්න නිසා.

"ඒ වගේමයි ග්‍රේට් වෙස්ටර්න් කන්දේ රාත්‍රී කාලයේ කඳවුරු බඳින්නත් පුළුවන්," ඉඳුනිල් පැවසුවේ ය.

ඇල්ල

ඇල්ල ප්‍රදේශයේ පිහිටි, සංචාරකයින් අතර ප්‍රකට ආරුක්කු නවය දුම්රිය පාලම, ලිට්ල් ඇඩම්ස් පීක් සහ රාවණා ගුහාව ආදී ගමනාන්ත, මෙහි සංචාරය කිරීමට සුදුසු ස්ථාන ලෙස හැඳින්විය හැකි ය.

රාවණා ගුහාව යනු රාමායණයට අනුව රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙනවිත් සඟවා තැබූ ස්ථානය ලෙස හැඳින්වේ.

"ඇල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථානවල රාත්‍රී කාලයේ කඳවුරු බදින්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ වුණත්, දවස් දෙකක් වගේ ඇතුළත ඇල්ල ප්‍රදේශයේ තියෙන මේ සංචාරක ස්ථාන සියල්ල නරඹන්න හැකියාව තිබෙනවා," ඉඳුනිල් කියයි.

Nine arch bridge Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරුක්කු නවයේ මේ පාලම දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රකට ය

මිලේනියම් පොයින්ට් සහ පිල්කින්ටන් පොයින්ට්

පූනාගල වතුයායේ පිහිටි මිලේනියම් පොයින්ට් සහ පිල්කින්ටන් පොයින්ට් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානයන් හි දර්ශණිය නැරඹුම් ස්ථාන දෙකක් පිහිටා තිබේ.

මෙහි කඳවුරුලෑම සම්බන්ධයෙන් ඉඳුනිල් පැවසුවේ මෙවැන්නකි: "මෙම භුමියේ කඳවුරු බඳින්න අවසර හිමි වන්නේ නැහැ. ඒකට හේතුව තමයි රාත්‍රී කාලයේ දී වන අලින් ගැවසීම. දහවල් කාලයේ දී වන අලින් ගැවසීම නැති නිසා සංචාරය කරන්න සුදුසු යි."

රත්ගම කලපුව

දකුණු පළාතේ පිහිටි රත්ගම කලපුව සංචාරකයින් අතර ප්‍රචලිත වන්නේ එහි පිහිටි කඩොලාන ඇතුළු පරිසර පද්ධතිය හේතුවෙනි.

"මේ කලපුවේ දී සංචාරකයින්ට බෝට්ටු සහ කයෑකින් (ඔරු) පැදීම සිදුකළ හැකියි. ඒ වගේම කලපුව ආශ්‍රිතව ජීවත් වන ජලජ ජීවින් වගේම මත්ස්‍යයින් දැක බලා ගන්නත් පුළුවන්. සවස් කාලයේ හිරු බැස යන දර්ශනය සමග අහසේ වලාකුළුවල දක්නට ලැබෙන දර්ශනීයත්වය කලපුවේ සිට දැක බලා ගන්න ලැබෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්," ඉදුනිල් සඳහන් කළේ ය.

යකාගේ පඩි පෙළ

යකාගේ පඩි පෙළ යනුවෙන් හැඳින්වෙන මාර්ගය කඳුකර පරිසරය අත්විඳීමට කැමති සංචාරකයින්ට වෙනස්ම අත්දැකීමක් ළඟාකර දෙන ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකි ය.

අත්හැර දමන ලද කුඩා තේ වතු මෙන්ම එළවලු වගා බිම්, පතණ සහ තෘණ භූමිවලින් පිරුණු මෙම පරිසර පද්ධතිය, ගමන් කිරීමට දුෂ්කර කඳු තරණය කිරීමේ මාර්ගයක් ලෙස හැඳින්විය හැකි ය.

මේ හේතුවෙන් එවකට රට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයින් විසින් මෙයට 'ඩෙවල්ස් ස්ටෙයාර්කේස්' යනුවෙන් හඳුන්වා ඇති බව සඳහන් ය.

'මං සරන්නා' ලෙස සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ සංචාරකයෙකු වන ඉඳුනිල් විජේකෝන්

ඡායාරූප මූලාශ්‍රය, Man Saranna| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මං සරන්නා' ලෙස සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ සංචාරකයෙකු වන ඉඳුනිල් විජේකෝන්

මීට අමතරව දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය තවත් ගමනාන්ත දෙකක් ද අපට හමුවිය.

ඒ, නිලාවේලි හි පිහිටි පරෙවි දූපත සහ බත්තලංගුණ්ඩුව දූපත ය.

බත්තලංගුණ්ඩුව දූපත

දූපතක රාත්‍රියක කඳවුරු බැඳීමට කැමැත්තක් දක්වන සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයක් ලෙස බත්තලංගුණ්ඩුව දූපත් හැඳින්විය හැකි ය.

කල්පිටිය ධීවර වරායේ සිට පැය තුනකට ආසන්න බෝට්ටු සංචාරකයින් පසු ළඟා විය හැකි මෙම දූපත, මේ වන විට බොහෝ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.

බෝට්ටු සංචාරය මෙන්ම රාත්‍රියේ දී මුහුදු වෙරළේ කඳවුරු බැඳීමට ද අවස්ථාව හිමිවන බත්තලංගුණ්ඩුව දූපත සංචාරකයින්ට වෙනස්ම අත්දැකීමක් ළඟාකර ගත හැකි ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.

පරෙවි දූපත

Pigeon island sri lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරෙවි දූපත තුළ රාත්‍රී කාලයේ කඳවුරු බැඳීමට අවසර නැත

ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තීරයේ සිට කිලෝමීටර් පහක් බෝට්ටුවෙන් යාත්‍රා කිරීමෙන් සංචාරකයින්ට පරෙවි දූපතට ළඟා විය හැකි ය.

අභය භූමියක් ලෙස නම් කර ඇති මෙම දුපත සහ ඒ ආශ්‍රිතව පිහිටි සුන්දර කොරල්පරය සංචාරක ආකර්ෂණය දිනා සිටියි.

මෙම කොරල් පරය ආශ්‍රිතව කැස්බෑවන් සහ විවිධ විසිතුරු මත්ස්‍ය වර්ග රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව කිමිදුම්කරුවන්ට උදාවේ.

"මෙම දූපතේ රාත්‍රී කාලයේ දී කඳවුරු බැදීමට සංචාරකයින්ට අවසර හිමි වන්නේ නැහැ. එමෙන්ම, ඊසානදිග මෝසම් වැසි සමයේ දී මෙම දූපතට ගමන් කිරීම සහ මුහුදේ කිමිදීමට සංචාරකයින්ට අවස්ථාව හිමි නැහැ," ඉඳුනිල් පැවසීය.

තනිව සංචාරය කිරීමේ දී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු ගැන මනා සැලකිල්ලක් තිබීම ඉතා වැදගත් බව ඉඳුනිල් විජේකෝන් පවසා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තනිව සංචාරය කරන පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තනිව සංචාරය කිරීමේ දී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු ගැන මනා සැලකිල්ලක් තිබීම ඉතා වැදගත් බව ඉඳුනිල් විජේකෝන් පවසා සිටියේ ය.

"සෝලෝ ට්‍රැවලින් වගේම සෝලෝ කැම්පින් කියන්නේ තමන්ට කැමති විදිහට ගමන් කරන්න පුළුවන් වගේම හිතේ පුංචි කුතුහලයක් ඇති කරවන ගමනක් කිව්වොත් නිවැරදියි. මේ ගමන්වල අවදානමක් නැතිවම නොවේ, අවදානමක් තියෙනවා.

"සොලෝ ගමන් යද්දී අපි අවම රිස්ක් එකක් තියෙන ගමනක් තෝරා ගන්න ඕන. ගොඩක් කැලෑව ඇතුළක ගිහිල්ලා අපි කෑම්පින් කරන්න යනකොට එතන තියන රිස්ක් එක වැඩියි. මොකද සත්තු ඉන්නවා, එහෙම නැත්නම් හදිසි ස්නේක් බයිට් එකක් වුණොත් එහෙම අපිට තනියම යන්න බැහැ. හොදම දේ තමයි ළඟම තියන රෝහලකට ඇතුළත් වෙන එක. ඉතින් එහෙම අවදානම් තියෙන නිසා තනිව සංචාරය කිරීමේදී අවදානම් අඩු තැන් හොයා ගන්න ඕන," ඔහු පැවසීය.

"මේ ගමනේ දී අපි ප්‍රධාන වශයෙන් කාල කළමනාකරණය කිරීම ගැන ලොකු අවධානයක් දෙන්න ඕන. සෝලෝ කෑම්පිං එකකට ගියොත් එහෙම කළුවර වැටෙන්න කලින් තනියම සියලු දේ කරන්න ඕන. කුඩාරම් ඉදිකරන්න, ගිනි මැල පත්තු කරන්න අවශ්‍ය දර සොයා ගැනීම වගේ දේවල්. ඒ නිසා ටයිම් මැනේජ්මන්ට් එක වැදගත්.

"ඒ වගේම අපේ ප්‍රථමාධාර පෙටිටිය අවශ්‍ය බෙහෙත්, ප්‍රතිජීවක ඖෂධ, බැන්ඩේජ් සහ තමන් කිසියම් රෝගයකට බෙහෙත් බොනවා නම් ඒවා මේ සියල්ලම අඩුවක් නැතිව අරන් යන්න මතක තබාගන්න අවශ්‍ය යි. එමෙන්ම හදිසි ප්‍රතිකාර ලබා දීම සහ ඒවාට අදාල මූලික දැනුම ලබා සිටීමද මෙහිදී වැදගත් වෙන තවත් කරුණක්.

"ඒ යම් කිසි හදිසි අවස්ථාවක දී අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා තමන් සංචාරය කරන ප්‍රදේශයට ආසන්න පොලිස් ස්ථානයේ දුරකථන අංකය, එමෙන්ම එම ප්‍රදේශයට ආසන්නයේ පදිංචි මිතුරෙකු හෝ ඥාතීන්ගේ දුරකථන අංක සුරක්ෂිතව ළඟ තබා ගැනීම වැදගත්," ඔහු අප හා කියා සිටියේ ය.