ලෝක සාගර දිනය: මහ මුහුදේ ශෝකාන්තය කිමිදුම්කරුවෙකුගේ ඇසින් දකිමුද?

ඡායාරූප මූලාශ්‍රය, Ozan Efeoglu/Anadolu Agency
“ඒ සුන්දර ගලක් යට මැරුණත් සැපයි” හතලිස් පස් අවුරුද්දක් තිස්සේ බඩ වියත රැක ගැනීමට මහ මුහුද සමග ගැටෙන රංජිත් සිල්වා මහ සාගරයට ඇති සෙනෙහස එසේ විස්තර කළේය.
තම දෑසින් මහ සාගරයේ ඇතුලාන්තය දකින අතලොස්ස අතරින් කෙනෙකු වන ඔහු වයස අවුරුදු 13 දී කිමිදුම් රැකියාවට අවතීරණ වී එතැන් පටන් විසිතුරු මසුන් ඇල්ලීම සිය ජීවිකාව කරගනිමින් දිවි ගෙවනු ලබයි.
“අපේ ප්‍රධානම ස්ටෑන්ඩ් එක තමයි දෙහිවල, ඒකෙන් තමයි අපි පටන් ගත්තේ. මඩකලපුව, අක්කරෙයිපත්තු, කල්මුණේ, පාසිකුඩා, කිරින්ද, පානම ඔය වටේම අපි ඩයිව් කරලා තියෙනවා,” යි ලෝක සාගර දිනය දා බීබීසී සිංහල සේවය සමග කතා බහකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
ලෝක සාගර දිනය අද (ජුනි මස 08 වැනිදාට) යෙදී ඇති අතර මෙවර එහි තේමාව ''වෙනස්වන පෘථිවි සාගරය'' යන්නයි.
ශ්‍රී ලංකාවට හිමි සාගර කලාපය ගොඩබිමට වඩා විශාල වන අතර මෙරට මුහුදු කලාපය රට මෙන් අට ගුණයක් විශාලය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
X-Press Pearl හානිය නිමා වෙන්නේ කවදාද?
“පැඩින් වගේ ලොකු රෝල් තිබුනානේ ඒවා පිච්චිලත් එක්ක වතුර අල්ලනකොට නූල් බවට හැරිලා ගල් පරවලා එතිලා තියෙන්නේ. හැඳල මුහුදට ගියාම තාම ඒවා තියෙනවා.” යැයි දෙවසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය නිසා අදටත් හානි වී ඇති මුහුද ගැන විස්තර කරමින් රංජිත් සිල්වා කියා සිටියේය.
“නූල් හරි, දැල් කෑලි, කුණු තියෙනවානේ මුහුද යට සෑහෙන්න එතකොට බීජ හලන කාලෙට මාලුවා බලන්නේ නෑ මේක ගල ද මොකක්ද කියලා එයා බීජ හලනවා. එක පාරටම මුහුද පතුළ යටින් දියවැල් යන දවස් තියෙනවා එතකොට තමයි කැලැත්තිලා මුහුද බොර වෙන්නේ. හුලං යද්දි මුහුද කැළඹෙනවා එතකොට අර දාපු බීජ ටික වීසි වෙලා ගිහිල්ලා පණුවෝ කාලා පොඩි මාලු කාලා විනාශ වෙලා යනවා. එතකොට බොහොම අතලොස්සක් තමයි බෝවෙන්නේ.”
X-Press Pearl නැවෙන් මුහුද එක්කාසු වු පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කිරිමේ දී හුරුල්ලන් හා සාලයන් වැනි මිනිසුන් විසින් ආහාරයට ගන්නා මසුන් දිවි ගෙවන කලාපය විනාශ වු බව ද කිමිදුම්කරු කියා සිටියේය.
“මීගමුවේ ඉදලා මෝදර පැත්තට වෙනකම් මුහුදේ නැවෙන් ගිය ඒවා තවම තැන්පත් වෙලා තියෙනවා.” යි හෙතෙම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැලි කැණීමෙනුත් විශාල හානියක්..
කොළඹ වරාය නගරය නිර්මාණයට මෙන්ම වරාය නවීකරණ කටයුතු වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වැලි ලබා ගන්නේ මහ මුහුදෙන්ය. එයින් අප නොදැක සාගරයට සිදුවන විනාශය කිමිදුම්කරුවකු වන රංජිත් සිල්වා සියැසින් දැක තිබේ.
“වැලි ගහද්දි පොඩි ඩස්ට් එකක් එනවා ඒක දියවැල් එක්ක යනවා ඒක ගල්පරවල මාලුවා හදපු වළවල්වලට ගිහින් වැටෙනවා එතකොට මාලු බීජ දාන තැන් නැතිවෙනවා. මේක මඩ වගේ වැල්ලක් ඒකේ බර ගතිය වැඩි ඒ නිසා ඒක වළවල්වල තැන්පත් වුණාම මේක යන්නේ නැහැ.”
“මඩුවා, බොරලුවා, කඹුවා ඒ අය මුහුද යට වැඩ කරන මාලු, ඒගොල්ලො තමයි වළවල් හදලා අනිත් මාලුන්ට පරිසරය නිර්මාණය කරන්නේ. දැන් මේගොල්ලො වළක් හාරන්න හැදුවාට ඒ මඩ යන්නේ නැත්නම් මොකද කරන්නේ. මඩුවෙක්ට පුලුවන් මීටර් එකහමාරක වපසරියක වළක් විනාඩි දහයක දී වගේ හාරන්න පුලුවන් එයාට. බලන් ඉන්න හරි ලස්සනයි ඒක” යැයි මහ සාගරයෙන්ම උගත් දැනුම හා අත්දැකිම ගැන ඔහු විස්තර කළේය.
“මුහුදු පතුලේ වැලි ගත්ත තැන් වළවල් වගේ හැබැයි දැන් වළවල්වල ටොන් ගණන් තියෙනවා. ගැඹුරට හැරුවාට පස්සේ දැන් මුහුදේ පරිසරය වෙනස් වෙලා තියෙන්නේ.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“වැලි ගත්තාට පස්සේ දැන් මුහුදේ හැදිලා තියෙනවා බම්පර් අර පාර මැද්දේ දාලා තියෙනවා වගේ. දැන් ඒ පරිසරය විනාශ වෙලා දැක්කාම අපිට හරි දුකයි ඝන වැල්ල ගත්ත නිසා තමයි ඒ විනාශය වෙලා තියෙන්නේ. බෙල්ලෙක් කවුරුහරි අරන් ගියාම අල්ලනවා. මුහුදෙන් වැලි අරගෙන නැවෙන් ඒවා ගෙනත් දාද්දි එතන මොන තරම් බෙල්ලො තොගයක් ඉන්නවාද, මොන තරම් බෙල්ලෝ විනාශයක් කරනවාද එතන.” ඔහු කෝපය මුසු වු වේදනාවෙන් කියා සිටියේය.
X-Press Pearl නැවෙන් මහ මුහුදට සිදුවු හානියට වඩා වැඩි විනාශයක් මුහුදේ වැලි කැනීම නිසා සිදුවන බව රංජිත් සිල්වා සඳහන් කළේය.
“කෝ දැන් ඉස්සෝ, කොළඹ, මෝදර, හැඳල කොච්චර ඉස්සෝ අල්ලනවාද, මේ මාසේ වෙනකොට මොන තරම් ඉස්සෝ ගොඩගහන්න ඕනේද, ඒවා බාගෙට බාගයක් ඉවරයි දැන්.” යැයි ඔහු පැවසුවේ ධීවර අස්වැන්න අඩු වීමට හේතුව වැලි කැනීම බව පැහැදිලි කරමිනි.
වැලි හැරීමට යාමෙන් මුහුදු පත්ලේ ඇති අංශු කැලතීමකට ලක් වන අතර එසේ කැළතීමට ලක්වන රොන්මඩ යළි ක්‍රමයෙන් තැන්පත්වන විට මුහුදේ ඇති කොරල් පර හා ශාක වැසි යන බව සාගර විශේඥයින් පෙන්වා දෙයි.
එමෙන්ම නොගැඹුරු මුහුදෙන් වැලි පොම්ප කිරීම නිසා එම කලාප ගැඹුරු වීමද මත්ස්‍ය සම්පතට විශාල බලපෑමක් එල්ල කරන අතර සාගර ජීවීන් බෝවන කලාප විනාශ වී යන බව ඔවහූ පෙන්වා දෙති.
“මොන තරම් කුණු කන්දරාවක් තියෙනවා ද මුහුදේ වැලි හාරන එකයි කුණු දාන එකයි තමයි මුහුදට තියෙන ලොකුම විනාසේ. අපි මේවා කාට කිව්වත් වැඩක් නෑ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉස්පිරිතාලවලින් අයින් කරන දේවල්, ගොවිතැන්වලට ගන්න තෙල් බෙහෙත් වගේ කෙමිකල් කොච්චර කාණු, ඇළ පාරවල් දිගේ ඇවිත් මුහුදේ තියෙනවා ද? ” සාගර විනාශය ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ඔහු බීබීසී සිංහල සේවයට විස්තර කළේය.
කිමිදුම්කරුවකු මහ මුහුදට මෙන්ම එහි ජීවීන්ට ද ආදරය දක්වන ආකාරය ඔහු කී දෙයින් අපිට වැටහෙනු ඇත.
“ප්ලාස්ටික් බෝතල් කෑලි මුහුදේ තියෙනවානේ ඕවා ඇතුලට සමහර මාලු ඔලුව හරි බෙල්ල දාගන්නවා ඒගොල්ලො ඊට පස්සේ භාගයක්ම කැපිලා ගෙවිලා යනකම් උගේ ඇඟ ඇතුලේ ඌ දන්නේ නෑනේ බේරගන්න. ඩයිවස්ලා කාට හරි හම්බ වුනොත් තමයි ඕකව අල්ලගෙන ඒක කපලා ඌව බේරලා යවන්නේ. අපි ඉතින් මහ මුහුදෙදි ඒ සත්තුන්ට කරලා තියෙන උදව්”
“අපි අපේ ජිවිකාව ගෙනියන්නේ හැමදාම කිමිදිලා. අපි තමයි දවස ගාණේ මුහුද යට තියෙන දේවල් දකින්නේ. ඒක හරි සුන්දර ලෝකයක් ඒ සුන්දර ගලක් යට මැරුණත් සැපයි” දින දින ''වෙනස්වන පෘථිවි සාගරය'' දකින රංජිත් සිල්වා පැවසුවේය.








