'අපි පැය ගාණක් මුහුදේ ඉන්නවා, ඒත් මාළු නැහැ'

Darshan Kini seen fishing

ඡායාරූප මූලාශ්‍රය, Shardul Kadam/BBC Marathi

ඡායාරූප ශීර්ෂ වැකිය, දර්ශන් කිනී දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ මුම්බායි ආසන්න බටහිර වෙරළ තීරයේ මසුන් ඇල්ලීම සිදු කරයි

මුහුදේ උෂ්ණත්වය ඉහළයාම ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ ධීවරයින්ගේ සහ මත්ස්‍ය වෙළෙන්දන්ගේ ජීවනෝපායට සෘජුවම බලපාන අතර, ඔවුහු දැන් මසුන් අස්වැන්න අඩුවෙමින් පැවතීම නිසා පීඩා විඳිමින් සිටිති.

"අපි පැය ගණන් මුහුදේ හිටියා, ඒත් එක මාළුවෙක්වත් අල්ලගන්න බැරිවුණා. අපේ දැල් පහටම මොකෙක්වත් අහුවෙලා නෑ," මුම්බායිහි ධීවරයෙකු වන දර්ශන් කිනී පසුගිය මාසයේ දිනක උදෑසන කලකිරීමෙන් පැවසුවේ ය.

36-හැවිරිදි ඔහු අප හා කතාබහ කළේ, මසුන් මැරීමට ගිය ගමනකින් පසු අනෙකුත් ධීවරයන් ද සමග මලාද්හි මාර්ව් වරායට ආපසු පැමිණි මොහොතේම වාගේ ය.

ඔහු, වයස අවුරුදු තුන හතරක් වූ කාලයේ සිටම පවුලේ වැඩිහිටියන් සමග ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ හා අරාබි මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අයෙකි.

නමුත් කිනීගේ ළමා කාලයට වඩා මේ වන විට බොහෝ දේ වෙනස් වී ඇත.

"මෝරු, මඩුවො, ඩොල්ෆින් වගේ ලොකු මාලුවෝ මේ අවට ගැවසුනු හැටි සීයා මට කියලා තියෙනවා. පොඩි කාලෙත් අපි ඕනම දැලක් දාලා මාළු ගොඩක් අල්ලගන්නවා. ඒත් අද එක මාළුවෙක්වත් නැහැ."

අධික උණුසුමක් සනිටුහන් වූ මෙම ග්‍රීෂ්ම ඍතුවේ දී මසුන් මෙම මුහුදෙන් සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇති බවක් පෙනේ.

එක් කලෙක, වෙරළේ සිට මුහුදට දෙසට කිලෝමීටර් 2-3ක් දුරින් මසුන් බහුලව සොයාගැනීමට මුම්බායි ධීවරයින්ට හැකිවිය. එහෙත් මේ වන විට එවන් අස්වැන්නක් ලබා ගැනීම සඳහා කිලෝමීටර 30-40ක් ගමන් කිරීමට ඔවුනට සිදුව තිබේ.

නමුත් තෙල්මිල වැඩිවීම නිසා කිනී වැනි සාම්ප්‍රදායික ධීවරයින්ට මෙය දරාගත නොහැකි අතර, අධික ලෙස මසුන් අල්ලන විශාල ට්‍රෝලර් යාත්‍රා සමග තරග කිරීමට ද ඔවුනට සිදුව තිබේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිට පහළට ගියවිට හමුවන දකුණුදිග ප්‍රාන්තයක් වන කේරළයේ වෙසෙන බයිජු පී.බී. පවසන්නේ නිරන්තර සුළි කුණාටු හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරයට බාධා එල්ල වී ඇති බව යි. විශේෂයෙන් ඉන්දියාවේ බටහිර වෙරළට බලපෑ දරුණුතම සුළි කුණාටුවලින් එකක් වූ 2017 වසරේ ඔකී සුළි කුණාටුවෙන් පසු ඔහුට නිරන්තර කාලගුණික බලපෑම් එල්ල විය.

A fish market in Mumbai

ඡායාරූප මූලාශ්‍රය, Shardul Kadam/BBC Marathi

ඡායාරූප ශීර්ෂ වැකිය, මත්ත්ස්‍ය අස්වැන්න අඩුවීම නිසා මාළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ

ධීවර බෝට්ටු කිහිපයක් හිමි බයිජු පවසන්නේ එම ප්‍රාන්තයේ ප්‍රසිද්ධ ටාර්ලි හෝ මාති වැනි සාඩින් වර්ග එහි වෙරළතීරයෙන් බොහෝදුරට අතුරුදහන්ව ගොස් ඇති බව යි.

හේතුව කුමක්ද?

1951 සිට 2015 දක්වා කාලය තුළ ඉන්දියානු සාගරයේ සමක කලාපයේ මතුපිට උෂ්ණත්වය දශකයකට 0.15°Cක වේගයෙන් 1°Cකින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය භූ විද්‍යා අමාත්‍යාංශ වාර්තාවක් දක්වයි.

මේ නිසා බටහිර වෙරළ තීරයේ ඉතා දරුණු සුළි කුණාටු ඇතිවීමේ වාර ගණන වැඩි වී තිබේ. මෙම කලාපයේ සාගර තාප තරංග ඇතිවීම ද ඉහළ ගොස් ඇත.

මෙසේ ජලය උණුසුම් වන විට මසුන් නව මුහුදු ප්‍රදේශ කරා සංක්‍රමණය වේ.

"අපි ගොඩනැගිලිවල ජීවත් වෙනවා වගේම, මත්ස්‍යයින්ට ජීවත්වීමට වාසස්ථානයක් අවශ්‍ය යි. ඒකට උදව් වෙන්නේ කොරල්පර. නමුත් උෂ්ණත්වයේ වෙනස්වීම් නිසා කොරල්පර විනාශ වෙනවා," සමුද්‍ර ජීව විද්‍යාඥ වර්ධන් පටන්කාර් පැහැදිලි කරයි.

උෂ්ණත්වය ඉහළ යාම මත්ස්‍යයන්ගේ සරුභාවයට ද බලපාන බව ඔහු පවසයි.

"බොහෝ මත්ස්‍ය විශේෂයන්ගේ ප්‍රජනනය විවිධ රසායනික සංඥා මත රඳා පවතිනවා. යම් යම් තත්ත්වයන් යටතේ, පිරිමි සහ ගැහැණු සතුන් තම ජන්මාණු එක විට මුදාහැරියාම නව ජීවීන් බිහිවෙනවා."

"නමුත් උෂ්ණත්වයේ වැඩිවීම නිසා සාගර ජලයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා ඔවුන්ට ජන්මාණු එකවිට නිදහස් කරන්න බැරිවුණාම මත්ස්‍ය ගහණය අඩු වෙනවා," ඔහු පවසයි.

මසුන්ගේ ප්‍රධාන ආහාරයක් වන ෆයිටොප්ලැන්ක්ටන් ද තාපය නිසා විනාශ වේ.

ඉන්දීය ධීවර දෙපාර්තමේන්තුවේ 2020 වාර්තාවක දැක්වුණේ පසුගිය වසර 10 තුළ අල්ලාගත් මසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව යි. ඒ අනුව, 2010 දී ටොන් මිලියන 3.2ක්ව පැවති අගය 2020 දී ටොන් මිලියන 3.7 දක්වා වැඩිවී තිබේ.

නමුත් මෙම සංඛ්‍යාවලින් සැබෑ තත්ත්වය නොපෙන්වන බව සමස්ත මහාරාෂ්ට්‍ර ධීවර ක්‍රියාකාරී කමිටුවේ දේවේන්ද්‍ර දමෝදර් තන්ඩෙල් පවසයි.

Fishermen seen along the coast of Mumbai

ඡායාරූප මූලාශ්‍රය, Shardul Kadam/BBC Marathi

ඡායාරූප ශීර්ෂ වැකිය, මුම්බායි හී ධීවරයින් පවසන්නේ එවකට මුහුදෙන් කිලෝමීටර් කිහිපයක් ඔබ්බට ගිය විට මාළු බහුලව සොයාගත හැකිව තිබූ බවයි

"වසර පුරාම අල්ලපු මාළු ප්‍රමාණය නෙවෙයි, වැඩිපුර මාළු ඇල්ලුවේ මොන මාසවල දී ද කියන එක යි බලන්න ඕන," ඔහු පවසයි.

"සාමාන්‍යයෙන් මෝසම් කාලේ දී මාළු අභිජනනය වෙන නිසා මාස තුනකට විතර මාළු අල්ලන එක නවත්තනවා. ඒත් දැන් මාළු අල්ලන්නේ නැතුව ඉන්නේ මාස දෙකක් විතරයි. සමහර බෝට්ටු තහනම් කලාපවලට නීති විරෝධීව මාළු අල්ලන්න යනවා."

මෙම ක්‍රියාවලීන් මුහුදේ සිදුවන පාරිසරික වෙනස්කම් ද සමග එක්වූ විට වසර දෙක තුනකින් මහාරාෂ්ට්‍ර වෙරළ තීරයේ මසුන් වඳවී යා හැකි බවට තන්ඩෙල් බිය පළ කරයි.

මුහුදේ සිදුවන වෙනස්කම් ජනතාව තවමත් බැරෑරුම් ලෙස නොසලකන බව ඔහු පවසයි. "ගස් අපේ දෑස මානෙ තියෙන නිසා මිනිස්සු ඒ ගැන හැඟීමෙන් වැඩ කරනවා. නමුත් සාගරයේ සිදුවන දේවල් අපට පේන්නේ නැහැනේ."

ධීවර ව්‍යාපාරයේ වැදගත් අංගයක් වන මත්ස්‍ය වෙළෙන්දන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ, ජීවනෝපාය සඳහා මුහුදේ උෂ්ණත්වය ඉහළයාම දැනටමත් සෘජු බලපෑමක් ඇති කරයි.

ඉන්දියාව පුරා ධීවර කර්මාන්තයේ නියැලෙන ජනතාව මිලියන 2.8ක් පමණ සිටින අතර, මසුන් ඇල්ලීමෙන් පසු පිරිසිදු කිරීම සහ විකිණීම වැනි කටයුතුවලින් 70%කට ආසන්න ප්‍රමාණයක් සිදුකරන්නේ කාන්තාවන් විසිනි. මත්ස්‍ය අස්වැන්න අඩුවීම ඔවුන්ගේ මූල්‍යමය ස්වාධීනත්වයට සෘජුවම බලපායි.

A fish market in Mumbai

ඡායාරූප මූලාශ්‍රය, Shardul Kadam/BBC Marathi

ඡායාරූප ශීර්ෂ වැකිය, මසුන් පිරිසිදු කිරීම සහ විකිණීම ඇතුළු මසුන් ඇල්ලීමෙන් පසුව සිදු කරන කටයුතුවලින් 70% කට ආසන්න ප්‍රමාණයක් සිදු කරන්නේ කාන්තාවන් ය

මුම්බායිහි තදාසන්න චාර්කොප් වෙළඳපොළේ වසර කිහිපයක් තිස්සේ මසුන් අලෙවිකරන නයනා භණ්ඩාරි පවසන්නේ, පෙර දී ඔවුන් තම සැමියාගේ ආදායමෙන් ජීවත්වූ අතර ඇගේ ඉපැයුම් ඔවුන් ඉතිරි කළ බව යි. "ඒත් දැන් අපිට කීයක්වත් ඉතිරි කරගන්න බැහැ."

මත්ස්‍ය අස්වැන්න අඩුවීම නිසා වෙරළබඩ කලාපයේ ප්‍රධානතම ආහාරවලින් එකක අර්බුදයක් ද ඇතිවී තිබේ.

පොම්ෆ්‍රෙට් වැනි ප්‍රධාන මාළුවල මිල වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතින බව මුම්බායිහි මලාද් මාළු වෙළඳපොළේ ගැනුම්කරුවෙකු වන මනීෂා පවසයි.

මලාද් තොග මාළු වෙළඳපොලේ පොම්ෆ්‍රෙට් මසුන් දෙදෙනෙකු දැන් අලෙවි වන්නේ ඉන්දියානු රුපියල් 2500කට (ශ්‍රීලං.රු. 11 200ක් පමණ) ය. එය පසුගිය වසරට වඩා ඉන්දියානු රුපියල් 1400ක වැඩිවීමකි.

"ඉස්සර අපි එක එක ජාතියේ මාළු ගත්තා. උන් සයිස් එකෙනුත් මීට වඩා ලොකුයි. අපි සතියට දවස් තුන හතරක් මාළු කනවා. දැන් අපට ඒ මිලට ගන්න පුළුවන් එක පාරක්, දෙපාරක් විතරයි," ඇය පවසයි.

මේ අතර, කිනීගේ පවුලේ අය එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම සඳහා වට්ස්ඇප් හරහා මාළු විකිණීම අරඹා ඇත.

මෙවර මෝසම් වැසි ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට ළඟාවූයේ වෙනදාට වඩා දින කිහිපයකට පෙර, මැයි මස අවසාන සතියේ දී ය. වර්ෂාවෙන් පසු මසුන් ඇල්ලීම නැවත ආරම්භ කරන විට, මසුන් නැවතත් හසුවෙනු ඇතැ යි කිනී බලාපොරොත්තු වේ.