කඳවුරු භූමියක ආරක්ෂිතව වාඩි ලා ගන්නේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනාරක්ෂිත ප්‍රදේශයක කඳවුරු බැඳීමෙන් තරුණියකට ජීවිතය අහිමිවිමත් සමග ආරක්ෂිතව කඳවුරු බිමක වාඩි ලා ගැනීම ගැන සමාජයේ කතා බහක් ඇති වී තිබේ.
පසුගිය දා කොස්ලන්ද දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩදියලුම ප්‍රදේශයේ කූඩාරම් ගාසා රාත්‍රිය ගත කරමින් සිටි යුවළකට එල්ල වු වන අලි ප්‍රහාරයකින් තරුෂි කවීෂා තරුණියට ජීවිතය අහිමි විය.
මෙම යුවළ කඳවුරු බැඳ ඇත්තේ කූඩාරම් අටවන ප්‍රදේශයෙන් පිටත ස්ථානයක බව පොලිසිය පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
‘තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි’
බොහෝ තරුණ තරුණියන් කඳවුරු බැඳීම පිළිබඳව උනන්දුවක්, කැමැත්තක් දැක්වුවද මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නට ඇත්තේ ඔවුන්ට ඒ පිළිබඳව මනා අවබෝධයක් නැති බවය.
“මුලින්ම ඒ ප්‍රදේශය ගැන අධ්‍යනයක් කරන්න ඕනේ. වන සතුන් ඉන්නවා ද ආරක්ෂාව පිළිබඳව හොයන්න ඕනේ ඒ වගේම යටිතල පහසුකම් වතුර, වැසිකිලි වගේ දේවල් බලන්න ඕනේ" යැයි ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරිමේ අධ්‍යක්ෂකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
නොදන්න ප්‍රදේශවල කඳවුරු ගත වීමට යන විට ඒ ප්‍රදේශය පිළිබඳව මනා අවබෝධයක් ඇති අයගෙන් විමසීමක් කළ යුතු බව අවධාරණය කරන පුහුණු කිරිමේ අධ්‍යක්ෂක කර්නල් පද්මලාල් පෙරේරා කඳවුරු බඳින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ වෙනත් වගකිව යුතු අයෙකු දැනුවත් කිරීම ආරක්ෂා සහිත බව ද සඳහන් කළේය.
“අපි අද තීරණය කරලා අදම කඳවුරක් ගහන්න යන්නේ නෑනේ, ඒකට සුදානමක් වෙන්න ඕනේ. ගමේ ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා, වනජීවි ප්‍රදේශයක නම් වනජීවි නිලධාරින් ඉන්නවා, ඒ අයව දැනුවත් කරලා උපදෙස් අරන් යන එක තමයි ආරක්ෂිත.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කඳවුරු ගත වීමට වෙන් කරන ලද බොහෝ ස්ථානවල දුරකතන භාවිතා කිරිමට සංඥා පහසුකම් ඇති බව කී ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරිමේ අධ්‍යක්ෂක කර්නල් පද්මලාල් පෙරේරා සන්නිවේදන පහසුකම් නොමැති ස්ථානයක කඳවුරු බඳින්නේ නම් ඒ සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ තිබීම මෙන්ම කඳවුරු බිමින් මෙපිට කෙනෙකු හා සම්බන්ධතා පවත්වා ගැනීම සුදුසු බවද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් කඳවුරු ගත විමේ දී අවදානමක් ඇති නොවන ලෙස තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමින් කටයුතු කළ යුතු බව ද කර්නල් පද්මලාල් පෙරේරා තවදුරටත් කියා සිටියේය.
‘මාර්ගෝපදේශකයෙකු යොදාගන්න’
වනජීවී හා රුක්ෂලතා අඥා පනතේ නීතිරිතිවලට යටත්ව රක්ෂිත ප්‍රදේශයක කඳවුරු ගත වීමට අවසර ලබා දෙන බව පවසන වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් චන්දන සුරියබණ්ඩාර කඳවුරු බඳින පුද්ගලයන් අදාළ කඳවුරු භූමියේ නීතිරිතිවලට ද අවනත විය යුතු යැයි බීබීසී සිංහල හා සම්බන්ධ වෙමින් කියා සිටියේය.
“වනජීවී කලාපයක කඳවුරු බඳිනවා නම් වනජීවී දෙපාර්තුමේන්තුව දැනුවත් කරන්න ඕනා වගේම කඳවුරු බඳින්න වෙන් කරපු තැන්වල විතරයි කඳවුරු ගතවෙන්න අවසර දෙන්නේ.” යැයි ඔහු සඳහන් කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සෑම කඳවුරු බිමකටම මාර්ගෝපදේශයකු හෝ සංචාරක මඟ පෙන්වන්නෙකු ලබා දෙන බව කී අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අවශ්‍යතාවය මත කඳවුරු භූමියට මාර්ගෝපදේශකයෙකු යොදා ගැනීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
කුඩාරම් අටවා කඳවුරු භූමියක රැඳි සිටින්නේ නම් අදාළ භූමියේ නීති රීතිවලට යටත් වෙමින් එම භූමිය පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කිරිම වඩා වැදගත් බව අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නොකළ යුතු දෑ හා උපදෙස්
“මං සරන්නා” නමින් කඳවුරු බැඳිම ඇතුළුව සංචාරක කටයුතු ගැන යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන ඉඳුනිල් විජේකෝන් වසර කිහිපයක සිටි ලංකාවේ විවිධ ප්‍රදේශවල කඳවුරු බැඳ වාඩි ලා ගෙන රැය පහන් කිරිම ගැන අත්දැකිම් ඇත්තෙකි.
ඔහු බීබීසී සිංහල සේවය හා සම්බන්ධ වෙමින් කඳවුරු භූමියක දී නොකළ යුතු දේ ගැන මෙන් ම කඳවුරු ගතවීමකදි හැසිරිය යුතු ආකාරය සම්බන්ධව පැහැදිලි කළේය.
“අපි දන්නේ නැති තැනක කෑම්ප් කරන්න යනවා නම් වැඩිපුර සද්ද කරන්න හොඳ නෑ. අපි දන්නේ නෑනේ එතන මොනවාද තියෙන්නේ කියලා සමහර විට බඹර තියෙන්න පුලුවන්, සත්තු නිදාගන්න පුලුවන් එතකොට අපි කෑගහලා සද්ද කරලා සත්තු කලබල වුනොත් අපිට පහර දෙන්න පුලුවන්. කැලේ යද්දි ඊයර් ෆෝන් ගහගෙන යන්න හොඳ නෑ.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
“මේ වගේ අවදානම් ගමන් යද්දි වනජීවී දෙපාර්තුමේන්තුව හෝ වන සංරක්ෂ දෙපාර්තුමේන්තුවෙන් අවසර අරන් මඟ පෙන්වන්න පුලුවන් කෙනෙක් එක්ක යනවා නම් හොඳයි. ආරක්ෂාවට දිග පොල්ලක් , පිහියක් , රතිඤ්ඤා හෝ අලි වෙඩි, ගිනි පෙට්ටියක්, ලණු සූදානම්ව තබාගෙන යන්න.” යැයි ඔහු කියා සිටියේය.
වන සතුන් ගැවසෙන තැන්වල කඳවුරු බැඳීම නොකරන ලෙස ඉල්ලා සිටින ඉඳුනිල් විජේකෝන් පෙන්වා දෙන්නේ එවැනි තැන් තෝරා ගන්නේ නම් ආරක්ෂාකාරී වීමට පියවර ගත යුතු බවයි.
“කෑම්ප් කරන තැනක ගිනි මැලයක් ගහන්න ඕනේ මොකද සත්තු ගින්නට බය නිසා ලං වෙන්නේ නෑ. එහෙම නැතිනම් ලොකු ගහකට නගින්න පුලුවන් ඒවාට සුදානම් වෙලා ඉන්න ඕනේ. නැතිනම් කෙනෙක්ව මුරට තියලා මාරුවෙන් මාරුවට නිදාගන්න පුලුවන්. මොකක් හරි අමුතු සද්දයක් ඇහුණොත් කොළ කඩන, කොළ පෑගෙන සද්ද ඇහුණොත් ඒ ගැන අවදානයෙන් ඉඳලා සත්තු එනවා නම් එතනින් අයින් වෙන එක තමයි කරන්න තියෙන්නේ.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මූලික ප්‍රථමාධාර ගැන දැන ගන්න
කඳවුරු ගත වීමකදී අවශ්‍ය කරන ප්‍රථමාධාර සම්බන්ධව රතු කුරුස සංවිධානයේ ප්‍රථමාධාර සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශක උපාලි අමරසේකරගෙන් අපි විමසීමක් කළෙමු.
"විශේෂයෙන්ම තුවාලයක් වෙලන්න අවශ්‍ය බැන්ඩේජ්, ගෝස් වගේ දේවල් වගේම; ඒවා කපා ගන්න කතුරක් වගේම තුවාල පිරිසිදු කරගන්න අවශ්‍ය ඩෙටෝල් හරි නෝමල් සේලයින් වගේ දෙයක් ගෙනියන එක හොඳයි."
වේදනා නාශක පෙති වැනි දෙයක් ද ගෙනයාම සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
"සතෙක් කෑවොත් එහෙම කරන්න ඕනේ ඉක්මනින්ම එතන හොඳට හෝදලා; රෙදි පෑඩ් එකක් වගේ තියලා එතන වෙලන එක. තුවාලේ හෘදයට ඉහලින් හිටින විදියට ඔසවලා තියන්න අවශ්‍යයි." යැයි ඔහු පැවසුවේය.
ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව දුරකතන සංඥා සහිත ස්ථානයක සිටි නම් වහාම 1990 ක්ෂණික ඇමතුම් සේවය ඔස්සේ ගිලන් රථ සහාය ලබාගෙන රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව රතු කුරුස සංවිධානයේ ප්‍රථමාධාර පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක උපාලි අමරසේකර වැඩි දුරටත් අවධාරණය කළේය.












