ආර්ථික අර්බුදය: ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳන්න සංචාරක කර්මාන්තයට ඉඩක් තිබේද?

සංචාරක කර්මාන්තය යනු මෙරටට විදේශය විනිමය ඉපයීමේ ඉහළින්ම සිටින ප්‍රධානතම කර්මාන්තයකි.
කෙසේ වෙතත් 2019 වසරේ එල්ලවුණු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දැඩි කඩාවැටීමට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය කොරෝනා වසංගතය හරහා තවදුරටත් දරුණු පසු බෑමකට ලක්විය.
ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින මොහොතක, එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සංචාරක කර්මාන්තය නඟා සිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව ආර්ථික විශේෂඥයෝ විශ්වාස කරති.
එහෙත් රට පුරා දිගින් දිගටම ඇතිව ඇති ඉන්ධන හිඟය, ගෑස් හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් සංචරකයින්ට අත්‍යවශ්‍ය මුලික පහසුකම් පවා සැපයිමට සංචාරක කරමාන්තයේ නිරතවන පහසුකම් සපයන්නන්ට නොහැකි වී ඇති බවට එම කර්මාන්තයේ නියැලෙන්නන් විසින් පවසයි.
මේ හේතුවෙන් බොහෝ සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, ආපන ශාලා සහ ඒ හා ආශ්‍රිත වෙනත් බොහෝ ස්ථාන වසා දැමීමට සිදුව ඇති අතර විවිධ සේවා සපයන්නන් ඇතුළුව සංචාරක කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව යැපුණු විශාල පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී තිබෙන බව දත්ත ඔස්සේ පෙනියන්නකි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලට අනුව 2019 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,913,702 ක් වන අතර එය 2021 වසර අවසාන විට 194,495 ක් දක්වා පහත බැස තිබුණි.
සංචාරක කර්මාන්තයට ඩොලර් ඉපැයිය හැකිද?
2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය හරහා ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3606.9කි.

නමුත් 2020 වසරේ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 682.5 ක් සහ 2021 වසරේදී ඉපැයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 506.9 ලෙස එය දිගින් දිගටම පහත බසිමින් ඇත.
ඒ අනුව මෙම ආර්ථික අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය අනතුරට ලක්වීම මෙරට ආර්ථිකය තවදුරටත් ඉතා දුර්වල තත්ත්වයකට ඇඳ දැමීමට හේතූ වෙනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ පවසති.
"අපිට ඉක්මනින් රටට ඩොලර් ගේන්න පුළුවන්"
සංචාරක සමය තුළ මෙරට සංචාරක කර්මාන්තයට අවශ්‍ය ජවය හා ශක්තිය වැඩි වශයෙන් ලබාදෙන පළාතක් ලෙස දකුණු පළාත ප්‍රචලිතය.
දකුණු පළාත හිමිකම් කියන සුන්දර වෙරළ තීරය මෙන්ම ගාලු කොටුව ද විදේශීය සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයකි.
ශ්‍රී ලංකාව මුල්වරට ආක්‍රමණය කළ පෘතුගීසි ජාතිකයින් 1588 දී ප්‍රථමවරට ඉදිකරන ලද ගාලු කොටුව 17 වන සියවසයේදී මෙරට ආක්‍රමණය කළ ලන්දේසි ජාතිකයින් විසින් පසුව විශාල කොට ඉදිකරන ලදී.
පසුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ඉංග්‍රිසි ජාතිකයින් විසින් එහි සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද අතර ගාලු කොටුව දැනට ශ්‍රී ලංකාවේ ජිවමානව පවතින ලෝක උරුමයකි.

කෙසේ වෙතත් මේ වන විට ආර්ථික අර්බුදය හමුවේ විශේෂයෙන්ම සංචාරක පාරාදීසයක් වන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තයේ යෙදෙන සේවා සපයන්නෝ බීබීසී සිංහල සේවයට තමන් මුහුණ දෙමින් සිටින තත්ත්වය මෙසේ පැහැදිලි කළහ.
"සංචාරක ක්ෂේත්‍රයට වැඩිම බලපෑමක් එල්ල වුණේ කොරෝනා කාලයේ. වසංගතයට ලෝකයම බයවුනා. නමුත් කොරෝනා ඉවර වෙනවා කියලා යම් හෝ කාලරාමුවක් තිබ්බා. ඒත් වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට කාල රාමුවක් නැහැ. කවද ඉවර වෙයිද කියලා දන්නෙත් නැහැ; ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය." උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.
"ඒත් අපිට මේ අර්බුද වලින් ජයගන්න පුළුවන් අපිට අවශ්‍ය පහසුකම් ටික දෙනවනම්, අපිට රටට ඩොලර් ගෙන්න පුළුවන්. අඛණ්ඩව විදුලිය, ඉන්ධන හා ගෑස් සැපයුම දුන්න නං. අපිට මේ කේෂ්ත්‍රය ගොඩගන්න පුළුවන්."
"අපි මීට කලින් කිසිම දෙයක් ඉල්ලලා නෑ බලධාරීන් අපිට දීලත් නෑ. අපේ කැපවීම හා උත්සාහය හින්දා අපි මේ කර්මාන්තයේ යෙදෙනවා. දැන් අපිට තියන ප්‍රධාන ගැටලුව ඉන්ධන හා විදුලි බලය, ගෑස් පිළිබඳ ප්‍රශ්නය."
"විදුලිබලය නැත්නම්, ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවනම්, තමන්ට කැමති ආහාර ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නං සංචාරකයන් රටට එන්න කැමති නෑ." ඔහු පවසයි.
"ඊට වඩා මේ ක්ෂේත්‍රයේ තවත් බරපතළ ගැටලුවක් තියෙනවා. දැන් හොටෙල් ක්ෂේත්‍රයේ පුහුණු සේවකයන් නැහැ. ගොඩක් අය විදෙස් රටවල් වලට රස්සාවල් හොයාගෙන ගිහිල්ලා, තවත් අය වෙන වෙන රස්සා හොයාගෙන ගිහින්. සමහරු ධීවර රැකියාවල නිරත වෙනවා තවත් සමහරු කුලී වැඩ කරනවා තවත් සමහරු රස්සාවක් නැතුව ඉන්නවා, ඒ විදියට පුහුණු ශ්‍රමිකයන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත්ව වෙනත් වෘත්තීන් වලට යොමු වුනොත් ඉදිරියට අපිට මේක පවත්වාගෙන යන්න අමාරු තත්ත්වයක් ඇතිවෙනවා. ආපහු අපිට බිම් මට්ටමේ ඉඳලා නැගිටින්න වෙනවා. ඒක බරපතළ ඛේදවාචකයක්."
"මේ ක්ෂේත්‍රයට ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ රටට ඩොලර් ගෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටෙන්නට නොදී රැකගන්නා හැටියට. ඒකට අපිට වෙන කිසි දෙයක් ඕන නෑ අඛණ්ඩ විදුලිය, ඉන්ධන හා ගෑස් සැපයුම ලබා දෙනවා නම් අපිට මේ ක්ෂේත්‍රය හරහා ඉක්මනින් රටට ඩොලර් ගේන්න පුළුවන්. මොකද අපේ රට ස්වාභාවික සම්පත්වලින් අනූනයි. ඒ නිසා අපිට ආපහු නැගිටින්න පුළුවන්. අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සුබවාදී ප්‍රතිචාරයක්" නිමල් ගීගනගේ වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අනුව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විනෝද වීමට මෙන්ම තම විවේකය නිදහසේ රිසිසේ සැහැල්ලුවෙන් ගතකිරීමට බවයි.
"අපිට මුලික පහසුකම් ටික දෙන්න"
"මේ ආර්ථික අර්බුදයත් එක්ක සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම අඩුවුණා. අපි ගාවට ආපු සංචාරකයන් කියන්නේ මූලික පහසුකම් ටික නොමැතිව මෙහි සංචාරය කිරීම හරිම දුෂ්කර බවයි. විටින් විට විදුලිබල ඇනහිටීම, ඉන්ධන නොමැති කම නිසා සංචාරක ගමනාන්ත වලට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා කියලා එයාලා කියනවා." ගාලු කොටුවේ ඇති මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන එෆ්.ආර්.එම් දසුක් කියයි.
"ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ක්ෂේත්‍රය ගොඩගන්න පුළුවන්. රටේ ආර්ථිකයට දායකත්වය දෙන්න පුළුවන් ප්‍රධාන ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය; ඒ නිසා මේ මූලික පහසුකම් ටික දෙනවනං අපිට මේ රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්ෂේත්‍රයෙන් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ ගණනක පවුල්වලට ඒක හයියක්." ඔහු පවසයි.

"ඇයි බලධාරීන්ට බැරි ඩොලර් ගෙනල්ල දෙන මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න"
ගාල්ල කොටුව ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු අප සමඟ පැවසුවේ මෙවන් අදහසකි.
"මෙහෙ ඉන්න ගෙස්ට්ලා එක්ක ගමනක් යන්න විදියක් නෑ. සුද්දෝ නෑ. හෝටල් වහලා. ඉන්න අයත් එක්ක යන්න තෙල් නෑ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් මේ විදියට තිබ්බෙ නෑ. කොවිඩ් වලින් පස්සෙත් මේ විදියට තිබ්බෙ නෑ. අපි හදාගෙන ආපු ඒ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටිල තියෙන්නේ."
"තෙල්, ගෑස්, කරන්ට් එක නැහැ. සුද්දෝ එන්නෙත් නෑ. ආපු අයත් යනවා. මේක හින්ද රටේ ප්‍රතිරූපය ගැන වැරදි පණිවුඩයක් ලෝකෙට යනවා. එතකොට එන්න ඉන්න කෙනාත් එන්නේ නැහැ."
"ඇයි බලධාරීන්ට බැරි ඩොලර් ගෙනල්ල දෙන මිනිස්සුන්ට සේවා සපයන සංචාරක ක්ෂේත්‍රය ආරක්ෂා කරගන්න. වැඩපිළිවෙළක් හදන්න සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දීලා තෙල් ටික දෙන්න. අන්තිමට රටේ පාලකයෝ රට නැත්තටම නැති වුණාට පස්සේ එයාලා පිටරට යාවි, අපිට තමයි යන එන මං නැති වෙන්නේ."
"මේක ගොඩ ගන්න පුළුවන් රටක්. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න පුළුවන් අපිට ජොබ් එපා, මිල මුදල් එපා, සහනාධාර එපා, රුපියල් 5000, 10000 එපා අපි ඉල්ලන්නේ අපිට තිබ්බ විදියටම මේ සිස්ටම් එක හදලා දෙන්න තෙල් ටික දෙන්න. අපි ඩොලර් ගෙන්න උදව් කරන්නම්" ඔහු දිගින් දිගටම අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
"අපේ සංචාරක කර්මාන්තය සාම්ප්‍රදායික රාමුවක හිරවෙලා ඉන්නවා"
"සංචාරක කර්මාන්තයේ ප්‍රවනතාවන් දිනෙන් දින අලුත් වෙනවා. ලංකාවෙ වගකිවයුතු නිලධාරීන් කිසිම කෙනෙක්ට මේ ගැන කිසිම වැටහීමක් නෑ. යටත් විජිත සමයන් වල ඔවුන්ගේ ශීත කාල වලදි මෙරටට සංචාරකයන් පැමිණිමේ හුරුව ආකල්ප මත තමයි තවමත් ලංකාවෙ සංචාරක කර්මාන්තය සිදුවෙන්නේ. උතුරු නැගෙනහිර යුද්ධය නිමාවීමත් සමඟ මෙරටට ආපු සර්ෆින් කරන සංචාරකයන් ආරුගම්බේ වෙරළ ඒ ක්‍රියාකාරකම් වලට සුදුසු බව සොයාගත්තා. ඔවුන්ගේ ප්‍රචාරණය මත තමයි ඉබේම ආරුගම්බේ ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වෙන්නේ. නැතුව කිසිකෙනෙක් ප්‍රවර්ධනය කරලා නෙවෙයි." ජිවිත ආරක්ෂකයෙකු හා ත්‍රාසයජනක ක්‍රීඩා සම්බන්ධ සංචාරක උපදේශකයෙකු වන රිද්ම හේවාවිතාරණ අප වෙත කියා සිටියේය.
"ලංකාවෙ නිරිතදිග මෝසම ඊසාන දිග මෝසම අනුව වාරකන් කාලය පැමිණීම නිසා ටුවරිස් සීසන් නිර්මාණය වෙලා, නැතුව ලංකාව සීසනල් ටුවරිස් ඩෙස්ටිනේෂන් එකක් නෙවෙයි. අවුරුද්දේ දවස් 360 ම සංචාරක කර්මාන්තය කරන්න සුදුසු කාලගුණයක් සහිත තවත් බොහෝ සංචාරක ආකර්ෂණිය ස්ථාන තිබෙනවා. අනිත් කාරණය තමයි බලන්න විතරක් නෙවෙයි සංචාරකයන් එන්නේ ක්‍රියාකාරකම් කරන්න. අපිට ආවේනික වූ සස්කෘතිකාංග කෑම බීම. ජන ජීවිතය තව බොහෝ දේ සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්න පුලුවන් උනත් ඒගැන වගකිවයුතු අයගේ අවධානය යොමු වෙලා නෑ."
"කොවිඩ් ගෝලීය වසංගතයෙන් පස්සේ ලෝකයේ සංචාරක ප්‍රවණතාවන් බොහෝ වෙනස් උනා. අලුත් පරපුරේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්න බොහෝ දේ ලංකාවේ තිබුණත් ඒවා හඳුනාගෙන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා යුරෝපයේ බොහෝ සංචාරකයන් ලංකාව මඟ හැර කලාපයේ අලුතෙන් සීග්‍රව වර්ධනය වන බාලි, වියට්නාමය වගේ රට වලට යනවා. අපි සාම්ප්‍රදායික රාමුවක හිරවෙලා ඉන්නවා." යනුවෙන් රිද්ම හේවාවිතාරණ තම කර්මාන්තය මුහුණ දෙමින් සිටින දීර්ඝ කාලීන අභියෝග පිළිබඳ අදහස් දැක්වීය.

රජයෙන් ලබාදෙන පහසුකම් මොනවාද?
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය 2022 ජනවාරි සිට ජුනි දක්වා දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 357,808 බව ඔවුන්ගේ නවතම වාර්තා වල දක්වා තිබේ.
එහෙත් තව දුරටත් සේවා සපයන්නන්ට සහ සංචාරකයන්ට මුහුණ දීමට සිදුවෙන දුෂ්කරතා මත මෙම අගයන් ඉදිරි කාලය තුළ පහළ යාමේ අවධානමක් මතුව තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් තම අධිකාරියේ ලියාපදිංචි පුද්ගලයන්ට හා සංවිධාන වලට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වේ.
ගාල්ල දිස්ත්‍රික්කයට අදාළව එහි දක්වා ඇත්තේ ඩීසල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩීපෝවලින් ලබාදෙන අතර පෙට්‍රල් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ පිහිටි ඉන්ධන පිරවුම් හලෙන් ලබා දෙන බවය.
මේ සම්බන්ධයෙන් අපි ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක රථ රියදුරන්ගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඔවුන් කියා සිටියේ ඒ සඳහා තමන් අයදුම් කළ ද තවමත් ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා අවසර පතක් තමන්ට නොලැබුණු බවයි.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ රියදුරන් පවසන්නේ ලියාපදිංචි වූ පිරිසට වඩා විශාල ප්‍රමාණයක් ලියාපදිංචි නොවී මෙම ව්‍යාපාරයේ නිරතව සිටින බවයි.
සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ට පවතින අර්බුදය හමුවේ මෙම ගැටලු අවම කරගැනීමට යම් විධිමත් වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වේද යන්න විමසීමට බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරින් සම්බන්ධ කරගැනීමට දුරකථනයෙන් සහ විද්‍යුත් තැපෑල ඔස්සේ කළ උත්සාහය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් නව කැබිනෙට්ටුවේ සංචාරක අමාත්‍යවරයා වන හරින් ප්‍රනාන්දු තම ටුවිටර් ගිණුම වෙත නිකුත් කොට තිබු පණිවිඩ වල සටහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා විදේශ නියෝජිත පිරිස් සමඟ හමුවීම් ගණනාවක් පසුගිය දින කිහිපය පුරාම සිදුවුණු බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post






