ජනපති සහ රජය 'ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවන්න' කරන්න යන දේ: ඉදිරිය කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, PMD|SLC
- Author, කුමුදු ජයවර්ධන
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමට ජනාධිපතිවරයා ඇතුළු රජය අනිවාර්යයෙන් ම මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
ඔහු මේ බව අනාවරණය කළේ, බ්‍රහස්පතින්දා (මාර්තු 05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ, ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බව ය.
"අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නගන්න සහ ජයග්‍රහණ අත්පත් කර ගන්න ඕන කරන සැලසුමක් අපි මේ වන විටත් සැලසුම් කරමින් තියෙන්නෙ. ඉදිරියේදි අපි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරල අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අනිවාර්යයෙන් ම අපි රජයක් විදිහට මැදිහත් වෙනව. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම අපේ අතේ තියෙන්නෙ. ඒක වෙන කාටවත් භාර දීල අපට කර ඇරල යන්න බැහැ. ඒක රජයේ සහ අපේ වගකීමක්. ඒ වෙනුවෙන් අපි අපේ උපරිම මැදිහත් වීම කරනවා."
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"අයිසීසී එකත් එක්ක සාකච්ඡා කරනවා. මොක ද අපට අවශ්‍යතාවක් නෑ අපේ රටේ ක්‍රිකට් තහනම් කර ගන්න. අපි ක්‍රීඩාව තියෙද්දි ම තමයි මේ ක්‍රීඩාව සංවර්ධනය කරන්න ඕනෙ. අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් ම මැදිහත් වෙනව."
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවක් යටතට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ක්‍රීඩා අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මෙසේ ය.
"අපි දැන් ඒ ආකෘතිය තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නෙ. විශේෂයෙන් ම ජනාධිපතිතුමත් මේ සාකච්ඡාවෙ ඉන්නවා. අපි මැදිහත් වෙලා ඒකට සුදුසු ක්‍රමවේදය අපි ඉදිරි සතියක දෙකකදි අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ඇමතිතුමා කළ ප්‍රකාශය ගැන අපි දැනුවත්' - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය විමසීම සඳහා බීබීසී සිංහල සේවය එහි මාධ්‍ය කළමනාකරු ඇමතීය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා පළ කළ අදහස් පිළිබඳව දැනුවත් බව ය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඉදිරියේදී සාකච්ඡා කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2023 වසරේ පැනවුණු තහනම
2023 වසරේ එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.
ඒ අනුව, 'රජයේ අතපෙවීම්' සැලකිල්ලට ගනිමින් 2023 නොවැම්බර් 10 වන දා එම තහනම පැනවිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය.
මෙම තත්ත්වය උද්ගත වූයේ, 2023 වසරේ නොවැම්බර් 06 වන දා බංග්ලාදේශය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් එම වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත් වීමට සිදුවීමත් සමග ය.
පසුව, 2024 ජනවාරි 28 වන දා එම තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස විධිමත්ව හඳුන්වනු ලබන ආයතනය, ප්‍රථම වරට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලද්දේ, 1975 ජූනි 30 වන දින ජාතික ක්‍රීඩා ආයතනයක් ලෙසිනි.
එය මුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) ලෙස හැඳින්විණි.
2003 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ලෙස නම් කරන ලදී.
2003 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීමෙන් පසු එහි ප්‍රධානියා ලෙස පත්වූ මුල්ම සභාපතිවරයා වූයේ, තිලංග සුමතිපාල ය.
පසුව, උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල වරින් වර සභාපති ධූරයට පත්ව තිබේ.
ඒ අතර, අර්ජුණ රණතුංග, ඩී.එස්. ද සිල්වා, සිදත් වෙත්තමුනි ඇතුළු කිහිප දෙනෙකු අතුරු පාලක කමිටු සභාපතිවරුන් ලෙස පත් කර තිබේ.
වත්මන් සභාපති ශම්මි සිල්වා සභාපති ධූරයට පත්වූයේ, 2019 වසරේ පෙබරවාරි මාසයේ පැවති නිලවරණයෙන් ජය ගනිමිනි.
2021 වසරේ සිට මේ දක්වා ඔහු සිව් වරක් සභාපති ධූරයට පත්ව ඇති අතර, පසුව සභාපති ධූරයට පත්වූ තුන් වතාව ම තේරී පත්වූයේ, නිතරගයෙනි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පසුබෑම
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලීනව ලැබූ පරාජයන් හේතුවෙන් ක්‍රිකට් බලධාරීන් කෙරෙහි දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට ඇතුළත් වුව ද, ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය දැඩි විවේචනයට ලක් විය.

































