රට තුළ පවතින ව්‍යාකූලත්වය නිසා සංචාරක කර්මාන්තයට ඇ. ඩො. බිලියනයක පාඩුවක්

Protesters display placards during an ongoing anti-government demonstration near the president's office in Colombo on April 18, 2022, demanding President Gotabaya Rajapaksas resignation over the country's crippling economic crisis.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකුල තත්ත්වය සහ ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සංචාරක හෝටල් කර්මාන්තය දැඩි ලෙස කඩා වැටීමකට ලක්වෙමින් පවතින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු සභාපති සනත් උක්වත බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ මේ හේතුව මූලික කර ගනිමින් මෙම වසර තුළ ගත වූ මාස කිහිපයට ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදුව ඇති බව යි.

ජනාධිපතිවරයාට මෙන්ම රජයට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මෙන්ම ගෝල්ෆේස් පිටිය අසල ද පැවැත්වෙන විරෝධතාවන් හේතුවෙන් ඒ අවට පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි සංචාරක හෝටල්හි නවාතැන් ගෙන සිටි විදේශ සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බවත්, ඉදිරි දින සඳහා වෙන්කළ හෝටල් කාමර ද අවලංගු කිරීමට සංචාරකයින් බොහෝදෙනෙකු පියවර ගෙන තිබෙන බවත් හෝටල් කළමනාකරුවන් පැවසීය.

කොළොඹ ගෝල්ෆේස් පිටිය අවට රැඳී සිටින විරෝධතාකරුවන්ගේ ඝෝෂාකාරී හඬ මෙන්ම එහි රැඳී සිටින විරෝධතාකරුවන් නිසා ඒ අවට සංචාරක හෝටල්හි රැඳී සිටින විදේශ සංචාරකයින් දැඩි සේ බියට පත්වීම හේතුවෙන් මානසික කම්පනයකට ලක්ව ඇති බවත්, ඒ අවට ප්‍රදේශයේ පවතින දැඩි මාර්ග තදබදය ද එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් අදාල හෝටල් හිමියන් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයට දැනුම් දී ඇතැ යි ඔහු පැවසීය.

foreigners in fuel queues

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ නිසා එම විදේශ සංචාරකයින් තම නිවාඩුව අවසන් වන තෙක් රැදී සිටීම සඳහා වෙනත් ප්‍රදේශවල අඩු පහසුකම් සහිත හෝටල් කාමරවලට සංක්‍රමණය වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ අවට පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි හෝටල්හි කාමර විශාල ප්‍රමාණයක් හිස් වී ඇති බව හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම කාරණා හේතු පාදක කර ගනිමින් අදාල ප්‍රදේශය තුළ පිහිටි ප්‍රධාන සංචාරක හෝටල් වෙත ලැබිය යුතු ආදායම 60%කින් පමණ අඩු වී ඇති බවට ඔහු සඳහන් කළේ ය.

රට තුළ විවිධ ප්‍රදේශවල දිනෙන් දින වර්ධනය වන විරෝධතා හේතුවෙන්, විදේශිකයින් නිවාඩුව ගතකිරීමේ අරමුණින් ඉදිරි මාස කිහිපය සඳහා වෙන්කළ හෝටල් කාමර අවලංගු කිරීමට පියවර ගනිමින් සිටින බව ද උක්වත්ත පවසයි.

මෙයට අමතරව හෝටල්වලට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ මිළදී ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට හෝටල් කළමනාකාරිත්වයට සිදුවීම නිසාත් මේ වනවිට සංචාරක හෝටල් ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්ව ඇති බවට ඔහු ප්‍රකාශ කළේ ය.

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් සංඛ්‍යාව 80% - 90%ක් පමණ පහළ වැටුන ද, එය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක තවත් අර්බුදයක් නිර්මාණය වීම ගැන ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය කණගාටුව පළ කරයි.

foreigners in fuel queues

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම වසර තුළ දී විදේශ සංචාරකයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා මේ වන විට පැමිණ ඇති අතර, දැනට උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයින් වෙනත් රටවලට ආකර්ෂණයවීමේ ප්‍රවනතාවක් දක්නට ඇති බව හෝටල් හිමියෝ පවසති.

මාර්තු මාසයේ දී විදේශිකයින් 106 500ක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, පළමු මාස තුන තුළ සංචාරකයින් 285 334ක් මෙරටට පැමිණ ඇති බවට සංචාරක මණ්ඩලයේ දත්ත පෙන්නුම් කරයි. එම දත්තවලට අනුව 2021 වසරේ සංචාරකයින් 194 495ක් මෙරටට පැමිණ ඇත.

2021 වසරේ ජනවාරි මාසයේ දී ඉපයූ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4කි. 2022 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 148ක සංචාරක ආදායමක් උපයා ඇතැ යි මහ බැංකු සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

සංචාරක කර්මාන්තය මඟින් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4කට අධික විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වුව ද මෙවැනි වාතාවරණයක් හමුවේ එම ඉලක්කය මේ වසර තුළ දී ළඟාකර ගත නොහැකි බව හෝටල් හිමියන් අවධාරණය කරයි.

මේ වන විට විරෝධතා පවත්වන අරගලකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපති, අගමැති ඇතුළු රජය ඉල්ලා අස්විය යුතු බව යි. මේ වන විට රට තුළ විශාල දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගී ඇති අතර, ආර්ථික අර්බුදයට විසඳුම් ඉක්මනින් ලබාගත නොහැකි බව දේශපාලන පක්ෂ පවසයි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති රටකට කිසිසේත්ම විදේශ සංචාරකයින් නොපැමිණෙන බැවින් මෙම අර්බුදය කඩිනමින් විසඳාගැනීමට කටයුතු කරන ලෙස ඊට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින වග එම සංගමයේ හිටපු සභාපති සනත් උක්වත්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් ඩොලර් බිලියන 10ක් අහිමි වෙයි

මේ අතර මුදල් අමත්‍ය අලි සබ්රි ඇමරිකාවට යාමට පෙර ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුලදී සංචාරක කර්මාන්තය මගින් රටට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ මුදලක් අහිමි වී ගොස් ඇති බවයි.

එම නිසා යළි සංචාරක කර්මාන්තය සහ මෙරට අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් රට යතා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් වසරක කාලයක් අවශ්‍ය බවත් රජය අවස්ථාව දෙනවානම් අමාරු තීන්දු තීරණ රැසක් ගැනීමට තමා සුදානම් බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරටට පැමිණෙන විදේශ සංචාරකන්ගේ යම් අඩුවක් දක්නට ඇති බවයි.

රටේ පවතින විරෝධතාවයන් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය විසින් ධනාත්මක නොවන මාධ්‍ය වාර්තා ඉදිරිපත් කිරීමත් සංචාරකයින්ගේ පැමිණීමට බාධා එල්ල කර ඇති බව ඇය සඳහන් කරයි.

ඇතැම් රටවල් විසින් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින්ට ආරක්ෂාව මෙන්ම පහසුකම් සම්බන්ධව අවවාදනාත්මක ලෙස නිවේදන (ට්‍රැවල් වොර්නින්ගස්) නිකුත් කිරීම නිසාත් සංචාරකයින්ගේ පැමිණීමට යම් හේතුවක් වී තිබේ.

විරෝධතා මතු වීමට පෙර දිනකට විදේශ සංචාරකයින් 3800ක් පමණ පැමිණ ඇති අතර එම පිරිස මේ වනවිට 2430ක් දක්වා අඩු වී ඇති බවට සංචාරක මණ්ඩලය පවසයි.

කොළඹ ගෝල්ෆේස් අවට පැවැත්වෙන විරෝධතාවයන් නිසා විදේශ සංචාරකයින් අපහසුතාවයට ලක් වී ඇති බවට පැමිණිලි කිහිපයක්ම සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලැබී ඇති බව විජේසිංහ සඳහන් කරයි.

මෙම තත්ත්වය මත සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සිදුකරන ප්‍රවර්ධන කටයුතු නිෂ්පල ක්‍රියාවක් බැවින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට සහ විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල දැනුවත් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් පවතින බවට ඇය පැවසීය.

මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයින් කොළඹට පමණක් සීමා නොවී වෙනත් වෙරළබඩ ප්‍රදේශවලට සංක්‍රමණය වීමට කැමැත්තක් ඇති බවත් ඒ වෙනුවෙන් සංචාරක නියෝජිත ආයතනවලට මෙන්ම සංචාරක මග පෙන්වන්නන්ට ඉන්ධන ඇතුළු පහසුකම් පහසුවෙන් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.

එහෙත් සංවාරක මග පෙන්වන්නන් සහ සංචාරක නියෝජිත ආයතන පවසන්නේ රටේ දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තමන්ගේ කර්මාන්තයේ නියැලීමේ අපහසුතාවයන්ට තමන් මුහුණ දෙමින් සිටින බවයි.