විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි වීම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට කුමක් වෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. මේ සමගම ණයවර ලිපි නිකුත් කිරීම ඇතුලුව ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික කටයුතුවලට කෙසේ බලපායිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
සංචිත ශීඝ්‍රයෙන් පහළට
දළ විදෙස් සංචිත ශීඝ්‍රයෙන් පහළ යෑම හමුවේ ශ්‍රී ලංකාව මේවන විට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියි.
ශ්‍රී ලංකාව සතු දළ විදෙස් සංචිත ප්‍රමාණය මේවන විට ඩොලර් බිලියන 2කට අඩු අගයක් දක්වා පහත වැටී ඇත.
ඉන්දියාවෙන් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් සහ ඉන්දීය ණය ක්‍රමය යටතේ ලබදුන් ඩොලර් බිලියනයක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව මේ මස තුළදී ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය දෑ ආනයනය කරනු ලැබීය.
ඉන්ධන ණය සහනය මේ වන විට අවසන් අදියර පැමිණීම හේතුවෙන් ඉදිරි මාසයේ ඉන්ධන ආනයනය අභියෝගාත්මක වනු ඇතැයි විශ්ලේශකයින් පෙන්වා දෙයි.
කෙසේවෙතත් ආහාර හා ඉන්ධනවලට අමතරව ශ්‍රී ලංකාවට තවත් අමතර ඩොලර් බිලියන 2ක ණය ආධාර ලබාදීමට සූදානම් බව ඉන්දීය බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
බලපත්‍රලාභී වාණිජ බැංකුවල අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 දක්වා මේවන විට ඉහළ ගොස් ඇති අතර රුපියල දිනෙන් දිනම දැඩි ලෙස අවප්‍රමාණයට ලක්වෙමින් ඇත.
ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා මේවන විට ගැටලු මතුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"කළ යුතු දේ වැරදියට කිරීම"
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ, "ණය ගෙවන්න එපා. ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්න කියලා කිව්වාම. මහ බැංකු අධිපතිවරයා කළේ කළ යුතු දේ වැරදි විදහට. ඔයිට වඩා ප්‍රවේශමෙන් කරන්න තිබුණේ. අපිට ගෙවන්න තිබ්බේ ඩොලර් මිලියන 78.2 ණය පොලී. ඒක තමා අපි ඩිෆෝල්ට් කර ගත්තේ."
මහාචාර්යවරයා පෙන්වා දුන්නේ "මේ සමග අපේ සියලුම බැංකු ශ්‍රේණිගත කිරීම් වලින් පහළ දැමුවා. අපි ලෝකයට දෙන පණිවිඩය තමා රජය පිළිගන්නවා රට බංකොලොත් කියලා. පෞද්ගලිකව ගෙවන්න තියෙන අය එක්ක කථා කරලා කල් ගත්තා නම් ජාත්‍යන්තරයට මේ පණිවිඩය යන්නේ නැහැ. මොරටෝරියම් එකක් හැටියට යන්නේ. එහෙම කළා නම් මේවගේ අර්බුදයකට අපි තල්ලුවෙන්නේ නැහැ."
"ප්‍රතිව්‍යුගත කරන්න කියලා ඉල්ලපුවාහම එතුමා හදිස්සියේ කළේ හොඳ දෙයක් නරක විදිහට. ඒකෙන් ජාත්‍යන්තර වශයෙන් අපි අපකීර්තියකට පත්වුණා. අපි ගැන තියෙන විශ්වාසය පහළ ගියා. අපි ගත්ත ණය ගෙවන් නැහැ කියනවා නම් තව කෙනෙක් ණය දෙන්නේ නැහැ නේ. අපිට ණය ගන්න ඕන වෙලාවක එහෙම ඩිෆෝල්ට් කිරීමක් කළාම ඒක ඉතාම නරකයි. ලොකුම ප්‍රශ්ණය තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළට මේ වෙලාවේ. භාණ්ඩ ගෙන්වද්දි අනිවාර්යෙන් එල්.සී ඕපන් කරන්න ඕනේ. ණයවර ලිපියක් විවෘත කරද්දි අපිට භාණ්ඩ එවන ආයතනයට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ භාණ්ඩ එව්වාම අපි මුදල් ගෙවයි කියලා."
මහාචාර්ය අමින්ද මෙත්සිල පවසා සිටියේ "මෑත කාලයෙදී අපි දැක්කා ගෑස් නැවක් ඇවිල්ලා ඩොලර් මිලියන 6.5ක අපි සල්ලි ගෙවන් නැතිව නැව ආපහු හැරිලා යනවා. තෙල් නැව් ඇවිල්ලා ලංකාවේ සති දෙක නවත්තගෙන ඉන්නවා සල්ලි ගෙවන් නැතිව."
"එවත් එක්ක තවත් සැපයුම් කරුවෝ අපි ගාවට එයිද? එහෙම ගැටලුවක් තියෙනවා. සැපයුම්කරුවෝ ආවේ නැත්නම් අපේ වෙළෙඳපොලට ඛණිජ තෙල් හිඟ වෙන්න පුළුවන්. පිටි හිඟ වෙන්න පුළුවන්. කිරිපිටි හිඟ වෙන්න පුළුවන්. ඒවා මිලදී ගැනීමේ නොහැකියාවක් අපිට එයි. ඉස්සරහට සල්ලි ගෙවලා භාණ්ඩ ගන්න තැනට අපි තල්ලු කරයි. කලින් සල්ලි ගෙවලා පස්සේ භාණ්ඩ එවන ක්‍රමයක්. ඕකේ අනික් පැත්තන සාමාන්‍යයෙන් වෙන්නේ."
"ඒ තැනට අද ආර්ථිකය අරන් ගිහිල්ලා තියෙනවා. මේක නිවැරදි කර ගන්න යම් කාලයක් යයිනේ අපිට. රාජ්‍ය තාන්ත්‍රිකව කථා කරලා ණයක් ගන්න කාලයක් යයි නේ. රට තුළ යලිත් භාණ්ඩ හා සේවාවල හිඟයක් ඇති වෙන්න පුළුවන්."
"එන නැව් අපිව ප්‍රතික්ෂේප කළොත් එහෙම අපි ආයෙත් අර්බුදයකට යනවා." ඔහු පවසා සිටියේය.
ණය ගෙවීමට නොහැකි වීම හෙවත් ඩිෆෝල්ට් වීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද?
මහාචාර්ය අමින්ද මෙත්සිල ප්‍රකාශ කළේ, "ඩිෆෝල්ට් වීමේ බරපතලම තත්ත්වය තමයි. රටට ආයිත් ජාත්‍යන්තර වෙළෙඳපොලට යන්න බැහැ. ඉන්ටර්නැෂල් මාර්කට් එකේ ගිහිල්ලා ණයක් ගන්න බැහැ. අයවැය හිඟය පියවන්න 40%ක් පමණ අපි ණය ගන්නේ විදේශ වෙළඳපොලෙන්. ඒකට යන්න බැහැ. ඩිෆෝල්ට් වීම තුළ බැංකු පද්ධතිය යම් අර්බුදයකට තල්ලුවෙනවා. ඩිපොසිටර්ස්ලා බයවෙනවා. බැංකුවල සල්ලි තියන්න. පිටරටින් සල්ලි එවන අය, ව්‍යාපාරිකයෝ බය වෙනවා. ඩොලර් එවන්න. ගෙවන්න විදහක් නැතිව සල්ලි රඳවා ගනී කියලා සැකයක් ඇති වෙනවා."
එමෙන්ම ඖෂධ ගෙන්වීමේ සිට සියලු ආනයන කටයුතුවලදී ජාත්‍යන්තර වෙළෙඳපොලට මෙය බලපාන බවද ඔහු සඳහන් කළේය.
"අනෙක කීර්ති නාමයට බලපානවා, රටේ කීර්ති නාමය කඩා වැටීම. අපි ඉස්සර කොරියාව කිව්වේ, පල්ලෙහා තිබ්බ රටක් හැටියට. ඉදිරියේදී ලංකාව කියලා කියන්නෙත් ඔය තැනට තල්ලු වෙයිද?."
IMF සමග සාකච්ඡා
ඇමෙරිකාව බලා ගිය මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුලු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (අප්‍රේල් 18) වොෂින්ටනයේදී ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ, ජාත්‍යන්තර මුළ්‍ය වෙළඳපොලෙන් ඩොලර් බිලියන 4ක් අපෙක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස අප්‍රේල් (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.
එම නියෝජිත පිරිසට, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඇතුළත් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු වටයේ සාකච්ඡා, ලබන 24 වැනිදා දක්වා පැවැත්විමට සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.
මේ අතර මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපයේ ආනයන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි.
"ප්‍රශ්නයට විසඳුමක් නැහැ. IMF එකත් සමග පළමු සාකච්ඡාව අද පැවැත්වෙනවා. ඩොලර් බිලියන 4ක් ලබා ගැනීමට අපෙක්ෂා කෙරෙනවා."
ඔහු පෙන්වා දුන්නේ එම මුදල් ලැබීම සඳහා තවත් මාස 04 ක් හෝ මාස 06ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
මෙරට මාසික ආනයන වියදම් සඳහා බිලියන 1.5කට වැඩි මුදලක් අවශ්‍ය බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන මිලත් යළි ඉහළට
අප්‍රේල් (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් යළි ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී සමාගම පියවර ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව මිල ඉහළ දැමීමත් සමග ලංකා අයි.ඕ.සී සමාගමේ ඉන්ධන මිල ගණන්:
- පෙට්‍රල් 92 (ඔක්ටේන්) ලීටරයක් - රුපියල් 338
- ඔක්ටේන් 95 - රුපියල් 367කි
- පෙට්‍රල් යුරෝ 3 - රුපියල් 347කි
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289කි
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327කි.
ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ පැහැදිලි කරමින් ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළේ, 2022 මාර්තු 7 වැනි දින සිට පසුගිය මාසයක කාලය තුළ රුපියල, 60%කට වඩා අවප්‍රමාණය වී ඇති බවයි.
2022 මාර්තු 7 වන දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය පාවෙන්නට හැරි අතර, අනතුරුව ඩොලරයට සාපේක්ෂව රුපියල නිරන්තරයෙන් අවප්‍රමාණය වෙමින් පවතින අතර ඩොලරයක මිල රුපියල් 203 මට්ටමේ සිට රුපියල් 330 දක්වා ළඟා වූ බව ලංකා අයි.ඕ.සී සමාගම පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඉන්ධන ආනයනය බෙහෙවින් මිල අධික වී ඇති බවත්, රුපියලේ අගය තියුනු ලෙස අවප්‍රමාණය වුවද, රටෙහි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විදේශ විනිමය ගලා ඒමේ විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර නිල මිලට වඩා වැඩි මිලට පවා විදේශ මුදල් මාරු කිරීමට අපනයනකරුවන් ඉදිරිපත් නොවන බව සමාගම සඳහන් කළේය.
ලංකා අයි.ඕ.සී සමාගාම පෙන්වා දෙන්නේ චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම සහ තෙල් සංචිත මුදා හැරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සූදානම් වීම මධ්‍යයේ පසුගිය සතියක සිට ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ස්ථාවරව පැවතුනද, රුපියල අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවයි.
ලංකා අයි.ඕ.සී සමාගාම (LIOC) විසින් අවසන් වරට පට්‍රෙල් මිල පමණක් සංශෝධනය කරනු ලැබුවේ මාර්තු 26 දිනය. එවිට ඩොලරයක අගය රුපියල් 300 ලෙස පැවතිණ. මේවන විට රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් වන නමුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රුපියල් 345ක මිලට පවා අමෙරිකානු ඩොලර් ලබා දීමට හැකියාවක් නැතැයි ලංකා අයි.ඕ.සී සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ලංකා අයි.ඕ.සී සමාගම අවස්ථා දෙකකදී ඉන්ධන මිල ගනන් මෙලෙස ඉහළ දැමුවද මේ දක්වා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා නොමැත.
ගල්අඟුරු මිලදී ගැනීමත් අර්බුදයක
මෙරට විදුලි බල නිශ්පාදනයේදී විශාලම දායකත්වයක් සපයනු ලබන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයයි.
ගල් අඟුරු ටොන් 120000ක් රැගත් නෞකා දෙකක් දින කිහිපයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරුම්ලා ඇතැයි විදුලිබල වෘත්තීය සමිති අනාවරණය කළේය.
ඔවුන් පවසා සිටියේ අද (අප්‍රේල් 18) වන විට මුදල් ගෙවා ගල් අඟුරු තොගය නිදහස් කර නොගතහොත් මෙම නෞකා දෙක යලි හරවා යාමේ අවධානමක් ඇති බවයි.

කෙසේවෙතත් මෙරටට ළඟා වී ඇති ගල් අඟුරු රැගත් නෞකා සඳහා ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකඟතාව පළ කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ නෞකා සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට මහ බැංකුව කටයුතු කරන බවට දැනුම් දී ඇති බවයි.
එම මුදල් ලද විගස කඩිනමින් එම නෞකාවල ඇති ගල් අඟුරු ගොඩබෑමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේය.










