සීගිරිය: ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල උද්‍යානය

Sigiriya

ඡායාරූප මූලාශ්‍රය, Bloodua/Getty Images

හුදෙකලා මෝටර්සයිකලයක් පණගන්වන විට දුහුවිලි ඇවිස්සෙද්දී තැඹිලි වැලි අංශු හිරු එළියට දිළිසුණි. එය දීප්තිමත් සඳුදා උදෑසනක 09.30ට පමණ වූ අතර, උෂ්ණත්වය ටිකෙන් ටික සෙල්සියස් අංශක 30 ඉක්මවා තිබුණි. ටොක් මැකාක් (රිළවුන්) වඳුරු පවුලක් නිල්වන් ගස් අතුපතරේ පැද්දෙමින් රත් වූ වැලිවල සෙල්ලම් කරමින් අප ඉදිරියෙන් පෙරළී ගිය හ. නමුත් එයට අප අවධානය යොමු කළේ ස්වල්ප වශයෙනි; අපට ඈතින් තිබූ මීටර 200ක් පමණ උස ගල් පර්වතයෙන් ඇස ඉවතට ගැනීමට නොහැකි විය.

2019 දී සංචාරකයන් මිලියනයකටත් වඩා වැඩියෙන් ආකර්ෂණය කරගත්, ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයන් පිරිසක් එන ප්‍රසිද්ධම ස්ථානයන්ගෙන් එකක් වන සීගිරිය, ඓතිහාසික ශිලා බලකොටුවක් සහ පැරණි රජ මාළිගයකි. නමුත් 2021 මැයි මස හොඳින් හිරු එළිය වැටි ඇති දිනයක දී, එහි සිටි එක ම පුද්ගලයන් දෙදෙනා වූයේ මම සහ මගේ සහායකයා පමණි.

ක්‍රිස්තු වර්ෂ 477 දක්වා ඈතට දිවෙන සීගිරිය, නගර සැලසුම්කරණය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ හොඳ ම සංරක්ෂිත උදාහරණවලින් එකක් වන අතර එහි වැදගත් ම පුරාවිද්‍යා භූමිවලින් ද එකකි. අලංකාරවත් මාළිගය සහ පර්වතය මුදුනේ ඉදිකර ඇති කුළුණු මෙන් ම ලිංගිකත්වය හුවා දක්වන කලාකෘතිවල ප්‍රතිඵලයක් ලෙස 1982 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කෙරිණි. කෙසේ වුවත්, පර්වතය පාමුල දක්ෂ ලෙස සකසා ඇති උද්‍යානය සහ ජල පද්ධති එය ජාතික වස්තුවක් බවට පත් කොට තිබේ.

සීගිරියේ උද්‍යානය දකුණු ආසියාවේ හොඳ ම සංරක්ෂිත ජල උද්‍යානය පමණක් නොව ලෝකයේ පැරණි ම භූ දර්ශන උද්‍යානවලින් ද එකකි. පස්වන සියවසේ දී වැදගත් අමුත්තන්, මාළිගය දක්වා තිබෙන පඩි 1200ට ගාම්භීර පිවිසුමක් ලෙස ඇති, සිත් ඇදගන්නාසුළු ලෙස දෙපැත්තේ ම නිර්මාණය කළ ජල උද්‍යාන තිබෙන මඟක ගමන් කරන්නට ඇත.

සීගිරිය: නගරය, මාලිගය සහ රාජකීය උද්‍යාන, සිතාමතා (සැලසුම්කළ) සමමිතිය සහ අසමමිතියත්, ස්වභාවික ව හා ජ්‍යාමිතික ව යන ආකාර දෙකමත් ඇති ඉස්තරම් එකතුවක් ලෙස, සීගිරියේ ආරම්භක පුරාවිද්‍යා අධ්‍යක්ෂක සේනක බණ්ඩාරනායක විසින් ඔහුගේ කෘතිය තුළ පැහැදිලිකර තිබේ. "සීගිරියේ උද්‍යාන වෙනස් කොටස් තුනක් ලෙස ඇතත් එකිනෙකට සම්බන්ධ ය: සමමිතික ව හෝ ජ්‍යාමිතික ව සැලසුම් කළ ජල උද්‍යාන; අසමමිතික හෝ ස්වභාවික ගුහාව සහ ගල් පර්වත උද්‍යානය; පර්වතය වටා ඇති පඩිපෙල් හෝ තට්ටු ලෙස ඇති උද්‍යාන; පර්වත කූඨයේ ඇති (ඉතා කුඩා) ජල උද්‍යානය සහ මාළිග උද්‍යාන," ලෙස ඔහු ලියා තිබේ.

The 5th-Century palace was built to resemble a lion, with the paws flanking the main entrance

ඡායාරූප මූලාශ්‍රය, Boy_Anupong/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පස්වන සියවසේ දී මාලිගය, ප්‍රධාන පිවිසුම දෙපස පාද තබා ඇති සිංහයෙකුට සමාන ලෙස ඉදිකර තිබේ

උද්‍යානයේ කලාත්මක ව නිර්මාණය කර තිබෙන පොකුණු, වතුර මල්, කුඩා දියපහරවල සහ වේදිකාවල කලක දී මණ්ඩප සහ ඉදිරිපත් කිරීම් පවත්වා තිබේ. "සංසන්දනයක් විදිහට, ඒක සුන්දර උද්‍යාන, පිහිනුම් තටාක තියෙන නවීන සුඛෝපබෝගී නිවාඩු නිකේතනයකට සමාන වෙන්න පුළුවන්," වසර 24කටත් වඩා සංචාරක මඟපෙන්වීම් දේශකයෙකු ලෙස කටයුතු කරන සුමේධ චන්ද්‍රදාස පැවසුවේ ය.

පුදුමයට කරුණක් නම්, මෙම උද්‍යාන ක්‍රියාත්මක වන ආකාරයට වඩා, සවිස්තරාත්මක සැලසුම් වැඩිපුර ආකර්ෂණීය නොවීම යි. හයිඩ්‍රොලික් බලය (ද්‍රව පීඩනයෙන් උපදවන බලය), භූගත අගල් පද්ධතිය හා ගුරුත්වාකර්ෂණ බලය භාවිත කර, වසර 1500කට ආසන්න කාලයක් තිස්සේ තවමත් ක්‍රියාත්මක වන දර්ශනීය සිත්ඇදගන්නාසුළු පොකුණු සහ වතුර මල් සහිත මේ ජල පද්ධතිය ඉංජිනේරු (විද්‍යාවේ) ආශ්චර්යයක් ලෙස සැලකුණි.

ඇතැම් ශ්‍රී ලාංකිකයෝ, උද්‍යානයේ ජල දහරා පිරෙන සියලු ජලය පර්වතය මුදුනේ පොකුණෙන් ගලා එන බව කියන ජනප්‍රවාදය තවමත් විශ්වාස කරති. සැබැවින් ම, මාළිගා සංකීර්ණයට ජලය ලැබෙන්නේ "වැව්" ලෙස ප්‍රාදේශීය ව හඳුන්වන ආසන්න ජලාශවලින් ය. භූගත, පිළිස්සූ මැටි (වලින් තනා ඇති) ජලනළ මාලාවක්, සීගිරිය වැවේ (උද්‍යානවලට වඩා මඳක් ඉහළ උසකින්) සිට හොඳින් සැලසුම් කර ඇති උද්‍යානයන්ගේ විවිධ පොකුණු, වතුර මල් හා දිය පහර සැමතැනකට ම ජලය යැවීමට ගුරුත්වාකර්ෂණ බලය සහ හයිඩ්‍රොලික් (ද්‍රව) පීඩනය යොදාගනියි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේවෙතත්, උද්‍යානයේ සමහර ජල දහරා සීගිරිය මුදුනේ සිට පැමිණෙයි. පර්වතය මුදුනේ ඇති පොකුණු වර්ෂා ජලයෙන් පිරෙන අතර, ගල තුළට කපා ඇති කාණු මාලාව උද්‍යානවල ජලය සැපයීමට සහයවන භූගත අගල් පද්ධතිය පෝෂණය කරන විශාල ජල ටැංකියකට සම්බන්ධ වේ. "සම්පූර්ණ සංකල්පයට හසුවන්නේ, තනි සංකීර්ණ ජාලයක විවිධ ප්‍රමාණයේ සහ ස්වරූපයන්ගේ හයිඩ්‍රොලික් (ජල පීඩන) ව්‍යුහයන් එකට ගැටගැසීමයි - එය වාරි තාක්ෂණය නිර්මාණකරණයේ සංකීර්ණ අග්‍රඵලයක්," යැයි බණ්ඩාරනායක ලියා තිබේ.

කැණීම්වල දී භෞතික විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විදග්ධ දැනුමක් අවශ්‍ය; විවිධ ජලමට්ටම් ළඟා කරගැනීමට හැකි, විවිධ ගැඹුරෙන් යුතු දිය අගල් සොයාගත් බව ද බණ්ඩාරනායක ඔහුගේ කෘතියේ සඳහන් කර ඇත.

සංකීර්ණයේ ආරම්භය පස්වන සියවසේ වූව ද, එය පැමිණි ආකාරය පිළිබඳ කතාන්දරය නූතනයේ සෝප් ඔපෙරාවකට (එක ම චරිත සහිත ව දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වන කතාවක්) සමාන ය. සීගිරියට පෙර, ශ්‍රී ලංකාවේ රාජකීය අගනුවර පිහිටා තිබුණේ වයඹදිගින් කිලෝමීටර 70කට වඩා දුරින් පිහිටි අනුරාධපුරයේ යි. දාතුසේන රජුගේ රාජකීය නොවන බිසවකගේ පුත්‍රයා විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් ඔහුගේ ක්‍රෑර මරණයට හේතු වූ අතර, කූට පුත්‍රයා වූ කාශ්‍යප රජු රාජ්‍යත්වය ලබා ගත්තේ ය.

Sigiriya is considered one of South Asia's best-preserved examples of urban planning

ඡායාරූප මූලාශ්‍රය, Dmitry Malov/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සීගිරිය දකුණු ආසියාවේ නගර නිර්මාණය පිළිබඳ හොඳ ම සංරක්ෂිත උදාහරණවලින් එකකි

කාශ්‍යප රාජකීය අගනුවර සීගිරියට, හෝ "සිංහ කන්ද" අරුත් දෙන "සිංහ- ගිරි" වෙත ගෙන ගොස් පර්වතය මුදුනේ අලුතෙන් මාළිගාවක් ඉදි කළේ ය. පර්වතයේ මුදුනට සහ ඉහළ මාලිගා සංකීර්ණයට යන පඩිපෙළට ප්‍රවිෂ්ට වනවිට ඒ මන්දැ යි ඔබට පෙනෙයි. "පුරාණ කතාවලට අනුව [ශ්‍රී ලංකාවේ ඓතිහාසික වංශකතා], ඔහු (කාශ්‍යප) මාලිගය උක්කුටියෙන් ඉන්න සිංහයෙක් වගේ හැදුවා කියන එක තමයි මතය," පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සම්මානිත මහාචාර්ය සහ සීගිරියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජගත් වීරසිංහ පැහැදිලි කළේ ය. "සිංහ පාද ඔබ ව කන්දට ගෙන යන ප්‍රධාන පිවිසුමයි."

කාශ්‍යප රජු ක්‍රි.ව. 495 දක්වා එහි සිට පාලනය ගෙන ගිය අතර එය ඔහු අතහැර දැමූ පසු බෞද්ධ ආරාමයක් බවට පත්විය.

මගේ සහකරු සහ මම පැය කිහිපයක් මුළු සංකීර්ණය ම අපට ම ලබා ගැනීම, වසංගතය අතරමැද සංචාරය වැළඳගැනීමේ ප්‍රතිඵලයකි . වරක් කපරාරු කර ඔප දැමූ ජල උද්‍යාන කාලයත් සමග නොපෙනී ගොස් ඇති අතර, වර්ෂා කාලයේ දී ජලයෙන් පිරී යන පොකුණු, වතුර මල් හා දිය පහරවල්වල ගඩොල් අත්තිවාරම් වැටි තවමත් අපට දැකිය හැකි ය.

කුඩා ජල උද්‍යාන (එතරම් ම කුඩා නොවන; මිම්ම දිග මීටර 90ක් හා පළල මීටර 30ක්) ලෙස හඳුන්වන එක් තැනක්, (ඉදිකළ) කාලයට වඩා ඉදිරියෙන් ඇති ආකෘතිමය සැලසුම් අවශ්‍ය සර්ප හැඩැති ජල පහරක් ඇතුළත් විශේෂී ලක්ෂණ සමග කොටස් පහකට බෙදී ඇත. "ගැඹුරු නැති, සෙමෙන් ගලා යන ජලයෙන් වැසුණු, කුඩා ගල්කැට හෝ කිරිගරුඬෙන් නිමි පතුලවල් මෙම ජල පරිසරයේ යොදාගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි. මේවා සැකයකින් තොර ව, සිසිල ගෙන දෙන උපකරණයක් ලෙස භාවිත කරන අතර ම, සිත්ඇදගන්නාසුළු දර්ශන සහ ශබ්ධ රටා නිර්මාණය කරන විශිෂ්ට සෞන්දර්‍යාත්මක ආකර්ෂණයක් ද තිබේ," යැයි බණ්ඩාරනායක ලියා ඇත.

වීරසිංහට අනුව, නොගැඹුරු පොකුණුවල සඳ එළිය වැටී පරාවර්තනය වන රාත්‍රියේ දී මෙම කුඩා ජල උද්‍යානවල හොඳ ම අත්දැකීමක් ලබාගන්නට හැකිවන්නට ඇත. "සීගිරිය රාජකීය පරිසරයේ බොහෝ ශෘංගාරාත්මක ලක්ෂණ තියෙනවා," යැයි ඔහු මට පැවසුවේ ය. කුඩා ජල උද්‍යාන තවදුරටත් ක්‍රි.ව. 400 ගණන්වල තිබූ තරම් දර්ශනීය නැති නිසා, පොකුණේ අඩු ජල ප්‍රමාණය සහ වේදිකා, එම කාලයට විශ්වාස කළ නොහැකි තරම් සිතාමතා කළ නිර්මාණ ආකාරයක් වන, සංගීත සංදර්ශන සඳහා යොදාගත් බවට පුරාවිද්‍යාඥයන් විසින් විශ්වාස කෙරේ.

අපි පර්වතය ඉදිරිපිට භූමි ඔස්සේ කුඩා ජල උද්‍යාන අතරින්, සීගිරියේ ජල ධාරාවල සලකුණ වන සර්ප හැඩැති දිය පහර වෙත දිගට ම ඇවිද ගියෙමු. ඒවා සමමිතික සිදුරු ඇති හුණුගල් පැතලිවලින් නිර්මාණය කර ඇති අතර, වසර 1500කට පසුව පවා, වාර්ෂික මෝසම් වර්ෂාවල දී තවමත් ක්‍රියාත්මක වේ. "වතුර මලට පහළින් ජල පීඩනය වැඩි කරන පොඩි කුටියක් තිබෙනවා. වතුර මට්ටම ඉහළ වෙලාවට එයින් අඟල් හතරක් පහක් උසට වතුර මලෙන් වතුර විහිදවනවා," චන්ද්‍රදාස පැහැදිලි කළේ ය.

Stone steps leading into the pools indicate that they would have been used for swimming

ඡායාරූප මූලාශ්‍රය, Pavel_klimenko/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පොකුණට පිවිසෙන ගල් පඩිවලින් පෙන්නුම් කරන්නේ ඒවා පිහිනීම සඳහා භාවිත කර ඇති බවයි

රාජකීය පවුලට සහ කාශ්‍යපගේ බිසවට උණුසුම් දකුණු ආසියානු සූර්යය රශ්මියෙන් සහනයක් ලබා ගැනීමට, ජලය තුළට යන තෙක් ගලින් නිම වූ පඩි සාදා ඇති මෙම වතුර මල් සහ පොකුණු, විශේෂයෙන් ම සීගිරිය මුදුනේ ඇති විශාල පොකුණ, පිහිනුම් තටාක ලෙස නිර්මාණය කරන්නට ඇති බව මතයයි.

නමුත් ඒවායේ සුන්දරත්වය සහ ප්‍රායෝගිකත්වය ඉක්මවා ජල උද්‍යානවලට වෙනත් අරමුණක් තිබී ඇත. "කාශ්‍යපට අවශ්‍ය වුණේ ජලය වෙනස් ම ආකාරයකට පෙන්වන්න," යැයි වීරසිංහ පැවසුවේ ය. සැප විඳීමට භාවිත කළා මෙන් ම, කාශ්‍යප පිළිබඳ සැකයක් ඇති ඕනෑම අයෙකුට, විශේෂයෙන් ම ඔහුගේ පියාට හිතවත්; අනුරාධපුරයේ බලවත් ම ආරාමය නිර්මාණය කළ මහාවිහාර භික්ෂූන්ට, ඔහුගේ බලය සහ අතිදක්ෂ බව ගැන එය ප්‍රබල පණිවුඩයක් ලබා දුන්නේ ය.

"සීගිරිය රාජකීය පරිසරයේ ජලය යොදාගෙන තියෙන විචිත්‍ර හා චමත්කාරජනක ආකාරය දිහා ඔබ බලනවිට, ඔහු ඔහුගේ බලය ගැන මේ මිනිස්සුන්ට දෙයක් කියනවා," වීරසිංහ එකතු කළේ ය.

දැවැන්ත ශෛලමය සිංහපාද පසුකර, සීගිරියේ අඩමාන පඩි 1200කට වැඩි ප්‍රමාණයක් අවසානයේ අපේ ඇඳුම් දහඩියෙන් පෙඟී තිබූ අතර මම අමාරුවෙන් හුස්ම අල්ලා ගැනීමට උත්සාහ කළෙමි. අප මැද මාළිගයේ නටබුන් අතරින් ඇවිද ගිය අතර විශාල පොකුණ හදිසියේ ම හමුවිය. පැරණි රාජකීයයන් කලක දී කළාක් මෙන් එහි කිමිදීම ආශා උපදවන්නක් වුවත්, සති ගණනකින් වැසි නොලැබීමත් එය නඩත්තු කිරීමට රාජකීය සේවකයන් නොමැති වීමත් හැඟවූයේ එහි මතුපිට අඳුරු බැක්ටීරියා සැඟ ව ඇති බවයි.

ඉහළ සිට (බලන විට), පහළ ජල උද්‍යාන පද්ධතිය පැහැදිලි ව, නියමාකාරයෙන් මධ්‍යගත ව, ආකර්ෂණීය ලෙස පෙළට ඇත. නිල් පැහැ ක්ෂිතිජය සහ නීල හරිත වනගහණයේ දර්ශනයන් නිම නොවෙන බව පෙනෙන්නට තිබුණි. එය ඉදිකළ බලවත් රජුට සුදුසු, උද්‍යාන සහ මාළිගාවකට තරම් වන ස්ථානයකි.

"වැහි කාලය අතරතුර දී මේ කන්ද උඩ වළාකුළු තියෙන ආකාරය නිකමට මවාගන්න," වීරසිංහ පැවසුවේ ය. "එතකොට, ඔබ මේ උද්‍යානය හරහා ඇවිදගෙන යනවිට රළ ගසන ලොකු පොකුණ සහ වතුර මල්වලින් වතුර වේගයෙන් විදිනවා ඔබට පෙනෙනවා. නිකමට හිතලා බලන්න ඒක මොන විදිහේ අත්දැකීමක් ද කියලා."

Designed to impress, the long path to the palace was flanked with pools and fountains

ඡායාරූප මූලාශ්‍රය, Tuul & Bruno Morandi/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිත්ඇදගන්නා ලෙස නිර්මාණය කර ඇති, මාළිගාවට යන දිගු මාර්ගය පොකුණු සහ වතුර මල්වලින් සමන්විත විය