බොහෝ සංචාරකයින් කිසිදා අසා දැක නැති 'දේදුනු දූව'

ඡායාරූප මූලාශ්‍රය, Alamy
හිරියල් පැහැ දියපහරවල්, රක්ත වර්ණයෙන් යුත් වෙරළ, සහ මනෝහර ලවණ ගුහාවන්ගෙන් යුත් ඉරානයේ හොර්මූස් දූව භූ විද්‍යාඥයින්ගේ ඩිස්නිලන්තය ලෙස හඳුන්වන්නට පුළුවන්.
"ඔබ මේ පස්වල රස බැලුවා නම් හොඳ යි," ඉරානයේ හොර්මූස් දූවේ දී මාගේ මඟපෙන්වන්නා වූ ෆර්සාඩ් කේ පැවසුවා. අප සිටියේ වෙරළ තීරයට ඉහළින් මහේශාක්‍ය ලෙස නැගී, වෙරළත්, මුහුදු රළත් සිය රක්ත වර්ණ ඡායාවෙන් වසා සිටි තද රත්-දුඹුරු පැහැගත් කන්දක පාමුල යි. මේ ඛණිජ බහුල අද්භූත භූ දර්ශනය මට තවමත් හරිහැටි අවබෝධ කරගන්නට නොහැකි වූ නිසාවෙන්, මම ඔහුගේ යෝජනාවට සලකා බැලුවේ චකිතයකින්.
ඉරානයේ වෙරළෙන් කිලෝමීටර 8ක් ඈතින් පර්සියානු බොක්කේ නිල් දියකඳ මැද පිහිටි හොර්මූස් දූපත කඳුළු බිඳුවක හැඩය ගත්, දිස්න දෙන ලවණ කොතක්. ශල්කමය පාෂාණ, මැටි, සහ යකඩවලින් පොහොසත් ආග්නේය පාෂාණයන්ගෙන් සැදි මේ දූපත දීප්තිමත් රතු, කහ, සහ තැඹිලි වර්ණයන්ගෙන් දිදුලන්නේ එහි ඇති 70කටත් අධික ඛනිජ ලවණ වර්ගයන් හේතුවෙන්.
මින් පෙර ඉරානයේ සේවයකර ඇති, බ්‍රිතාන්‍ය භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රධාන භූ විද්‍යාඥ ආචාර්ය කැත්රින් ගුඩනෝට අනුව, මීට වසර මිලියන සිය ගණනකට පෙර පර්සියානු බොක්කේ මායිම් වටා වූ නොගැඹුරු මුහුදේ ඝන ලුණු ස්ථරයන් සෑදී තිබෙනවා. කාලයත් සමග මෙම ලුණු ස්ථරයන් ප්‍රදේශයේ පිහිටි ඛනිජවලින් පොහොසත් ගිනිකඳු අවසාදිතයන් සමග ගැටී, එම ස්ථරයන් අතර තැන්පත් වී, වර්ණවත් ගොඩබිමක් සෑදීමට හේතු වුණා.
"ගෙවුණු වසර මිලියන 500 තිස්සේම, නව ගිනිකඳු අවසාදිත ස්ථරයන් මඟින් ලුණු ස්ථරයන් ගැඹුරටම වළලා දැමුනා. නමුත් ලුණු පාවෙන නිසා, කාලයාගේ ඇවෑමෙන් මතුපිට පාෂාණවල පිපුරුම් හරහා පොළොව මතුපිටට පැමිණ ලවණ කොත් සාදා තිබෙනවා," ආචාර්ය ගුඩනෝ පවසනවා. පොළොව මතුපිටට කිලෝමීටර ගණනාවක් ගැඹුරින් පිහිටන මෙවැනි ඝන ලුණු ස්ථර පර්සියානු බොක්ක ප්‍රදේශය පුරාම පැතිර ඇතිබව ද ඇය සඳහන් කළා.
මේ භූ විද්‍යාත්මක සැකැස්මේ ප්‍රතිඵලයක් වශයෙන් හිරියල් වර්ණ ගැන්වුණු දිය පහරවල්, තද රතු-දුඹුරු පැහැයෙන් යුතු මුහුදු වෙරළ, සහ රමණීය ලවණ ගුහාවන් ඇතිවී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, හොර්මූස් දිවයින "දේදුනු දූව" යන නමින් ද නිතර හැඳින්වෙන්නේ එයින් වෑස්සෙන මේ පුළුල් වර්ණාවලිය නිසා යි. ෆර්සාඩ් මට රස බලන්නැ යි යෝජනා කළ, ලොව ආහාරයට ගතහැකියැ යි සැලකෙන එකම කන්දේ නිවහන ද මෙය යි.

ඡායාරූප මූලාශ්‍රය, Alamy
මා සිටගෙන සිටි තැනට ආසන්නයේ පිහිටි කන්දේ "ගෙලැක්" නමින් හැඳින්වෙන රතු පැහැ පස ඇතිවීමට හේතුවී තිබෙන්නේ හීමටයිට් නම් යකඩ ඔක්සයිඩයක්. මෙය දිවයිනේ ආග්නේය පාෂාණවලින් හටගත්බව විශ්වාස කෙරෙනවා.
මෙය කර්මාන්ත කටයුතු සඳහා වටිනා ඛනිජයක් වනවා සේම, ප්‍රදේශයේ ඉවුම්පිහුම් කටයුතුවල දී ද වැදගත් කාර්යයභාරයක් උසුලනවා. කුළුබඩුවක් ලෙස භාවිතා කරන මෙයින් වෑංජනවලට නැවුම් රසයක් ලබාදෙන අතර, ප්‍රදේශයේ ප්‍රසිද්ධ "ටොම්ෂි" (මෙහි තේරුම "යමකින් අතලොස්සක්" යන්න යි) නම් පාන් වර්ගය සමග කදිමට ගැලපෙනවා.
"රතු පස සෝස් වර්ගයක් විදියට පාවිච්චි කරනවා," ෆර්සාඩ්ගේ බිරිඳ මරියම් පෙයිකානි පැහැදිලි කළාය. "මේ සෝස් ජාතියට කියන්නේ "සූරඛ්" කියලා. පැතලි පාන් පුච්චද්දි, පාන් එක හරි ගාණට සූදානම් වෙන්න ඔන්න මෙන්න තියලා මේ සෝස් එක පාන්වල තවරනවා. සූප ශාස්ත්‍ර වැඩවලට අමතරව, මේ රතු පස මේ පැත්තේ චිත්‍ර ශිල්පියෝ [චිත්‍ර වර්ණ ගන්වන්නට] පාවිච්චි කරනවා. පාට පොවන්නත්, රූපලාවන්‍ය සහ සෙරමික් නිෂ්පාදන තනන්නත් මේ පස යොදාගන්නවා."
රක්ත වර්ණ කඳුගැටය හැරුනුකොට ගවේශනය කරන්නට වටනා තවත් බොහෝ දේ හොර්මූස්හි පිහිටා තිබෙනවා. දිවයිනේ බටහිර දෙසට වන්නට "ලුණු දෙවඟන" යනුවෙන් හැඳින්වෙන මනස්කාන්ත ලුණු කන්දක් පිහිටා ඇත. කිලෝමීටරයකටත් වඩා දුරක පැතිරී ඇති එහි ලා පැහැ ගුහා සහ තියුණු දාර ඇති බිත්ති, කිරිගරුඬ මාළිගයක දැවැන්ත කුලුනු සේ දිස්වෙන දිලිසෙන ලවණ ස්තම්භයන්ගෙන් වැසී තිබෙනවා.
ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ සිරුරේ ඇති සෘණාත්මක ශක්තීන් අවශෝෂණය කරගෙන පිටකළ හැකි අන්දමේ සුවකිරීමේ හැකියාවක් මේ ලුණුවල ඇතිබව යි. මගේ පාවහන් ඉවත්කොට, නිරාවරිත පතුල් ලුණු කොත සමග ගැටෙන්නට දෙන්නැ යි ෆර්සාඩ් මට උපදෙස් දුන්නා. "මේ කඳුකර ලුණු, ධනාත්මක ශක්තීන් වහනය කරනවාට ප්‍රසිද්ධ යි," ඔහු මට පැවසුවා. "මේ මිටියාවතේ ටික කාලයක් ජීවත් වුණොත් අමුතු ප්‍රාණවත්බවක් දැනෙනවා ඒකාන්ත යි. ඒ නිසා තමයි මේ මිටියාවතට ශක්තියේ මිටියාවත කියන්නේ."
මෙම දිවයිනේ නිරිතදිග ප්‍රදේශය 'දේදුනු නිම්නය' යනුවෙන් හැඳින්වෙනවා. එහි විශ්මයජනක බහුවර්ණ පසක් සහ රතු, දම්, කහ, හිරියල්, සහ නිල් පැහැයන්ගෙන් විචිත්‍රවත් ලෙස වර්ණ ගැන්වුණු කඳු දක්නට පුළුවන්. ඒ හරහා ඇවිද යද්දී, දීප්තිමත් වර්ණ පදාසයන් මතට හිරු කිරණ පතිත වන විට කාන්තිමත්ව බැබලෙන ජ්‍යාමිතික රටා මැවෙනායුරු මට නිරීක්ෂණය වුණා.
මීට යාබදව පිහිටි 'පිළිම මිටියාවතේ' පර්වතයන්ගෙන් අරුම පුදුම හැඩතල කපන්නට වසර දස දහස් ගණනක් තිස්සේ සිදුවූ සුළං ඛාදනය සමත්ව තිබෙනවා; ඒ හැඩැති පර්වතවලින් පක්ෂීන්, මකරුන්, සහ නොයෙකුත් මායාවී ජීවීන් සිතේ මවාගන්නට මට හැකිවුණා. ඇත්තෙන්ම එය පෘථිවිය විසින් තැනුණු කලාගාරයක් අගය කිරීමක් ලෙස යි දැනුනේ.

ඡායාරූප මූලාශ්‍රය, Alamy
දිවයිනේ විස්මකුරු, විචිත්‍රවත් ස්වභාවික වර්ණයන් හිබියේවා, බොහෝ සංචාරකයින් මෙම ස්ථානය පිළිබඳව දැනුවත් නැහැ. ඉරානයේ වරාය හා සමුද්‍රීය සංවිධානයට අනුව 2019 දී මෙහි පැමිණ ඇත්තේ සංචාරකයින් 18 000ක් පමණ යි.
"මෙහි ඓතිහාසික සහ ස්වභාවික සංචාරක ආකර්ශනයන් පිහිටියත්, ලෝක සංචාරකයින් තවමත් මෙවන් ස්වභාවික සංසිද්ධියක් ඇතිබව අනාවරණය කරගෙන නැහැ," තවත් ප්‍රදේශවාසියෙකු වන එර්ශාඩ් ශාන් පැවසුවා. එවේලේ මා උන්නේ සූරඛ් යොදා පිළියෙළ කෙරුණු රසවත්, සුවඳවත් සාඩින් කරියකුත්, රතු ළූණු, ලෙමන්, සහ දොඩමුත් බුදිමින්. "හොර්මූස් දූපතේ යටිතල පහසුකම් දියුණු කරන්න මීට වඩා උනන්දු වුණා නම්, මේක වැදගත් සංචාරක ආකර්ශනයක් බවට පත්කරන්න තිබුණා."
මේ වන විට ප්‍රදේශවාසී ජනයා නිවසේ පිසූ ආහාර සංචාරකයින් වෙත විකුණන්නටත්, රික්ෂෝ සහ යතුරුපැදි මඟින් සංචාරකයින් දිවයින වටා ප්‍රවාහනය කරන්නටත් පටන්ගෙන තිබෙනවා. "හෝර්මූස් වෙනුවෙන් අපේ වැඩකොටස ඉටු කරන්න වගකීමක් අපට තියෙනවා. මේක දුර්ලබ තැනක් වගේම, අපේ අනන්‍යතාවයෙන් කොටසක්," ශාන් කියා සිටියා. "මේ පාරිසරික උරුමයට ලෝකයේ අවධානය යොමු කරවන්න දායක වීමේ උවමනාවක් අපට දැනෙනවා."
හොර්මූස් නිසැකවම භූ විද්‍යාඥයෙකුගේ ඩිස්නිලන්තය වුවත්, එම දිවයින සැබැවින්ම විශේෂ ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි "රස පොළොව" දිවයිනේ වැසියන්ගේ නහර හරහා ගලායෑම නිසාබව වෑංජනය කමින් සිටිය දී මට හැඟුනා.
බීබීසී ට්‍රැවල් හි මිස්බා මන්සුරි භූ විද්‍යාත්මක මාර්වල්ස් සඳහා සැකසූ ලිපියකි. භූ විද්‍යාත්මක මාර්වල්ස් යනු බීබීසී සංචාරක හි පළ කරන කතා මාලාවක්. එය ස්වාභාවික සංසිද්ධි පිටුපස ඇති ආකර්ෂණීය කථා හෙළි කරන අතර ඒවා අපේ පෘථිවියට ඇති පුළුල් වැදගත්කම හෙළි කරයි.










