කොරෝනා බියෙන් පෙළෙන ආසියාවට මස් වෙනුවට "බොරු මස්"

Plant-based meat dishes are seen offered at a Starbucks store on April 22, 2020 in Shanghai, China.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොරෝනාවෛරසය පැතිරයාමත් සමග වසා තැබීමට සිදු වූ චීනයේ ආපන ශාලා (cafes) සහ භෝජනාගාර (restaurants) යළි විවෘත කරනු ලැබීමත් සමග, ඔවුන්ගේ ආහාර වට්ටෝරුවලට (menu) මස් නොවන එහෙත් මස් හා සමාන ආහාර දීසි හඳුන්වා දීමට පටන්ගෙන ඇත.

මස් හැඩයෙන් සහ මස් රසැතිව පිස නිමවා ඇති මේ ආහාර සැකසෙන්නේ ශාක පදනම් කරගත් ආහාර නිෂ්පාදනවලිනි.

'Beyond Meat' ආහාර නිෂ්පාදන සමාගම මගින් නිපදවනු ලබන ශාක මගින් සකස් කෙරුණ ආහාර චීනය පුරා පිහිටි 'ස්ටාර්බක්ස්' (Starbucks) ආපනශාලාවන්හි අලෙවි කිරීම පසුගිය බදාදා පටන් ආරම්භ විය.

ක්ෂණික ආහාරවලින් සංග්‍රහ කරන KFC වැනි භෝජනාගාර පවා, ශාක නිෂ්පාදනවලින් පිසන ලද ව්‍යාජ කුකුල් මස් නිෂ්පාදන ඔවුන්ගේ නව ආහාර වට්ටෝරුවලට ඇතුළත් කරමින් සිය පාරිභෝගිකයන් පිනවීම සඳහා මේ සතියේ පටන් අත්හදා බැලීම් ආරම්භ කරනු ඇත.

චීනය කොරෝනාවෛරසයෙන් ගොඩ එමින් සිටින අතර වාරයේ, එරට බොහෝ දෙනෙක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටිති.

''චීනය තුළ ශාක මගින් නිෂ්පාදනය කරන ලද මස් වර්ග සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් 'Beyond Meat' සමාගම පවසයි.

කොරෝනාවෛරසය
කොරෝනාවෛරසය

චීනයේ 'ස්ටාර්බක්ස්' (Starbucks) ආපනශාලා 3,300 ක් ශාකමය මාංශ ආහාර වර්ග තුනකින් දැනටමත් පාරිභෝගිකයන්ට සංග්‍රහ කරෙමින් පවතින බවත් 'Beyond Meat' සමාගම සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ වසා දැමීමට සිදු වූ 'චීනයේ 'ස්ටාර්බක්ස්' (Starbucks) ආපන ශාලා සමූහය මේ වන විට යළි විවෘත කෙරෙමින් පවතී.

'ෂැන්හයි' ( Shanghai) සහ 'ග්වාන්ෂු' (Guangzhou) සහ 'ෂෙන්ෂෙන්' (Shenzhen) වැනි දකුණු චීනයේ නගරවල සිය ආපනශාලාවන්හි ශාකමය මාංශ පළමු වරට ආහාර අලෙවි කරනු ලැබීමට පියවර ගනිමින් ඇත.

මස් මාංශ ආහාර වෙනුවට ශාකමය ආහාර සඳහා ලෝකය පුරා ඉල්ලුම ඉහළ යමින් පවතින ප්‍රවනතාව හමුවේ චීනයේත් ආදේශක මාංශමය ආහාරවලට ඇති ඉහළ ඉල්ලුමත් සමග ශාකමය මාංශ නිෂ්පාදනය කරන බටහිර සමාගම් එරටට ද ඇතුළු වීමට බලාපොරොත්තු වෙයි.

අප්‍රිකානු 'ඌරු උණ' (swine fever ) හේතුවෙන් තම සත්ව ගොවිපොලවල ඌරන් ඇතුළු ආහාර සඳහා ඇතිකරන සතුන්ගෙන් අඩක්ම 2018 වසරෙහි විනාශවීම නිසා, චීනය විශේෂයෙන් ම ඌරුමස් ඇතුළුව මස් හිඟයකට මුහුණ දී ඇත.

දැන් පවතින 'Covid 19' වයිරස් උවදුර සැලකිල්ලට ගනිමින් ලෝකය පුරා කම්හල්වලට තහංචි පනවා ඇති හෙයින්, තම රටට අවශ්‍ය ඌරුමස් ආනයනය කරනු ලැබීම අතින් ද චීනය දුෂ්කර අරගලයකට මුහුණ දී සිටියි.

"දිගුකාලීන වර්ධනය අතින් බලන විට ආසියාව මූලෝපායීය වශයෙන් වැදගත් ම කලාපයක්. 2020 වසරේ අවසානය වන විට ආසියාව සඳහා කෙරෙන නිෂ්පාදනය එහිම සිදුකරනු ලැබීම 'Beyond Meat' සමාගමේ ඉලක්කයයි'' එම සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

'Beyond Meat' සමාගම සිංගපූරුව, දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය සහ පිලිපීනය ඇතුළු ආසියානු රටවල කීපයක ශාකමය මාංශ නිෂ්පාදන බෙදා හැරීම දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත.

එහෙත් මෙම වාණිජමය ක්‍රියාවලියේදී 'ස්ටාර්බක්ස්' (Starbucks, 'KFC' සහ 'බියොන්ඩ් මීට්' (Beyond Meat) වැනි ව්‍යාපාරික සමාගම් එක්තරා අභියෝගයකට ද මුහුණ දෙනු ඇත.

එනම්, ඔවුන්ගේ ශාකමය මාංශ නිෂ්පාදන අනුභව කිරීම සඳහා චීන පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමය.

''වඩාත් සෞඛ්‍යය සම්පන්න මාංශමය නොවන ප්‍රෝටීන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් චීනයේ අධික ඉල්ලුමක් නැහැ.ඊට හේතුව චීන ජනතාව එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ ජනයාට වඩා බොහෝ එළවළු වර්ග තමන්ගේ දෛනික ආහාර වේලට දැනටමත් එකතු කර ගැනීම. දැන් තමන් ශාක භක්ෂිකයන්ය කියල කියන්න චීන ජනයාට අමුතුවෙන් උවමනාවක් නැහැ,'' චීන වෙළෙඳපොළ පර්යේෂණ කණ්ඩායමේ ෂෝන් රීන් (Shaun Rein ) පවසයි.

එක්සත් රාජධානිය ගත් විට 'ග්‍රෙග්ස්' (Greggs) පටන් 'මැක්ඩොනල්ඩ්ස් ' දක්වාත්, 'බර්ගර් කිං' (Burger King) පටන් 'KFC' දක්වාත් ආහාරමය නිෂ්පාදන අලෙවිකරණ සමාගම් තමන් මස්මාංශ වෙනුවට ආදේශක ශාකමය ආහාර(vegan) දැනටමත් සපයමින් ඇති බව හෝ ඉදිරියේදී සපයන බව නිවේදනය කරනු ලැබ ඇත.