රුපියල් මි. 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම: ඩේසි ෆොරස්ට් නඩුවෙන් නිදහස්

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය බදාදා (පෙබ. 25) නියෝග කළේ ය.
"විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවා ද?" යන කරුණ පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගෙන විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
එම වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍යවරුන් නිර්දේශ නිකුත් කර ඇති බවට එහි සඳහන් විය.
අනතුරුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළේ ය.
ඒ අනුව, නඩුවේ පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂට පමණක් සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව නඩුව පවරා පවත්වාගෙන යාමට කටයුතු කරව බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වී ය.
මෙම නඩුව ඉකුත් වසරේ නොවැම්බර් 26 වන දා කැඳවූ අවස්ථාවේ ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ දැයි පරීක්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කර තිබිණි.
ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර්
ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව වයස අවුරුදු 98ක තැනැත්තියක බවත් ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නමැති රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් පැවසීය.
ඇයට මෙම නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් යහපත් මානසික තත්ත්වයක් නොමැති බවට 2017 වසරේ මාර්තු 14 වන දා ගංගොඩවිල දිසා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව, මෙම විත්තිකාරියට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත්, ඇය මෙම නඩුවෙන් ඉවත් කිරීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා මීට පෙර අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, විත්තිය ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සඳහා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ දැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ ද? ඇයට විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් තිබේ ද? යන කරුණු පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ ය.
ඒ අනුව, පැමිණිල්ල විසින් දැනුම් දෙනු ලබන දිනයක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විත්තිකාරියට දැනුම් දුන්නේ ය.
චෝදනාව කුමක් ද?
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
ඩේසි ෆොරස්ට් යනු කවුද?
ඩේසි ෆොරස්ට් යනු යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වේ.
ඇය ගුරුවරියක ලෙස ද සේවය කර ඇත.
ඩේසි ෆොරස්ට් කලකට ඉහතදී සාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන් ද කටයුතු කළ තැනැත්තියක බව අධිකරණයේදී මීට පෙර අනාවරණය විය.


































