ඩේසි ෆොරස්ට්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිරික්සීමට වෛද්‍ය වාර්තාවක් කැඳවයි

ඩේසි ෆොරස්ට්
    • Author, බීබීසී සිංහල

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ දැයි පරීක්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (නොවැ: 26) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේ ය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබී ය.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර්

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව වයස අවුරුදු අනු අටක තැනැත්තියක බවත් ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නමැති රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත්, ඇයට ඇයට මෙම නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් යහපත් මානසික තත්ත්වයක් නොමැති බවට 2017 වසරේ මාර්තු 14 වන දා ගංගොඩවිල දිසා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේ ය.

ඒ අනුව, මෙම විත්තිකාරියට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත්, ඇය මෙම නඩුවෙන් ඉවත් කිරීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා මීට පෙර අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

ඒ අනුව, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව අද කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිය ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සඳහා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ දැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ ද? ඇයට විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් තිබේ ද? යන කරුණු පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ ය.

ඒ අනුව, පැමිණිල්ල විසින් දැනුම් දෙනු ලබන දිනයක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විත්තිකාරියට දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා ගොනු කර තිබේ.