97 හැවිරිදි 'ඩේසි ආච්චි' ට ඇප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යන මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකාරියක ලෙස නම් කර සිටි ඔහුගේ මිත්තණිය වන - ඩේසි ෆොරස්ට් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 5 වැනිදා) නියෝග කළේය.
ඇය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට පත්විය.
පසුව අද සවස ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
ඇපකරුවන් ඇයගේ ළඟම ඥාතීන් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
ඩේසි ෆොරස්ට් 97 හැවිරිදි වියේ පසුවෙයි.
නඩුව ලබන ජුලි 7 වැනිදා නැවත කැඳවීමට නියමිත වේ.
'ඩේසි ආච්චි' සැකකාරියක ලෙස නම් කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යන මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකාරියක ලෙස ඩේසි ෆොරස්ට් නම් කරනු ලැබුවේ නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුවය.
ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යෝෂිත රාජපක්ෂ සැකකරු සමග ඩේසි ෆොරස්ට් ද සැකකාරියක් වශයෙන් නම් කර මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩු කටයුතු පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි මනතුංග (පෙබරවාරි 11 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, screenshot
CID ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මීට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් චානිකා විජේබණ්ඩාර හමුවේ (පෙබරවාරි 11 වැනිදා) පස්වරුවේ කැඳවනු ලැබිණි.
එහිදී ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට ගැනීමට හෝ සිතාසි නිකුක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටියද අධිකරණය එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කර තිබේ.
ඩේසි ෆොරස්ට්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේදැයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී විමසා සිටියාය.
එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බවය.
ඒ අනුව ප්‍රකාශයක් ලබා ගෙන විමර්ශන අවසන් කර ඉදිරි දින කරණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඩේසි ෆොරස්ට් යනු කවුද?
ඩේසි ෆොරස්ට් යනු යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වේ.
1928 උපන් ඇය 96 හැවිරිදි වියේ පසුවෙයි.
ඇය සුලේමන් රෝහලේ මෙන් ම ගුරුවරියක ලෙසත් සේවය කර ඇත.
ඩේසි ෆොරස්ට් කලකට ඉහතදී ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක් බවද අධිකරණයේදී මීට පෙර අනාවරණය විය.
චෝදනා මොනවා ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 2016 වර්ෂයේ සිට යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කළ බව ය.
ඒ, ඔහුගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙනි.
"ඔහුට එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න හැකි වුණේ නැහැ" පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
ඒ අනුව මුදල් විශූද්ධිකරණය පනත යටතේ ඔහුට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.
"විමර්ශනවලින් පෙනී ගියා මෙම මුදල් ස්ථීර තැන්පතු - බැංකු තැන්පතුවල යොදවා ඇත්තේ ඩේසි ෆොරස්ට් සමග හවුල් ගිණුමක් වශයෙන් කියලා"
"මේ කාන්තාව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන මාලාවක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වේ.
දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැත්වේ.
ඊට අමතරව, සී.එස්.එන්. නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වේ.
2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් ක්‍රියාත්මක ය.
අදාළ ඉඩම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට ජනවාරි 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ය.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස එහිදී නියෝග කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මීට පෙර කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත" යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද එහිදී සඳහන් කෙරිණි.
"ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමු වන සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන් ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා."
"ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුල දී හිමි වී තිබෙන්නේ රුපියල් 250 ක හෝ 300 ක වැටුපක් පමණ යි. මේ තරම් විශාල දේපළක මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින් ම පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිල දී ගත්තා කියලා."
"තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිල දී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා."
"ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව," යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේ ය.
"සැකකරු 2006 වසරේ ලුතිනන්වරයෙකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/- ක වැටුපක්. එම මුදල සෘජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපලක් මිලදී ගත්තේ කෙසේ ද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය."
"ඒ වගේ ම පැහැදිලි වෙනවා අසාධු මුදල් වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාධු මුදල් සංසරණය වැළැක්විය යුතු යි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකා දැමිය යුතු යි."
"2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කළ යුතු යි," යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී ඉල්ලා සිටියේ ය.














