අටසියවසක සිට තවමත් මිනිස්වාසයක් පවතින පෞරාණික බලකොටුව

The medieval fortress of Jaisalmer rises more than 20 storeys from the dusty landscape like a golden sandcastle

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, ජයිසල්මර්හි මධ්‍යකාලීන බලකොටුව රන්වන් වැලි මාළිගාවක විලාසයෙන් දූවිලි සහිත භූ දර්ශනයෙන් තට්ටු 20කට වැඩි ඉහළකට නැගී සිටියි

රාජස්ථාන් ප්‍රාන්තයේ හුදෙකලා බටහිර මායිමට ආසන්නව, මහා තාර් කාන්තාරයෙන් වටව පිහිටි මධ්‍යකාලීන යුගයේ තැනූ ජයිසල්මේර් බලකොටුව, දූවිල්ලෙන් පිරි තැන්නෙන් ඉහළට තට්ටු 20ක් තරම් උසට නැගී සිටින්නේ රන්වන් වැලි මාළිගාවක විලාසයෙනි. වර්ෂ 1156 ආරම්භයේ දී වැලිගලින් ඉදිකරන ලද මෙම බලකොටුව ත්‍රිකෝණාකාර කඳු ගැටයක් මුදුණේ නැගී සිටින අතර, එයට වටප්‍රාකාරයන් තුනක්, මහා ද්වාරයන් සතරක්, හා මුර අට්ටාලයන් 99ක් අයත් වේ. රාජස්ථාන්හි තවත් තේජාන්විත බලකොටු පහක් ද සමග යුනෙස්කෝ ලෝක උරුම අතරට ඇතුළුව ඇති ජයිසල්මේර් බලකොටුව තැනීමට භාවිතා වූ කහ පැහැ වැලිගලෙහි වන කැපී පෙනෙන මී පැණි වර්ණය, ඒ වටා ගොඩනැගුනු නගරයට "රන්වන් නුවර" (ගෝල්ඩන් සිටි) යන නම් ලබා දුන්නේ ය.

කෙසේ වෙතත්, ජයිසල්මේර් බලකොටුව හුදෙක් සුවිශේෂී ඓතිහාසික සහ වාස්තු විද්‍යාත්මක සලකුණකට වඩා වැඩි යමකි: එය ගොඩනැගීමෙන් වසර 800කට වැඩි කලක් ගෙවීයාමෙන් පසුවත්, බලකොටුවේ පළමු වැසියන්ගෙන් පැවැත එන්නෝ 2000 - 4000 අතර පිරිසක් එහි ප්‍රාකාර අතර වෙසෙන්නෝ ය. ඔවුන් කිසිදු කුලියක් නොගෙවා මෙහි වෙසෙන්නේ, ඔවුන්ගේ මුතුන්මිත්තන් රාජධානිය වෙනුවෙන් සිදුකළ සේවාවන් හේතුවෙන් ප්‍රාදේශීය රජුන් ඔවුන්ට බලකොටුව තුළින් ඉඩකඩම් ප්‍රදානයකර තිබීම නිසාවෙනි.

වර්තමානයේ දී ජයිසල්මේර් යනු ඉන්දියාවේ ජනාවාසයක් පවතින අවසන් පෞරාණික බලකොටුව යි. එපමණක් නොව, එය 12 වන සියවසේ දී බලකොටුවේ පටු මංමාවත්හි ද, ජනාකීර්ණ අංගනයන්හි ද එදිනෙදා ජන ජීවිතය ගලාගිය ආකාරය පෙන්වන සජීවී ස්මාරකයක් ද වැනි ය.

විමල් කුමාර් ගෝපාගේ පවුල වසර 700කටත් වැඩි කලක් තිස්සේ බලකොටුව තුළ වෙසෙන අතර, 44 හැවිරිදි ගෝපා කුන්ධ්පාදාහි පිහිටි සිය කුඩා නිවසේ සිට රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක් හසුරුවයි. ඓතිහාසිකව ගත්කල, ඔහුගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ වාසයකර ඇත්තේ 12 වන සියවසේ සිට 1900 ගණන්වල මැදභාගය තරම් මෑතක් දක්වා ජයිසල්මේර් පාලනය කළ ප්‍රාදේශීය රජුන් වෙත ගුරුවරුන් හා උපදේශකයින් ලෙස සේවය කළ පූජක බ්‍රාහ්මණ කුලයේ සාමාජිකයින් පමණි. ඔවුන්ගේ සේවයට පඬුරු වශයෙන් රජුන් ඔවුනට කොටුව තුළ ඉඩකඩම් ලබාදී තිබේ. අද වන විට - ශතවර්ෂ සතක් හා පරම්පරාවන් 23කට පසු - ගෝපාගේ බ්‍රාහ්මණ වංශික විස්තෘත පවුලට පෞරාණික කොටුපවුර තුළ පිහිටි නිවෙස් 42ක අයිතිය හිමි ය.

"කොටුව ඇතුළෙ ජීවත්වෙන අයගෙන් එකම වාසගම තියෙන අය සාමාන්‍යයෙන් එකම පවුලකට අයිති කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එකම පැත්තක තමයි ජීවත් වෙන්නේ," ගෝපා පැවසුවේ ය. බ්‍රාහ්මණයින්ට අමතරව බලකොටුව තුළ වෙසෙන අනෙක් ප්‍රබල ප්‍රජාව වන්නේ, බලකොටුව හා ඒ වටා පිහිටි නගරයේ ආරක්ෂාව පිළිබඳ වගකීම දැරූ උතුරු ඉන්දීය රණශූර හින්දු වංශයක් වන රාජ්පුත්වරුන් ය. ගෝපා පවසන පරිදි, බලකොටුවාසීන්ගේ වාසගම් අතීතයේ ඔවුන්ගේ පවුලේ කුලය කුමක්වීදැ යි අඟවයි; පුරෝහිත් හා ව්‍යාස් යනු අනෙකුත් බ්‍රාහ්මණ වාසගම් වන අතර, රාජ්පුත්වරුන් භට්ටි, රාතෝර්, හා චෞහාන් වැනි වාසගම් දරයි.

"මගේ පවුල අවුරුදු 400කටත් වඩා කාලයක් මෙහෙ ජීවත්වෙලා තියෙනවා," බලකොටුවේ පටුමඟක පිහිටි අත්කම් ප්‍රදර්ශනාගාරයක වෙළඳ සහායකයෙකු වන ජිතේන්ද්‍ර පුරෝහිත් කියා සිටියේ ය. "පරම්පරා කීයක් ද? ඒක මට හරියටම කියන්න දන්නේ නැහැ, ඒ වුණාට අපි දන්න එකම ගෙදර තමයි මේ කොටුව."

ගෝපා හා පුරෝහිත්ගේ වැනි කැපී පෙනෙන අන්දමේ පෙළපත් මූලයන් ජයිසල්මේර් බලකොටුව තුළ ඉතා සාමාන්‍ය ය. ඇත්තෙන්ම, වෙළඳසැල්හිමියන් ද, සිය නිවෙස ඉදිරිපිට අසුන්ගෙන සිටින්නන් ද හා සාමිචියට නැවතුණු මට නැවත නැවතත් අසන්නට ලැබුණේ එකම කතන්දරයකි: බොහෝදෙනා මෙහිම ඉපදී, මෙහිම රැකියාවක යෙදෙයි - ඇතැම්හු ජීවිකාව සරිකර ගැනීම සඳහා දශක කීපයක් තිස්සේම සිය නිවෙසේ කොටසක් වෙළඳසලක්, කැෆේ එකක් හෝ නවාතැන්පොළක්බවට හරවාගෙන සිටින්නෝ ය.

For more than 800 years, residents inside the Jaisalmer fort have catered to travellers journeying through the desert

ඡායාරූප මූලාශ්‍රය, Charukesi Ramadurai

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 800කට වැඩි කලක් තිස්සේ, ජයිසල්මේර් බලකොටුව තුළ පදිංචිකරුවන් කාන්තාරය හරහා ගමන්කරනා සංචාරකයින් සඳහා පහසුකම් සපයයි

ජයිසල්මේර් පිහිටුවනු ලැබුණේ රාවල් ජයිසල් නම් ප්‍රාදේශීය රජකෙනෙකුන් විසින් 12 වන සියවසේ දී ය. නගරය නම් ලැබුවේ එම රජුගෙනි. 16 වන සියවස හා 18 වන සියවස අතර සමයේ දී ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, තුර්කිය හා ඊජිප්තුව හරහා චීනයත්, යුරෝපයත් එකිනෙකට යාකළ සේද මාවතේ වැදගත් සංධිස්ථානයක් වූ රාජධානිය යෙහෙන් වැජඹුණි. සේද රෙදි කච්චි, අගනා මාණික්‍ය, කුළුබඩු, තේ වර්ග හා අබිංවලින් ගැල් පුරවාගෙන පෙරදිග සිට පැමිණි වෙළෙන්දෝ හා වාණිජයෝ, අහරත්, ජලයත්, රැය ගතකිරීමට සෙවණකුත් සොයා ජයිසල්මේර්හි විවෘත මැද මිදුල්වලින් යුත් කුඩා තානායම්වල නැවතීමට හුරුව උන්හ. ප්‍රාදේශීය පාලකයින් වෙළෙඳුන්ට නවාතැන් සැපයීමෙන් සමෘද්ධිය ළඟාකරගත් අතර, ධනවත් වෙළෙන්දෝ ජයිසල්මේර්හි ආරක්‍ෂිත කොටුපවුරෙන් ඇතුළතත්, පිටතත් විශාල මන්දිරයන් ('හාවේලි' නමින් හැඳින්වේ), හින්දු දේවස්ථානයන්, හා තානායම් ඉදිකළහ.

වසර සිය ගණනක් ගෙවී යෑමෙන් පසු, මෙම ප්‍රදේශය සේද මාවතේ වැදගත් නැවතුමක්යැ යි සිහිපත් කෙරුමට ඉතිරිව ඇති එකම සාධක නම් අත්හැර දැමූ ගම්මාන, සෙල්මුවා මං සලකුණු, සහ නිසරු කාන්තාර භූමිය පුරා විසිරි ගරාවැටුණු බලකොටු පමණි. එනමුදු, රන්වන් නගරයේ දඟර වැටෙමින් දිවෙන වීථි හා මුර අට්ටාලයන්ගෙන් යුත් වැලිගල් බිත්ති, එහි පිහිටි නොයෙකුත් හෝටල හා අවන්හල් වෙත අමුත්තන්ගෙන් පිරි රථයන් තවමත් ඇදගනිමින් සිටියි. වර්තමානයේ දී, කාන්තාර සුළඟත් සමග ඇදී එන්නන් ඔටුපිට නැගි වෙළෙන්දන්ගෙන් කැමරා අතින් ගත් සංචාරකයින් වෙතට මාරුවී ඇතිමුත්, නගරය තවමත් ශතවර්ෂ ගණනක් තිස්සේ පරම්පරා ගණනක නගරවාසීන් අසංඛ්‍ය සංචාරකයින්ට සංග්‍රහ කළ විස්මිත වැලිගල් බලකොටුව ලෙසම ඉතිරිව පවතියි.

අද ජයිසල්මේර් බලකොටුව පිරී පවත්නේ එකිනෙකට තදබදව පිහිටා ඇති කුඩා තේපැන්හල් හා කැෆේ, තානායම් හා නිවෙස්, දේවස්ථාන සහ විසිතුරු දෑ විකුණන කුඩා වෙළඳසැල්වලිනි. ප්‍රදේශවැසියෝ, විශේෂයෙන්ම කොටුපවුර තුළ වෙසෙන්නෝ, සංචාරකයින්ගෙන් මුදල් ඉපැයීමේ යෙදෙති. ඇතැමුන් බොජුන් කීපයකින් යුත් සරල මෙසේ තැටි සංග්‍රහ කරනා අවන්හල් පවත්වාගෙන යන අතරේ, තවත් සමහරු ඔටු සමින් තැනූ අනර්ඝ අත්බෑග විකිණීමෙහි යෙදෙති. වෙළඳසැල්හිමියෝ සිය විචිත්‍රවත් තලප්පාවන්, ගෙත්තම් කළ ටැපැස්ට්‍රි, සහ දරුඵල ඇතිකරවන්නේයැ යි කියන 'මැජික් ව්‍යාඝ්‍රා ඇඳ ඇතිරිලි' පිරික්සා බැලීමට මඟ යන එන්නන් අමතමින් කැඳවති. "බලනවට සල්ලි ගන්නෑ මැඩම්!" වෙළඳසැලට පිටතින් තැබූ ප්ලාස්ටික් පුටුවක වාඩිගෙන සිටි එක් වෙළෙන්දෙකු හඬ නගා මා ඇමතුවේ ය.

Today, 2,000 to 4,000 descendants of the castle’s earliest inhabitants continue to live inside its fortified walls, rent-free

ඡායාරූප මූලාශ්‍රය, Patanjali Somayaji

ඡායාරූප ශීර්ෂ වැකිය, අද වන විට, මාළිගාවේ මුල්ම වැසියන්ගෙන් පැවත එන්නන් 2,000 සිට 4,000 දක්වා පිරිසක් කිසිදු කුලියක් නොගෙවා එහි බලකොටු පවුරු තුළ වෙසෙයි

කෙසේ නමුත්, දිනපතා මෙහි පැමිණෙන දහස් ගණනක අමුත්තන් මධ්‍යයේ වුව, එකිනෙකා හා දැඩිව බැඳුනු සමාජයක් බලකොටුව තුළ පවතියි. ජයිසල්මේර්හි බොහෝ නිවෙස්වල පිටතින්, නුදුරු අනාගතයේ දී බලකොටුවාසීන් අතර සිදුවීමට නියමිත විවාහ මංගලෝත්සවයන් නිවේදනය කරනා ප්‍රීතිමත් සිත්තම් දක්නට හැකි ය. සාමාන්‍යයෙන්, නව ආරම්භයන්ට අධිපති දෙවියා වන හස්ති හිසක් දරනා ගණදෙවිඳුගේ රුව වැනි ශුභ ලකුණකට පහළින් මනාලයාගේත්, මනාලියගේත් නම් හා සරණ මංගල්‍යය පැවැත්වීමට නියමිත දිනය මෙම සිතුවම්හි සටහන්කොට තිබේ. ගෝපා පවසන පරිදි මෙම කුඩා, ශක්තිමත් ප්‍රජාව තුළ විධිමත් මංගල ආරාධනා පත්‍ර යැවීම අවශ්‍යතාවක් නොවේ.

"මුළු බලකොටුවම එක පවුලක්," ගෝපා පවසා සිටියේ ය. "මේකේ සීමාව පටන්ගන්නෙයි, අවසාන වෙන්නෙයි නගරෙයි අපියි වෙන් කරන අඛායි පෝල් කියන ප්‍රධාන ගේට්ටුවෙන්. මඟුලක් වුණත් මරණයක් වුණත් අපි හැමෝම ඒක සමරන්න එකට එකතු වෙනවා." පුරෝහිත් ද මෙයට හූමිටි තැබුවේ, "අවුරුදු කීපෙකට කලින් මගේ අම්මට හාට් ඇටෑක් එකක් ආපු වෙලේ, මමවත්, මගේ අයියාවත් ගෙදර හිටියේ නෑ. හැබැයි අහල පහළ ගෙවල්වල කට්ටිය අම්මව ඉස්පිරිතාලේ අරන් ගියා. මේ 'එකමුතුකම' තමයි මෙහෙ ජීවත් වෙන එකේ හොඳම දේ. ඒ වගේම, අවුරුදු සියගාණක් තිස්සේ මෙහෙ මිනිස්සු මේ විදිය යි," කියමිනි.

Many Hindu and Jain temples inside Jaisalmer have remained the same for centuries and are still popular gathering places

ඡායාරූප මූලාශ්‍රය, Charukesi Ramadurai

ඡායාරූප ශීර්ෂ වැකිය, ජයිසල්මේර්හි පිහිටි බොහෝ හින්දු සහ ජෛන කෝවිල් සියවස් ගණනාවක් පුරා එලෙසම පවතින අතර තවමත් ජනප්‍රිය රැස්වීම් ස්ථානයන් වේ

බලකොටුවට පැමිණෙන සංචාරකයන් පිළිගනු ලබන්නේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇරඹී, පබළු ඇල්ලූ අත්කම් හා ලෝහමය ආභරණ විකුණන කඩවලට මායිම්වෙමින් වංගු සදමින් දිවෙන මාවතකි. සිය යතුරුපැදි හා ත්‍රීරෝද රථවල නැගි බලකොටුවාසීන් රියනලා හඬවමින්, පාගමනින් යන්නන් සාගරයක් අතරින් පටු මාවත ඉහළට ගමන් කරයි. විහිදෙන සාය හා වර්ණවත් හැට්ටයෙන් සැරසී දීප්තිමත් දුප්පට්ටාවන්ගෙන් හිස් වසාගත් ජයිසල්මේර් කාන්තාවෝ අලුත නෙළූ කුසුමින් හා සුගන්ධවත් සුවඳ ධූපයෙන් යුත් පූජා තැටි ගෙන කොටුව තුළ වන හින්දු දේවස්ථාන කරා ඇදෙති.

කඳු ගැටයේ එක් පටුමඟක් දිවෙන්නේ දුසෙරා චෞක් (එනම් එළිමහන් වෙළඳපොළ), සහ බා රි හාවේලි වෙතට ය. වසර 450ක් පැරණි බා රි හාවේලිය, 15 වන සියවසේ සිට වර්තමානය දක්වා බලකොටුව තුළ එදිනෙදා දිවිය හා බැඳී ඇති කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇති කටුගෙයකි. අසමමිතික කාසි, පෞරාණික මාර්ග සිතියම්, වියැකී යමින් පවතින සුදු-දුඹුරුවන් ඡායාරූප, මුළුතැන්ගෙයි උපකරණ, අලංකෘත තලප්පා, සහ තවත් අතීත අවශිෂ්ටයන්ගෙන් පිරි කුඩා කාමර දුසිමක් හරහා ඇවිද යමින් සිටි මට, මෙම ඉතිහාසයෙන් කොපමණක් තවමත් මෙහි වීථිහි ජීවමානව පවතින්නේදැ යි හැඟුනි.

කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන පාට වියැකුණු තලප්පාවන්ට සමාන විචිත්‍ර වර්ණවත් නව තලප්පාවන් අදටත් බලකොටුවාසීන්ගේ හිස් මත දැකගත හැකි අතර, සාම්ප්‍රදායික මුළුතැන්ගෙවල් තවමත් පෞරාණික උපකරණවලට සම පිත්තල හා ලෝකඩ තැටිත්, තාච්චිත් ඉවුම්පිහුම් කටයුතු සඳහා යොදාගනියි. ජයිසල්මේර්හි ප්‍රාකාරයන්ට මෙපිටින් පිහිටි බොහෝ හින්දු හා ජෛන දේවස්ථානයන්හි දෛනික වතාවත් අතීතයේ සිදුවූ පරිදිම තවමත් සිදුවනවා සේම, මෙහි ප්‍රජාව හෝලි (වර්ණයන්ගේ හින්දු උත්සවය) හා දීවාලී (ආලෝක උත්සවය) සමරන්නේ ද ශතවර්ෂ ගණනකට පෙර ඒවා සැමරූ ආකාරයටමබැව් ගෝපා විස්තරකර දුන්නේ ය. අද, මෙම කෞතුකාගාරය බලකොටුවේ අභිමානවත් ඉතිහාසය පිළිබඳ සාක්ෂි දැරුව ද, එම පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම පහසු කාර්යයක් නොවීය.

"මන්දිරේටවත් කිසිම අලුත්වැඩියාවක් ලැබිලා තිබුණේ නැහැ," කෞතුකාගාරයේ කළමනාකරු රාකේෂ් ව්‍යාස් පැවසුවේ ය. මුළු දිවියම බා රි හාවේලිය තුළ ගතකර ඇති ව්‍යාස්, එහි මුල් හිමිකාරීත්වය දැරූ පවුලෙන් සෘජුවම පැවැත එන්නෙකි. ඔහු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ දීර්ඝ හා වෙහෙසකර ක්‍රියාවලියත්, කෞතුක වස්තූන් එකතු කිරීමත් පිළිබඳව විස්තර කළේ ය. "අපට ආණ්ඩුවෙන්වත්, වෙන කාගෙන්වත් කිසි උදව්වක් ලැබුණේ නැහැ," ඔහු ප්‍රකාශ කරයි.

The fortress is now a protected heritage monument and its residents are not allowed to sell their property to an outsider or alter their facades

ඡායාරූප මූලාශ්‍රය, Patanjali Somayaji

ඡායාරූප ශීර්ෂ වැකිය, බලකොටුව දැන් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් වන අතර, සිය දේපළ පිටස්තරයින්ට විකිණීමට හෝ ඒවායේ පෙනුම වෙනස්කිරීමට එහි පදිංචිකරුවන්ට අවසර නැත

ගෝපා පසුව පැහැදිලි කළ පරිදි, රජය මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් නොදැක්වීම අමුත්තක් නොවේ. මේ වන විට ආරක්‍ෂිත උරුමයක් වන බලකොටුව පවතින්නේ ප්‍රාන්ත හෝ මධ්‍යම රජයේ සෘජු පාලනය යටතේ නොව, ඉන්දියාවේ දේවස්ථාන, බලකොටු, සහ පුරාවිද්‍යාත්මක ස්මාරක ආරක්ෂාව සහ සංරක්ෂණය සඳහා වගකිව යුතු රජයේ ආයතනයක් වන ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණායතනය (ASI) යටතේ ය. තව ද, පිටස්තරයින් වෙත තම දේපළ විකිණීමට හෝ එහි පෙනුම කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට බලකොටුව තුළ පදිංචිව සිටින කිසිවෙකුට නොහැකිබව ASI විසින් නියමව ඇතත්, බලකොටුව, විශේෂයෙන්ම එහි පෞද්ගලික අවකාශයන් නඩත්තු කිරීමට අවැසි මූල්‍යාධාර ද එහි වැසියන්ට ලබා දී නැත්තේ ය.

පුරාන මන්දිර පමණක් නොවේ, සම්පූර්ණ බලකොටුවම විනාශවීමේ තර්ජනයට අද්දරට පැමිණ සිටියි. මෘදු අවසාදිත පාෂාණ ස්ථරයක් මත ගොඩනගා ඇති බලකොටුවේ ඉතා පැරණි ජලාපවාහන පද්ධතිය එහි පාදම වෙත සෘජුව, නොනැවත කාන්දු වෙමින් පවතින්නේ වසර ගණනාවක සිට ය. බලකොටුව තුළ නියාමනයකින් තොරව සිදුකර ඇති ගොඩනැගීම් හා අලුත්වැඩියා කටයුතු නිසා (පැරණි වැලිගල් බිත්තිවල බොහෝ කොටස් කඩා වැටී ඇතිබව මින් අදහස් වේ) තත්ත්වය වඩාත් අයහපත් අතට හැරී තිබේ. මේ විභූතිමත් බලකොටුව ශතවර්ෂ අටක් තිස්සේ අවුවැසිවලටත්, ආක්‍රමණික හමුදාවන්ගේ ප්‍රහාරයන්ටත් බොහෝ වරක් සාර්ථකව මුහුණදී ඇතත්, එහි අනාගතය අවිනිශ්චිත ය.

ගෝපා කල්පනාකාරීව පැවැසූ පරිදි, "ඇත්තෙන්ම අපි හුඟදෙනෙක්ගේ ජීවිතේ එක එක විදියට වෙනස්වීගෙන යනවා, ඒ වුණාට අපේ බලාපොරොත්තුව තමයි, අපේ මුතුන්මිත්තෝ කළා වගේම, අපේ ළමයින්ට යි, ළමයින්ගේ ළමයින්ටයිත් මේ බලකොටුව ඇතුළෙම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න කියන එක."