ඉන්දියාවේ 'ඇටසැකිලි විලේ' නොවිසඳුණු අභිරහස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිමාලයේ ඉන්දියාවට අයත් කඳුකරයේ ඉහළක පිහිටි හිමෙන් වැසුණු මිටියාවතක හුදෙකලා විලක් වෙයි. මෙය සිය ගණනක් වූ මිනිස් ඇටසැකිලි විසිරී තිබේ.
රූප්කුන්ධ් විල පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 5,029ක් (අඩි 16 500ක්) ඉහළින්, ත්‍රිශුල් කන්දේ දුෂ්කර බෑවුමක පතුලට වන්නට ය. ඉන්දියාවේ උසම කඳුවලින් එකක් වන ත්‍රිශූල්, උත්තර්ඛන්ඩ් ප්‍රාන්තයේ පිහිටා ඇත.
මේ විල අවටත්, එහි අයිස් ස්ථරයට යටිනුත් මිනිස් ඇටසැකිලි විසිරී පවතින අතර, මෙය සොයාගනු ලැබුණේ 1942 වසරේ දී මේ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍ය රජයේ වන නිලධාරියෙකු විසිනි.
වසරේ වැඩි කලක් මිදී පවතින රූප්කුන්ධ් විල සෘතු හා දේශගුණ වෙනස්වීම් මත හිඳෙයි, පිරෙයි. ඇටසැකිලි පිටතට පෙනෙන්නට පටන්ගන්නේ හිම දියවුණු විට පමණි. ඉන් ඇතැම්වායේ අස්ථීන්හි මාංශය ද ඉතිරි වී ඇති අතර හොඳින් සංරක්ෂණය වී තිබේ. අද වන විට පුද්ගලයින් 600 - 800 අතර සංඛ්‍යාවක අස්ථි අවශේෂ මෙතැනින් හමුවී ඇත.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය රජය මෙම විල "අභිරහස් විල" ලෙස හඳුන්වයි.
රූප්කුන්ධ් අවට ප්‍රදේශය හරහා විනෝදාස්වාදය සඳහා කඳු තරණය කරන්නන්ගේ මාර්ග කිහිපයක් වැටී තිබේ. මේවා තරණය කරන්නට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ද මෙහි පැමිණෙයි.
මෙයින් 'රූප්කුන්ධ්' කඳු මාර්ගය වැටී ඇත්තේ ආසන්නතම මිනිස් ජනාවාසයෙන් දින පහක දුරකට ය. සතියක් දිගු මෙම ගමන, පාරම්පරික නිවාස ගොමුවලින් සැදුණු ශාන්ත හිමාලයානු ගම්මානවලින් කිලෝමීටර 50කට වැඩි දුරක් ඇදී යයි.
දෙව්ලොව සිරි ගෙනෙන මීදුමත්, පාසිවලින් වැසුණු ඕක් වනාන්තරත් අතරින් වැටී ඇති මාර්ගය ගමන් කරන්නේ, ප්‍රාදේශීය භාෂාවෙන් "බග්යාල්" යනුවෙන් හැඳින්වෙන, වනමලින් පිරුණු මහා ඇල්පයින් තණතලාවක් හරහා ය.
ඔබට බග්යාල් එකක් දැකගත හැකි වන්නේ හිමාලයේ, මීටර 3,300කට වඩා උස් භූමිවල දී පමණි. ඉක්මනින්ම උස් හිමාල කඳු මුදුන් දර්ශන පථයට පැමිණෙන අතර ඉදිරි දින දෙක පුරා ක්ෂිතිජයේ ආධිපත්‍යය දරයි. මේ කඳු මාර්ගයේ උසම ස්ථානය වන්නේ මීටර් 5,000ක් උස ජූනර්ගාලි හෙල් වැටිය යි. ඉහළ හිමාලයේත්, රළුව විහිදුණු ග්ලැසියර භූමියේත් අංශක 360ක දර්ශනයක්, පිහි දාරයක් මෙන් තියුණු මෙම හෙල් වැටියේ සිට දැකගත හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රූප්කුන්ධ් පිහිටන්නේ මේ වැටියට මීටර 200ක් පහතිනි. ජුනර්ගාලි වෙත වැටී ඇති අනතුරු සහිත, දුෂ්කර බෑවුම් නැග්ම කඳු නගින්නන් අතර ඇති විහිළුවකට ද පාදක වී ඇත. "එක් වැරදි අඩියකින් විලේ ඇති ඇටකටු ගොඩට තවත් ඇටකටු පහසුවෙන්ම එකතු කිරීමට හැකියැ"යි ඔවුහු එකිනෙකාට විසුළු කරති.
අඩසියවසකට වැඩි කලක් තිස්සේ විද්‍යාඥයෝ සහ මානවවිද්‍යාඥයෝ රූප්කුන්ධ්හි මානව අවශේෂයන් අධ්‍යයනයකර ඇති අතර, එහිදී මතුවූ ගැටලු රැසක් ඉදිරියේ ව්‍යාකූලව සිටිති.
මේ ඇටසැකිලි කාගේ ද? ඒවා දැරූ පුද්ගලයින් මියගියේ කවදා ද? කෙසේ ද? ඔවුන් පැමිණියේ කොහි සිට ද?
වසර 870කට පමණ පෙර හිම කුණාටුවකට හසුව සිය බිසව හා සේවක සේවිකාවන් ද සමග වැනසී ගිය ඉන්දියානු රජෙකු පිළිබඳව ප්‍රාදේශීය ජනප්‍රවාදයන්හි කියැවෙයි.
නන්දා දේවී දේවතාවිය වන්දනාව පිණිස අසලක පිහිටි දෙවොලකට යමින් සිටි ඔවුන්ගේ අයෝග්‍ය, උත්සවාකාරී හැසිරීමෙන් දේවතාවිය කෝපයට පත්බවත්, ඇගේ උදහසට රජුත්, බිසවත්, ඔවුන්ගේ උපස්ථායකයිනුත් ලක්වූබවත් ජනප්‍රවාදයන්හි සඳහන් ය.
නන්දා දේවී දේවතාවිය ඇති කළ "යකඩ මෙන් දැඩි" හිම කුණාටුවක් නිසා විල පසුකර යන මිනිසුන් පිරිසක් මරණයට පත්වූ අයුරු කියැවෙන ගැමි ගීයක් මෙම ප්‍රදේශයේ ගම්වල ප්‍රචලිතව තිබේ. ඉන්දියාවේ දෙවැනියට උසම කන්ද වන නන්දා දේවී, දේවතාවියක වශයෙන් ද පිදුම් ලබයි.
තවත් කල්පිතයකින් යෝජනා කෙරුණේ, මේ, 1841 දී ටිබෙටය ආක්‍රමණය කරන්නට උත්සාහකර පරාජයට පත්වූ ඉන්දීය සෙබලුන්ගේ අවශේෂයන්බව යි.
ඔවුන්ගෙන් 70කට වැඩි පිරිසකට හිමාලය හරහා පා ගමනින් ඉන්දියාවට යන්නට බල කෙරුණු අතර, ගමන අතරමඟ දී ඔවුන් ජීවිතක්‍ෂයට පත්විය.
නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ මේ භූමිය වසංගතයකින් මරණයට පත්වූවන්ගේ සිරුරු භූමදානය කළ "සොහොන් බිමක්" බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Alamy
2004 වසරේ දී සිදුකළ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයකින් පසු, මෙහි සිටින්නේ වන්දනා ගමනක නිරත වූ වන්දනා නඩයක්යැ යි මතයක් ඉදිරිපත් විය. නව වන ශතවර්ෂයේ දී, ප්‍රාදේශීය කුලීකරුවන්ගේ ද සහාය ඇතිව වන්දනා ගමනක යෙදෙමින් සිටි පුරුෂයින් සහ කාන්තාවන්ගෙන් සැදුම්ලත් නඩය, රූප්කුන්ධ් විල අසල දී මහා හිම කුණාටුවකට හසුවන්නට ඇතිබව එහි වූ හිස්කබල් මත මරණයට පෙර ඇතිව තිබූ තුවාලවලින් තීන්දු කෙරුණි.
මෙම නඩය, දොළොස් වසකට වරක් පවත්වනු ලබන, අද දක්වාම පිළිපැදෙන පුරාණ සම්ප්‍රදායක් වන "නන්දා දේවී රාජ් ජට් යාත්‍රා" නම් පූජනීය හින්දු වන්දනා ගමනේ යෙදෙන්නට ඇතැ යි සැලකේ. රූප්කුන්ධ් පිහිටා තිබෙන්නේ මෙම දුෂ්කර පාගමනේ අවසාන ගමනාන්තය වන හෝම්කුන්ධ් වෙත යන මාර්ගයේ ය.
ඇටසැකිලි පිළිබඳව සිදුකළ මුල් අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ මියගොස් සිටින බොහෝ පුද්ගලයින් "සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා" උසබව යි. ඔවුන්ගෙන් බොහෝ දෙනා වයස අවු. 30 - 40 අතරේ පසුවූ, මැදිවියේ වැඩිහිටියන් විය. ඔවුන් අතර අතදරුවන් හෝ කුඩා දරුවන් නොවීය. ඔවුන්ගෙන් ඇතැමෙක් වයස්ගත කාන්තාවන් ය. ඔවුන් සියල්ලෝම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවී තිබුණි.
මෙම ඇටසැකිලි සියල්ලම නව වැනි සියවසේ සිදුවූ එක් ව්‍යසනකාරී සිදුවීමකින් එකවර මියගිය එක් සමූහයකගේ බවට මෙහිදී උපකල්පනය කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පූනේහි ඩෙකෑන් කොලේජ් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා මහාචාර්යවරියක වන වීනා මුශ්‍රිෆ්-ත්‍රිපති 2004 වසරේ දී සිදුකෙරුණු විමර්ශනයට හවුල් වූ තැනැත්තියකි. විමර්ශන කණ්ඩායම 'වන්දනා නඩ කල්පිතය' වඩාත් සත්‍යරූපීයැ යි තීරණයකට පැමිණියේ, එම භූමියෙන් ආයුධ කිසිවක් හමු නොවීම මඟින් මෙම පිරිස සොල්දාදුවන් නොවනබවත්, මරණයට හේතුව ප්‍රහාරයක් නොවනබවත් පෙන්නුම් කිරීම නිසාවෙන්යැ යි ඇය සිහිපත් කරයි.
ඔවුනට සංගීත භාණ්ඩවල ශේෂයන් හමුවූ අතර, නන්දා දේවී ජට් යාත්‍රා පාගමනේ යෙදෙන වන්දනා නඩයන් සම්බන්ධ ජනකතා ද ඔවුන් අසා තිබුණි.
මෙම ඇටසැකිලි අයත් වන්නේ පුළුල් වයස් පරාසයකට අයත් පිරිමි-කාන්තා කණ්ඩායමකට බැව් DNA විශ්ලේෂණයෙන් හෙළි වූ අතර, එමඟින් මෙම උපකල්පනය තවදුරටත් ශක්තිමත් වූබව මුශ්‍රිෆ්-ත්‍රිපති කීවා ය.
කෙසේ නමුත්, ඉන්දියාව, එක්සත් ජනපදය, සහ ජර්මනිය පදනම් කරගත් අධ්‍යාපන හා විශේෂඥ ආයතන 16ක සේවය කරන සමකතුවරුන් 28 දෙනෙකු සම්බන්ධ වී සිදුකළ නවතම පස් අවුරුදු අධ්‍යයනයකින් සොයාගන්නා ලද්දේ මෙම උපකල්පනයන් සියල්ල සත්‍ය විය නොහැකිබව යි.
විද්‍යාඥයෝ කාන්තා ඇටසැකිලි පහළොවක් ඇතුළු විලෙන් සොයාගත් සිරුරු 38ක ශේෂයන් ජාන විශ්ලේෂණයටත්, කාබන් කාල නීර්ණයටත් ලක් කළෝ ය. එහිදී සොයාගැනුනේ ඒවායින් ඇතැම්වා වසර 1,200ක් පමණ පැරණිබව යි.
මරණයට පත්වූවන් ජානමය වශයෙන් විවිධ වන අතර, ඇතැමුන්ගේ මරණයන් අතර වසර 1 000ක පමණ පරතරයක් ඇතැ යි ද ඔවුහු සොයාගත්හ.
"මේ සොයාගැනීම ඔවුන්ගේ මරණයට කුමක් හෝ ව්‍යසනකාරී සිදුවීමක් මුල් වුණා කියන ඕනෑම පැහැදිලි කිරීමක් උඩුයටිකුරු කරනවා," මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් ඒදීන් හාර්නි පැවසුවා ය.
"රූප්කුන්ධ් විලේ දී සිද්ධ වුණේ මොකද්ද කියන එක තවමත් පැහැදිලි නැතත්, මේ පිරිසගේ මරණයට හේතු වුණේ තනි සිද්ධියක් කියලා පැහැදිලි කරන්න බැරිබව අපට දැන් නිශ්චිතවම කියන්න පුළුවන්."
නමුත් වඩාත් සිත් ඇදගන්නා කරුණ වන්නේ මියගිය අය විවිධ වර්ගයන්ට අයත් පුද්ගලයින්ගෙන් සමන්විතබව ජාන අධ්‍යයනයෙන් හෙළිවීම යි: එක් පුද්ගල කණ්ඩායමක ජාන වර්තමානයේ දකුණු ආසියාවේ ජීවත් වන්නන්ගේ ජානවලට සමාන වූ අතර, අනෙක් පුද්ගලයින් වර්තමාන යුරෝපයේ - විශේෂයෙන්ම ක්‍රීට් නම් ග්‍රීක දූපතේ - වෙසෙන්නන්ට ජානමය වශයෙන් "ළඟ ඥාතින්" විය.
එසේම, දකුණු ආසියාවෙන් පැමිණි පිරිස ද "එකම ජනකොට්ටාසයකින් පැවතෙන්නන් නොවනබව පෙනෙන්නට තිබුණි."
"ඔවුන්ගෙන් සමහරක් අය, [ඉන්දියානු] උපමහද්වීපයේ උතුරේ ජීවත් වෙන ජන කණ්ඩායම්වලට වාර්ගික වශයෙන් වඩාත් සමානකම් පෙන්නනවා. අනිත් අය උපමහද්වීපයේ දකුණු ප්‍රදේශවල ජීවත් වෙන ජන කණ්ඩායම්වලට වඩාත් සමාන යි," ආචාර්ය හාර්නි පවසයි.
එසේ නම්, මේ විවිධ ජන කණ්ඩායම් වසර සිය ගණනක කාලයක් තුළ දී කුඩා කණ්ඩායම් වශයෙන් විල වෙතට ගමන් කළා ද? ඔවුන්ගෙන් සමහරෙක් මියගියේ එක් සිදුවීමක් අතරතුර ද?
විල අවට භූමියෙන් අවි ආයුධ හෝ වෙළඳ භාණ්ඩ හමුවී නැත. විල පිහිටා තිබෙන්නේ වෙළඳ මාර්ගයක නොවේ. මරණයන්ට හේතුව රෝගයක් වැළඳීම වශයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන අන්දමේ පැරණි බැක්ටීරියා රෝගකාරකයක කිසිදු සාධකයක් ජානමය අධ්‍යයනයන්හි දී හමුවූයේ නැත.
විල අසලින් වන්දනා මාර්ගයක් වැටී තිබීම මඟින් මිනිසුන් එම ප්‍රදේශයේ ගමන් කළේ මන්දැ යි පැහැදිලි කළ හැකි වේ. ප්‍රදේශය හරහා සිදුවූ වන්දනා ගමන් පිළිබඳ විශ්වාසදායක වාර්තා 19 වැනි සියවසේ අගභාගය වනතුරු දක්නට නොලැබුණත්, ඒවා "ඈත අතීතයේ සිදුවන්නට ඇතිබව යෝජනා කෙරෙන" අන්දමේ, 8 වැනි සහ 10 වැනි සියවස් අතර කාලසීමාවට අයත් ශිලාලිපි ප්‍රාදේශීය කෝවිල්වලින් සොයාගැනීමට අධ්‍යයනයට හැකි විය.
එනිසා, විලෙහි ඇති ඇතැම් මළ සිරුරුවලට හේතුව වන්නේ "වන්දනා ගමනක් අතරතුර දී සිදුවූ සමූල මරණයක්යැ"යි විද්‍යාඥයින් විශ්වාස කරයි.
නමුත්, නැගෙනහිර මධ්‍යධරණී භූමියකින් පැමිණි මිනිසුන් ඉන්දියාවේ උසම කඳුකරයේ හුදෙකලා විලකට පැමිණියේ කෙසේ ද?
හින්දු වන්දනා ගමනකට සහභාගී වීම සඳහා යුරෝපයේ සිටි මිනිසුන් රූප්කුන්ධ් වෙත ගමන් කරනු ඇතැ යි සිතිය නොහැකි ය.
එසේත් නැතිනම්, මේ ඈත නැගෙනහිර මධ්‍යධරණී බිමකින් පැමිණ, ජානමය වශයෙන් මිශ්‍ර නොවී පරම්පරා ගණනාවක් තිස්සේ මෙම කලාපයේ ජීවත් වූ ජන පිරිසක් ද?
"අපි තවමත් පිළිතුරු හොයනවා," ආචාර්ය හාර්නි පැවසුවා ය.
"හිම කුණාටුවකින් සිදුවූ තුවාල සහිත හිස්කබල් හය හතක් විතරයි හම්බවෙලා තියෙන්නේ,"යි 2019 අධ්‍යයනයේ ද කොටස්කාරියක හා ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවේ සමකතුවරියක ද වන මුශ්‍රිෆ්-ත්‍රිපති කියයි. "මම නම් කියන්නේ, මේ අභිරහස තවමත් විසඳිලා නැහැ. අපට උත්තරවලට වඩා ප්‍රශ්න යි ලැබිලා තියෙන්නේ."
විල සහිත භූමියට නිතර ජනයා යන එන අතර, එය සංරක්ෂණය කිරීමක් සිදුවී නැත. වසර ගණනාවක් පුරාවට කඳු නගින්නන් මෙහි ඇටසැකිලි අවුස්සා ඇතිවා පමණක් නොව සිහිවටන ලෙස නිවස්වලට පවා ගෙනගොස් තිබේ.
මෙනිසා අනාගතයේ දී විද්‍යාව කෙසේ දියුණුව වුවත් මේ අභිරහසට නිවැරදි පිළිතුරක් සෙවීම අභියෝගයක්බවට පත්වනු ඇත.
2019 වර්ෂයේ අධ්‍යයනය විසින් ලබාදුන් විෂම අවබෝධය නිසා පැහැදිලි ලෙසම හාහෝවක් ඇතිවිය. නමුත් වඩාත් වැදගත් කරුණ නම්, සිරුරු සියගණනකින් ගත් සාම්පල 38ක් පමණක් විශ්ලේෂණය කිරීමෙන් එවැනි කලබලයක් ඇතිවූයේ නම්, මේ මිදුණු සොහොනෙහි තවත් කෙබඳු නම් විස්මයන් වැළලී තිබෙනවා විය හැකි ද?
අපි මේ ගැටලුවලින් වික්ෂිප්තව, හිස කසමින් කල්පනා කරනා අතරේ, විලේ ඇටසැකිලි දිගින් දිගටම අවුස්සා දමමින් පවතියි. රූප්කුන්ධ්හි මියගියවුන්ගේ අභිරහස තවමත් විසඳී නැත.










