ඊජිප්තුව: වසර තුන්දහසක් පැරණි ඉතිහාසය ගොඩ ගැනීමක්;වැල්ලේ යට වූ 'රන් පුරය'' ගොඩ ගනියි

A new archaeological discovery is seen in Luxor, Egypt

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම රන් පුරවරය සොයාගනු ලැබ තිබෙන්නේ ඊජිප්තුවේ සුප්‍රකට ස්මාරක පිහිටි ප්‍රදේශයකිනි

කාලාන්තරයක් වැලිකන්දකින් වැසීගොස් තිබූ වසර තුන්දහසක් තරම් පැරණි යැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති ඊජිප්තු නගරයක නටබුන් යළිත් මතුකර ගැනීමට හැකිවීම අති වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණයක් ලෙස අගයකරනු ලැබෙමින් ඇත.

එම නටබුන් නගරය මතුකර ගැනීම 'ටුටන්කාමුන්ගේ' සොහොන්ගැබ සොයාගනු ලැබීම තරම් වැදගත් පියවරක් ලෙස හඳුන්වනු ලැබෙයි.

ලුක්සෝර් (Luxor) අසල ස්ථානයකින් සොයාගන්නා ලද ''අහිමි රන් පුරවරය''("lost golden city") පිළිබඳ පුවත අනාවරණය කරන ලද්දේ ඊජිප්තුව පිළිබඳ කීර්තිධර පුරාවිද්‍යාඥයකු වන ෂහි හවාස් (Zahi Hawass) විසිනි.

'ඇතෙන්' (Aten) යනුවෙන් දැක්වෙන එම පෞරාණික නගරය මෙතෙක් සොයාගන්නා ලද විශාලතම නගරය වන බව ෂහි හවාස් (Zahi Hawass) පවසයි.

එම ස්ථානයේ කැණීම් ආරම්භකරනු ලැබ තිබෙන්නේ 2020 සැප්තැම්බර් මාසයේය. එම කැණීම් ආරම්භකිරීමෙන් සුමාන කීපයකට පසු නගරයේ නටබුන් දැකගැනීමට ලැබී ඇත.

මෙම නගරය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1391-1353 අතර කාලය තුළ බලයේ සිටි ඊජිප්තු දේශයේ බලවත්ම පාරාවෝ වරයකු වූ තුන්වෙනි ආමෙන්හෝටෙප් (Amenhotep III) රාජ්‍ය සමය තෙක් දිවයයි.

'අයි'(Ay) සහ 'ටූටන්කාමුන්'(Tutankhamun) පාරාවෝවරුන් විසින් දිගටම ඔවුන්ගේ පාලන සමයන්හි උපයෝගී කරගනු ලැබ ඇති මෙම නගරය පිහිටා තිබෙන්නේ 'රජුන්ගේ නිම්නය'(alley of the Kings) ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හාවර්ඩ් කාටර් (Howard Carter) විසින් 1922 දී සොයාගන්නා ලද එකී පාරාවෝවරුන්ගේ එකට පිහිටි සොහොන් ගැබට ආසන්න කලාපයකිනි.

''ඉහත කී 'අහිමි රන් පුරවරය'සොයාගනු ලැබීම 'ටූටන්කාමුන්'(Tutankhamun) සොහොන්ගැබ සොයාගනු ලැබීමෙන් අනතුරුව ලද දෙවෙනි වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණය'' බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙස්ටි බ්‍රයන් (Betsy Brian)පවසයි.

''ඊජිප්තු අධිරාජ්‍යයේ ධනවත්ම අවධියේ එහි නිවැසි පෞරාණික ප්‍රජාව විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ දර්ශනයක්, මතුකරගන්නා ලද නගරයේ දර්ශන තුළින් පෙන්නුම් කෙරෙන බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

A new archaeological discovery is seen in Egypt

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නගරයේ නිවැසියන් විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පෙන්නුම් කෙරෙන කලාකෘතීන් හමුවී ඇත
A wide shot of an ancient city found near Luxor in Egypt

ඡායාරූප මූලාශ්‍රය, Dr Zahi Hawass on Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරාණ ඊජිප්තුවේ බලවත්ම පාලකයකුව සිටි 'තුන්වෙනි ආමෙන්හෝටෙප්' මෙම නගරය නිර්මාණය කරන්නට ඇතැයි අදහස් කෙරෙයි

වසර තුන්දාහක් පැරණි ''රන් පුරවරය'' සොයා කැණීම් කටයුතුවල නිරතවෙමින් සිටි ගවේෂකයන්ට රන් පළඳනා, වර්ණ ගන්වන ලද මැටියෙන් කළ නිර්මාණ, ආරක්‍ෂාව පතා නිමවන ලද කුරුමිණියන් වැනි නිමැවුම් සහ තුන්වෙනි ආමෙන්හොටේප් පාරාවෝගේ නිල ලාංඡනය තැබූ මැටි ගඩොල් ආදිය හමුවී ඇත

පුරාවිද්‍යා ගවේෂකයන් අදාළ කැණීම් ආරම්භකර තිබෙන්නේ ඊජිප්තුවේ 'කයිරෝ' අගනුවරින් කිලෝමීටර් පන්සීයක් (සැතපුම් 300) පමණ ඈතින් පහිටි 'රජුන්ගේ නිම්නය' ආසන්නයේ පිහිටි 'ලුක්ෂෝර්'නගරයේ (Luxor) බටහිර ඉවුරේය.

''කැණීම් ආරම්භකර සති කීපයක් ඇතුළත අපේ කණ්ඩායම විශ්මයට පත්කරමින් හැම දිශාවකින්ම මැටියෙන් තැනූ ගඩොල් හමුවෙන්න පටන්ගත්තා'' ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය ෂහි හවාස් (Zahi Hawass) ප්‍රකාශ කළේය.

''ඉතා හොඳ සුරක්‍ෂිත තත්ත්වයක තිබුණ විශාල නගරයක කොටසක් ගවේෂකයන් විසින් මතුකර ගනු ලැබුණා. ඒ නගරයේ ගොඩනැගිලිවල බිත්ති ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කිට්ටු මට්මක තියෙනවා. ගොඩනැගිලිවල කාමර මිනිසුන්ගේ දෛනික උවමනා සඳහා යොදාගනු ලබන බඩු භාණ්ඩවලින් පිරිලා තිබුණා''

Dr Hawass looking at the sarcophagus of Tutankhamun

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටුටන්කාමුන්ගේ සිරුර තැන්පත් කරන ලද පාෂාණමය මංජුසාව ආචාර්ය හවාස් විසින් නිරීක්‍ෂණය කරන ලද අවස්ථාවක්.ඔහු ඊජිප්තුවේ පෞරාණික වස්තූන් භාරව කටයුතු කළ ඇමතිවරයෙකි

කැණීම් ආරම්භ කරනු ලැබ දැනට මාස හතක කාලයක් ඉකුත්ව ඇත. එම කාලය තුළ පාදා ගැනීමට සමත්වූ දේවල් අතර බේකරියක්, පරිපාලන කලාපයක් සහ මහජන නිවාස පිහිටා තිබුණ භූමියක් ද ඇතුළත්වෙයි.

''විදේශීය ගවේෂණ කීපයක් මගින් මෙම පුරය සොයා කැණීම් සිදු කළත් එම අවස්ථාවල යමක් පාදා ගැනීමට නොහැකි වුණා.'' ආචාර්ය හවාස් පවසයි.

ඊජිප්තුවේ පෞරාණික උරුමයන් භාරව සිටි හිටපු ඇමති ආචාර්ය හවාස් පවසන්නේ තම කණ්ඩායමේ තවත් පුරාවිද්‍යාත්මක ගවේෂණ පෙරට යමින් පවතින බවය.

''සම්පත්වලින් පිරුණ මෙතෙක් අත නොගැසූ සොහොන්ගැබ කීපයක් මතුකර ගැනීමේ අපේක්‍ෂාවක් පවතිනවා''

A picture of a scarab beetle amulet found near Luxor

ඡායාරූප මූලාශ්‍රය, Zahi Hawass on Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරාවිද්‍යාඥයන් විසින් පැරණි ඊජිප්තුවාසීන් විසින් ආරක්‍ෂාව පතා භාවිත කරන ලද යන්ත්‍ර සහ කුරුමිණි නිමැවුම් සොයාගනු ලැබ ඇත
Archaeological discoveries are seen in Luxor, Egypt

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අක්‍ෂර සටහන් ඇතුළත් මෙවැනි මැටි භාණ්ඩ එම නගරය අයත් කාලය තීරණය කිරීමට උපකාර විය.

මෑත ඉතිහාසයේ දිගින්දිගට පැවති දේශපාලන වියවුල් සහ පසුගියදා මුහුණදීමට සිදුවූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑමට ලක්වූ රටේ සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමට මෙම පුරාතන ඓතිහාසික උරුමය උපයෝගී කරගැනීම ඊජිප්තුවේ අපේක්ෂාව වී ඇත.

පසුගිය සතියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී සුවිශේෂී දර්ශනයක් දැක ගැනීමට ලැබුණි. එනම් ඔවුන්ගේ පුරාතන පාලකයන්ගේ සිරුරු රැගත් ඓතිහාසික පෙරහැරක් කයිරෝ නගරයේ වීදි ඔස්සේ ගමන් ගැනීමය.

නව සම්භාව්‍ය ඊජිප්තු කෞතුකාගාරයෙන් ආරම්භ වූ එම පෙරහැර අලුතින් ඉදිකරන ලද ජාතික කෞතුකාගාරය කරා ගමන් ගත්තේය. කිලෝමීටර් පහක දුරක් ගමන්ගත් පෙරහැරේ පෞරාණික රජවරුන් දහඅට දෙනකුගේ සහ රැජිනියන් හතරදෙනකුගේ මමී (mummies) ගෙනයනු ලැබුණි.

තවත් පැරණි පාලකයන්ගේ සිරුරු සමඟ තුන්වෙනි ආමෙන්හෝටෙප් රජතුමාගේ සහ එම රජුගේ බිසව වූ 'ටියේ'( Tiye )රැජිනගේ දේහයත් ඔවුන්ගේ අවසන් සැතපෙන ස්ථානය කරා එම පෙරහැර මගින් ගෙනයනු ලැබුණි.

කියවන්න;