වසර 400 ක් පැරණි නැවක සුන්බුන් පෘතුගාලයෙන් මතුවෙයි

REUTERS/CASCAIS CITY HALL

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CASCAIS CITY HALL

වසර 400 ක් පමණ අතීතයේ මුහුදුබත් වූ නෞකාවක නටබුන් සොයා ගැනීමට පෘතුගාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. එම පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකු මෙය හඳුන්වා දී ඇත්තේ, "දශකයේ සොයා ගැනීම" ලෙස ය.

මෙම නෞකාවේ නටබුන් සොයා ගෙන ඇත්තේ, පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නගරයට නුදුරින් පිහිටි කැශ්කයිස්හි (Cascais) වෙරළාසන්න මුහුදු ප්‍රදේශයකිනි.

මෙහි විශේෂත්වය වන්නේ, පෘතුගාලයේ යුද ලාංඡනය සහිත එම නෞකාව තුළ තිබී කුළුබඩු සහිත භාජන, පිඟන් භාණ්ඩ සහ තවත් උපකරණ රැසක් හමුවීමය.

1575 - 1625 අතර කාලයේ ඉන්දියාවේ සිට යාත්‍රා කරමින් තිබියදී එම නෞකාව මුහුදුබත් වී ඇතැයි අදාළ පුරාවිද්‍යාඥ කණ්ඩායම අනුමාන කරති.

පෘතුගාලය, එම කාලපරිච්ඡේදයෙදී ආසියානු රටවල් සමග කුළුබඩු වෙළෙඳාම වැඩි වශයෙන් සිදු කළේය.

REUTERS/CASCAIS CITY HALL

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CASCAIS CITY HALL

'දශකයේ සොයා ගැනීම'

නෞකාවේ නටබුන් සුරක්ෂිතව පැවති බව මෙම පුරාවිද්‍යා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ජෝර්ජ් ෆ්‍රියරේ (Jorge Freire) රොයිටර් පුවත් සේවයට පැවසුවේය.

"පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් සැලකුවහොත් මෙය දශකයේ සොයා ගැනීම වශයෙන් හැඳින්විය හැකියි," ඔහු සඳහන් කළේ, පෘතුගාලය වෙනුවෙන් "ඉතිහාසය පුරාවට සිදුවූ වැදගත් ම සොයා ගැනීම," මෙය බවය.

REUTERS/CASCAIS CITY HALL

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CASCAIS CITY HALL

වැදගත් සාධක රැසක්

16 වන සහ 17 වන සියවස්වලදී භාවිත වූ චීන පිඟන් භාණ්ඩ කිහිපයක් ද එම නෞකාවේ තිබී හමුවී ඇති අතර, ලෝකඩ කාලතුවක්කු කොටස්, මුහුදු බෙල්ලන්ගේ කටු සහ වහල් වෙළෙඳාම සඳහා භාවිත කෙරුණු කාසියක් ද, නෞකාවේ තිබී සොයාගෙන තිබේ.

කැස්කයිස් නගරාධිපති පැවසුවේ, ටෙගස් (Tagus) නදිය පිරිසිදු කිරීම් කරන අතරතුර මෙම නෞකාවේ නටබුන් හමුවූ බව ය.

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නටබුන්වලින් පිරුණු තැනක්

මෙම සොයා ගැනීම සහ පර්යේෂණ කටයුතු කැස්කයිස් නගරය ආශ්‍රිතව සිදු කෙරෙන දස අවුරුදු පුරාවිද්‍යා ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර ඊට පෘතුගාල රජය, එරට නාවික හමුදාව සහ ලිස්බන්හි නෝවා විශ්වවිද්‍යාලය ද දායක විය.

මේ පිළිබඳ අදහස් පළ කරමින් පෘතුගාලයේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලූවීස් මෙන්ඩෙස් (Luis Mendes) සඳහන් කළේ, ටේගස් නදිය නටබුන්වලින් පිරුණු තැනක් බව ය.

"මේ සොයා ගැනීමෙන් එය තහවුරු වුණා" ඔහු පැවසීය.

සබැඳි පුවත්: