ඉරානයේ බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අවසන් ෂා රජුගේ පුත් රෙසා පහ්ලවී යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, බීබීසී පර්සියානු සේවය
රට පුරා පැතිර ගිය විරෝධතා රැල්ලෙන් අනතුරුව, පිටුවහල් කරන ලද, ඉරානයේ අවසන් ෂා රජුගේ පුත්‍රයා වන රෙසා පහ්ලවී, බ්‍රහස්පතින්දා මහා පරිමාණයේ විරෝධතාවක් සඳහා රැස්වන ලෙස එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
1979 ඉස්ලාමීය විප්ලවයේදී රටින් නෙරපා හරින ලද ෂා රජුගේ වැඩිමහල් පුත්‍රයා සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෑත කාලීන විරෝධතා සඳහා ජනයාගේ සහභාගිත්වය "පෙර නොවූ විරූ" වූ බවයි. එමෙන් ම, "පාලන තන්ත්‍රය දැඩි ලෙස බියට පත් වී ඇති අතර විරෝධතා නැවැත්වීමට නැවත වරක් අන්තර්ජාල සබඳතා කපා හැරීමට උත්සහ කරමින් සිටින" බවට වාර්තා ලැබී ඇති බව ද ඔහු පැවසුවේ ය.
එසේ නම්, තම රටේ අනාගතය හැඩගස්වීමේ වගකීම භාර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන මේ, ඔටුන්න හිමි කුමාරයා පිළිබඳ අප දන්නා තොරතුරු මොනවා ද?
ඉරානයේ මයුර රාජාසනයේ වගකීම උරමත තබා ගෙන උපත ලද දා සිට ම හැදී වැඩුණු රෙසා පහ්ලවී 1979 ඉරාන විප්ලවයේදී තම පියාගේ රාජාණ්ඩුව පෙරළා දමන අවස්ථාවේ එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා නියමු පුහුණුවක් ලබමින් සිටියේ ය.
වරෙක බටහිර මිත්‍ර රටවල සහය ලද තම පියා වන මොහම්මද් රෙසා ෂා පහ්ලවී වෙනත් රටක රැකවරණය පතා අරගල කළ ආකාරය සහ අවසානයේ පිළිකාවක් වැළඳී ඊජිප්තුවේදී මිය යන ආකාරය ඔහු දුරු රටක සිට බලා සිටියේ ය.
හිටිහැටියේ බලය අහිමි වූ මෙම තරුණ ඔටුන්න හිමි කුමරු සහ ඔහුගේ පවුලට ජීවත් වීමට රාජ්‍යයක් නොමැති තත්ත්වයකට පත්වූ අතර රජ පවුලට හිතැති සුළු පිරිසකගේ සහය මත රටින් පිටුවහල්ව ජීවත්වීමට සිදුවූහ.
ඉන් පසුව උදාවූ දශක කිහිපය තුළ මෙම පවුලට නැවත නැවතත් ඛේදවාචකවලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ බාල සහෝදරිය සහ සහෝදරයා යන දෙදෙනා ම සියදිවි නසාගත්තේ ඔහු ඉතිහාසයට පමණක් සීමා වූ රාජවංශයක සංකේතාත්මක නායකයා යැයි බොහෝ දෙනෙකුට සිතීමට සලස්වමිනි.
මේ වන විට 65 හැවිරිදි වියේ පසුවන රෙසා පහ්ලවී, තම රටේ අනාගතය හැඩගැස්වීමට නැවත වරක් අවස්ථාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.
වොෂින්ටනයට ආසන්න නිස්කලංක ප්‍රදේශයක දිවි ගෙවන ඔහු පිළිබඳව ඔහුගේ ආධාරකරුවන් විස්තර කරන්නේ, අප්‍රසිද්ධ සහ මිත්‍රශීලී පුද්ගලයෙකු වන ඔහු දෘශ්‍යමාන ආරක්ෂාවක් නොමැතිව නිරතරයෙන් සිය බිරිඳ වන යස්මින් බොහෝ විට ඒ අවට අවන්හල් වෙත නිතර පැමිණෙන අයෙකු ලෙස ය.
2022 වසරේදී, අහඹු ලෙස පුද්ගලයෙකු, ඉරානයේ විරෝධතා ව්‍යාපාරයේ නායකයා ලෙස තමන්ව දකින්නේ දැයි ඔහුගෙන් විමසූ විට, රෙසා පහ්ලවී සහ යස්මින් දෙදෙනා ම එකවර පිළිතුරු දී තිබුණේ: "වෙනස ඇතුළතින් ම එන්න ඕනේ," යනුවෙනි.
හැරවුම් ලක්ෂයක්
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ස්වරය වඩාත් දැඩි සහ තීරණාත්මක බවක් ගෙන ඇත. 2025දී ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ උසස් හමුදා ජෙනරල්වරුන් කිහිප දෙනෙකු මිය යාමේ සිද්ධියෙන් පසු, පැරීසියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පහ්ලවී පැවසුවේ, ඉස්ලාමීය ජනරජය බිඳ වැටුණහොත් අන්තර්වාර රජයකට නායකත්වය දීමට තමන් සූදානම් බවයි.
ඉන්පසු ඔහු අන්තර්වාර පාලනයක් සඳහා දින 100ක සැලැස්මක් ඉදිරිපත් කළේ ය.
මෙම නව විශ්වාසය ගොඩ නැගෙන්නේ පිටුවහල් කිරීමෙන් අනතුරුව උගත් පාඩම් සහ ඔහුගේ පියා අතරමග නතර කළ "නිම නොකළ මෙහෙයුම" ලෙස ඔහු හඳුන්වන දෙයින් බව පහ්ලවී අවධාරණය කරයි.
"මේක අතීතය නැවත ගෙන ඒම ගැන නෙවෙයි," ඔහු පැරීසියේදී වාර්තාකරුවන්ට පැවසීය. "මේක සියලු ඉරාන ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් උදා කර ගැනීම වෙනුවෙන්."
රාජකීය ශික්ෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, UPI/Bettmann Archive/Getty Images
ෂා රජු තම පෙර විවාහ ද්විත්වයෙන් ම ඔටුන්න සඳහා පිරිමි උරුමකරුවෙකු නොලද අතර 1960 ඔක්තෝබර් මාසයේදී ටෙහ්රාන් නගරයේ උපත ලැබූ රෙසා පහ්ලවී ඔහුගේ එක ම පුත්‍රයා විය. ඔහු විශාල වරප්‍රසාද ඇතිව හැදී වැඩුණු අතර පෞද්ගලික ගුරුවරුන් මගින් අධ්‍යාපනය ලබමින් කුඩා වයසේදී ම රාජාණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පුහුණුව ලැබීය.
වයස අවුරුදු 17දී, ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු ලෙස පුහුණුව ලැබීම සඳහා ඔහු ටෙක්සාස් ප්‍රාන්තය වෙත පිටත් කළේය. කෙසේ වෙතත්, රාජකීය සේවය සඳහා නැවත පැමිණීමට පෙර, විප්ලවය ඔහුගේ පියාගේ පාලනය පෙරළා දමා තිබිණි.
එතැන් සිට පහ්ලවී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් විය. ඔහු දේශපාලන විද්‍යාව හැදෑරූ අතර, නීතිඥවරියක වන ඉරාන–ඇමෙරිකානු සම්භවයක් සහිත යස්මින් සමග විවාහ විය. ඔවුන්ට නූර්, ඉමාන් සහ ෆාරා නමින් දියණියන් තිදෙනෙක් සිටිති.
මතභේදාත්මක උරුමයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රටින් පිටුවහල්ව ජීවත් වුව ද පහ්ලවී රාජවාදයට පක්ෂපාතී පිරිස් සඳහා බලවත් සංකේතයක් බවට පත් විය. බොහෝ දෙනා පහ්ලවී යුගය වේගවත් නවීකරණයක සහ බටහිර රටවල් සමග සමීප සබඳතා පැවති කාලයක් ලෙස ආවර්ජනය කරති. තවත් පිරිසක් ආවර්ජනය කරන්නේ, එය අදහස් ප්‍රකාශනය මර්දනය කළ, සහ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා භාවිත කළ, මානව හිමිකම් උල්ලංඝන සඳහා කුප්‍රකට සවාක් (Savak) රහස් පොලිසිය විසින් සලකුණු තැබූ යුගයක් ලෙස ය.
වසර ගණනාවක් පුරාවට ඉරානය තුළ ඔහුගේ ජනප්‍රියත්වය උච්චාවචනය වී ඇත. 1980 වසරේදී ඔහු කයිරෝ නගරයේදී සංකේතාත්මක රාජාභිෂේක උත්සවයක් පවත්වා, තමන් ෂා බව ප්‍රකාශ කළේය. එහි ප්‍රායෝගික බලපෑමක් වැඩි වශයෙන් නොතිබුණ ද, ඇතැම් ප්‍රතිවිරුද්ධ මතධාරීන් පවසන්නේ එය ඔහු දැනට ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ පණිවිඩය යටපත් කරන කරන බවයි.
2013 වසරේ ආරම්භ කළ "නිදහස් මැතිවරණ සඳහා ඉරාන ජාතික කවුන්සිලය" ඇතුළු විවිධ විපක්ෂ සන්ධාන ගොඩනැගීමට ඔහු අවස්ථා කිහිපයකදී උත්සහ කර ඇත. එම උත්සහයන් බොහොමයක් අභ්‍යන්තර අසම්මුතීන් සහ ඉරානය තුළ සීමිත ජන ප්‍රවේශය හේතුවෙන් අසාර්ථක වී ඇත.
විදේශගත විරුද්ධ කණ්ඩායම් මෙන් නොව පහ්ලවී පැහැදිලිව ම ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර ඇති අතර, Mojahedin-e Khalq (MEK) වැනි සන්නද්ධ කණ්ඩායම්වලින් ද දූරස්ථව සිටියේ ය.
ඉරානයේ අනාගත දේශපාලන පද්ධතිය කුමක් විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා සාමකාමී බලය පැවරීමක් සහ ජාතික ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඔහු අවස්ථා කිහිපයකදී ම ප්‍රකාශ කර කර තිබිණි.
විදේශීය මතභේද

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
පහ්ලවීට පසුගිය වසර කිහිපය තුළ විශාල අවධානයක් හිමිවිය. 2017දී පැවති රජයට එරෙහි විරෝධතා අතරතුර, ඔහුගේ මුත්තණුවන් වූ රෙසා ෂාට ගැන සඳහන් වුණු - "රෙසා ෂා, ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා," යැයි පවසනු ඇසිණි.
2022දී පොලිස් අත්අඩංගුවේ සිටියදී මහ්සා අමීනි මරණයට පත්වීම, රට පුරා විරෝධතා ඇති වීමට හේතු වූ අතර, එය ඔහුව නැවත මාධ්‍යවල අවධානයට ලක්වීමට ද හේතු විය.
ඉරානයේ බෙදී සිටින විපක්ෂය එකට එක් කිරීමට ඔහු ගත් උත්සහයට ජාත්‍යන්තර මට්ටමින් සීමිත අවධානයක් හිමිවුණ ද, අවසානයේ එය දිගුකාලීනව එකලෙස පවත්වා ගැනීමට අසමත් විය. විවේචකයින් පවසන්නේ විදේශයක වසර හතළිහකට ආසන්න කාලයක් ගත කර තිබුණ ද, ඔහුට තවමත් ශක්තිමත් සංවිධානයක් හෝ ස්වාධීන මාධ්‍ය ආයතනයක් ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බවයි.
2023දී ඔහු ඊශ්‍රායලය වෙත සිදු කළ මතභේදාත්මක සංචාරය ද දැඩි ලෙස විවේචනයට ලක් විය. පහ්ලවී හොලෝකෝස්ට් අනුස්මරණ උත්සවයකට සහභාගී වූ අතර එහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවිය. ඇතැම් ඉරාන වැසියන් මෙය ප්‍රායෝගික සම්බන්ධතාවක් ලෙස දුටු නමුත්, තවත් පිරිසක් මෙය ඉරානයේ අරාබි සහ මුස්ලිම් හිතවාදීන් දූරස්ථ කිරීමට හේතු වන ක්‍රියාවක් ලෙස දුටුවේ ය.
මෑතකදී ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර ඔහුගෙන් අසීරු ප්‍රශ්න විමසීමට හේතු විය.
බීබීසීයේ ලෝරා කුවෙන්ස්බර්ග් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, සිවිල් ජනයාගේ ජීවිත අවදානමට ලක් කරන ඊශ්‍රායල් ප්‍රහාර සඳහා ඔහු සහය දක්වන්නේදැයි ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.
සාමාන්‍ය ඉරාන ජනතාව ඉලක්කය නොවන බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ, "පාලන තන්ත්‍රය දුර්වල කරන ඕනෑ ම දෙයක්" ඉරානය තුළ සිටින බොහෝ දෙනෙකු විසින් අනුමත කරනු ඇති බවයි. මෙම අදහස් දැඩි වාද විවාදයන්ට හේතු විය.
නොලියූ අනාගතයක්
අද, පහ්ලවි තමාව ඉදිරිපත් කරන්නේ රජෙකු බවට පත්වීමට බලා සිටින අයෙකු ලෙස නොව, ජාතික සංහිඳියාව සඳහා කැපවූ සාමාන්‍ය නායකයෙකු ලෙසය.
ඔහු පවසන්නේ ඉරානයට නිදහස් මැතිවරණ, නීතියේ ආධිපත්‍යය සහ කාන්තාවන් සඳහා සමාන අයිතිවාසිකම් ඇති රටක් කරා ගමන් කිරීමට මග පෙන්වීමට තමන්ට අවශ්‍ය බවයි. එමෙන් ම රාජාණ්ඩුව නැවත ස්ථාපනය කළ යුතු ද, නැතිනම් ජනරජයක් ස්ථාපනය කළ යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණය ඡන්ද විමසීමකට පැවරීමට සූදානම් බව ද ඔහු පවසයි.
ඔහුගේ ආධාරකරුවන් ඔහුව දකින්නේ නාමිකව හඳුනන සහ සාමකාමී වෙනසක් සඳහා දිගුකාලීන කැපවීමක් ඇති විපක්ෂය නියෝජනය කරන එක ම චරිතය ලෙසයි. ඔහු විදේශ සහය මත ප්‍රමාණය ඉක්මවා යැපෙන බවට විවේචකයින් විරෝධය පළ කරන අතර දශක ගණනාවක දේශපාලන කැළඹීම්වලින් පසු වෙහෙසට පත්ව තිබෙන රටක් තුළ සිටින ඉරාන ජාතිකයන්, පිටුවහල් කරන ලද ඕනෑ ම නායකයෙකු විශ්වාස කිරීමට සූදානම් ද යන්න ද ප්‍රශ්න කරයි.
ඉරාන රජය ඔහු තර්ජනයක් ලෙස නිරූපණය කළ ද, විවෘත දේශපාලන අවකාශයක් සහ විශ්වාසදායක ඡන්ද විමසීම් නොමැතිව ඔහුට තිබෙන සැබෑ සහයෝගය කෙසේ ද යන්න මැන බැලීම සිදු කළ නොහැක.
ඇතැම් ඉරාන වැසියෝ තවමත් ඔහුගේ පෙළපත් නාමයට ගරු කරති. අනෙක් පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් වුව ද, තේරී පත් නොවූ එක් පාලකයෙකු තවත් අයෙකු සමග ප්‍රතිස්ථාපනය කිරීමට බිය වෙති.
පහ්ලවීගේ පියාගේ දේහය කයිරෝ නගරයේ භූමදානය කර ඇති අතර රජ පවුලට පක්ෂපාතී පිරිස් බලාපොරොත්තු වන්නේ යම් දිනෙක එය සංකේතාත්මක ලෙස ඉරානයට නැවත ගෙන ඒමට හැකි වනු ඇතැයි යන්නයි.
පිටුවහල් කරන ලද ඔටුන්න හිමි කුමරුට කෙදිනක හෝ එම දිනය දක්නට අවස්ථාව හිමි වේ ද හෝ නිදහස් ඉරානයක් දක්නට ලැබේ ද යන්න තවමත් තම අතීතය සමග පොරබදිමින් සිටින රටක් පිළිතුරු නොලද ප්‍රශ්න රැසකින් එකක් ලෙස පවතී.










