ප්රගීත් එක්නැලිගොඩගේ සම්බන්ධතා ගැන සුරේෂ් සලේ සහ මුරලි අධිකරණය හමුවේ හෙළි කළේ මොනවා ද?

ඡායාරූප මූලාශ්රය, Facebook | Sandya Priyangani Ekneligoda
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව සිකුරාදා (ඔක්: 16) කොළඹ විජේරාම මාවතේදී ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගැනිණි.
නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන තිදෙනාගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වේ.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේ සලේ සාක්ෂි දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් භාරයේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික යුද්ධ හමුදා මේජර් ජෙනරල් සුරේෂ් සලේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව සාක්ෂි දීම සඳහා සිකුරාදා දිනයේ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කර තිබිණ.
සුරේෂ් සලේගෙන් කරුණු විමසීම
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරල් වසන්ත පෙරේරා සාක්ෂිකරු වෙත ප්රශ්නයක් යොමු කරමින්, " ඔබ යුද්ධ හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ කවර කාලසීමාවක දැයි" විමසීය.
තමන් 2012 වසරේ අගභාගයේ සිට 2016 අගභාගය දක්වා එම ධුරයේ කටයුතු කළ බව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව සාක්ෂිකරු වෙත ප්රශ්නයක් යොමු කළ නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයා "ගිරිතලේ හමුදා කඳවුරේ ක්රියාත්මක වූ සන්නද්ධ බුද්ධි බළකාය පිළිබඳ ඔබ දන්නේ දැයි" විමසා සිටියේ ය.
"තුන් හතර පාරක් ගිහින් තියෙනවා" යනුවෙන් ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ප්රගීත් එක්නැලිගොඩ සම්බන්ධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා දුන් බවට මතක ද?" මෙහිදී නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයා සාක්ෂිකරුගෙන් ප්රශ්න කළේ ය.
එහිදී සුරේෂ් සලේ පැවසුවේ, එවැනි විමර්ශනයක් සිදුවූ බව තමන්ට මතක බවත් ඊට අදාළව දුරකතන විස්තර වාර්තා ලබා දුන් බවත් ය.
කෙසේ වෙතත්, එම කරුණ සම්බන්ධයෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයා දිගින් දිගට ම ප්රශ්න මතු කළ අවස්ථාවේදී සාක්ෂිකාර සලේ මෙසේ පැවසීය.
"ස්වාමිනි.. මගේ වසර 38ක සේවා කාලය තුළ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග බොහෝ අවස්ථාවලදී කිට්ටුවෙන් කටයුතු කරලා තියෙනවා. කටඋත්තර ගණනාවක් දීලා ඇති. ලේඛන ගණනාවක් දීලා ඇති. මේ සිදුවීමට අදාළව යුද්ධ හමුදා පරීක්ෂණයකුත් පැවැත්වුණා. ඒකට අදාළ තොරතුරු භාර දුන්නා. නමුත් මේ සිදුවීමට දැන් වසර 10කටත් වඩා කාලයක් ගත වෙලා තියෙනවා. ඒ නිසා මේ සිදුවීමට දුන් ප්රකාශ සහ ලේඛන පිළිබඳ හරියට කටඋත්තරය බලන්නේ නැතුව කියන්න බැහැ," යනුවෙන් සඳහන් කළේ ය.
ඉන් අනතුරුව සුරේෂ් සලේගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වූ අතර, පසුව ඔහු දැඩි ආරක්ෂාව මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යනු ලැබිණි.
මුරලිගෙන් සාක්ෂි විමසීම
ඉන් අනතුරුව මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ හතර වන සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින මුරලි හෙවත් සුමතිපාල සුරේෂ් කුමාර් නමැත්තාගෙන් නඩුවේ විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන යළිත් හරස් ප්රශ්න විමසීම සිදු කළේ ය.
නීතිඥවරයා - සාක්ෂිකරු... තමුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමාජිකයෙකුව සිටින සමයේ ප්රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලයා සමග සහෝදරයෙකු ලෙස ආශ්රය කරපු කාලයක් තිබුණා නේද? "
සාක්ෂිකරු - "ඔව්.. ස්වාමිනි"
නීතිඥවරයා - "එහිදී ඔහු සමඟ යුද්ධ පිටියේ ඔබේ අත්දැකිමුත් බෙදාගත්තා නේද?"
සාක්ෂිකරු - "ඔව්"
නීතිඥවරයා - "ඔබ ප්රගීත් එක්නැලිගොඩ සමග පැවති සම්බන්ධතාව පිළිබඳව කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ට කියා තිබෙනවා ද?"
සාක්ෂිකරු - "නැහැ."
නීතිඥවරයා - "එක්නැලිගොඩ සමග ඔබේ පැවති සම්බන්ධතාව තමිල් සෙල්වම් කියන ත්රස්තවාදියාට සහ එල්.ටී.ටී.ඊ. පුපුරණ ද්රව්ය ප්රධානියාව සිටි ඥානවේල්ට කියා තිබුණා ද?"
ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාට ම පවසා තිබුණු බවත් සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
යළිත් ප්රශ්නයක් යොමු කළ නීතිඥවරයා "පොට්ටු අම්මාන් නේද මිනීමරු කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්රධානියා සහ ස්වයං ඝාතක බෝම්බකරුවන් මෙහෙයවූ තැනැත්තා?" යැයි විමසීය.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ඒ ගැන මම දන්නේ නැහැ" යනුවෙන් පිළිතුරු දුන්නේ ය.
යළි ප්රශ්නයක් මතු කළ නීතිඥවරයා මෙසේ විමසීය.
"තමුන් එක්නැලිගොඩ එක්ක තිබ්බ සහෝදර බැඳීම්, යාළුකම් ගැන පොට්ටු අම්මාන් කියන ත්රස්තවාදියාට කියා තිබුණා ද?"
"ඔව්" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
නැවතත් සාක්ෂිකරු වෙත ප්රශ්නයක් යොමු කළ නීතිඥවරයා, "ඔබ දඹුල්ල, හඹරන වත්ත නමැති ස්ථානයේ එක්නැලිගොඩ හමුවූ අවස්ථාවේ මිසයිලයක් ගහලා එවකට රටේ රාජ්ය නායකයා ඝාතනය කළ යුතු බවට ඔහු තමුන්ට කියූ බවට ප්රකාශයක් දී තිබෙනවා නේද?" යැයි විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ඔව්" යනුවෙන් පැවසීය.
"එවකට රාජ්ය නායකයාව සිටියේ මහින්ද රාජපක්ෂ නේද?" යනුවෙන් විත්තියේ නීතිඥවරයා යළි සාක්ෂිකරු වෙත ප්රශ්නයක් යොමු කරමින් විමසීය.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ඔව්" යනුවෙන් සඳහන් කළේ ය.
"ඔබ එක්නැලිගොඩ සමග පැවැත්වූ සම්බන්ධය ගැන පොට්ටු අම්මාන්ට කිව්වේ, එක්නැලිගොඩ ඉහත ප්රකාශය කරන්න පෙර ද? පසු ද? " යනුවෙන් නීතිඥවරයා විමසීය.
"ඊට පෙර" යනුවෙන් සාක්ෂිකරු එම ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරල් වසන්ත පෙරේරා සාක්ෂිකාර මුරලි හෙවත් සුමතිපාල සුරේෂ් කුමාර්ගෙන් නැවත ප්රශ්න කළේ ය.
"ඔබ හමුදාවට භාරවීමට පෙර එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සමග ගිහින් හබරණදී එක්නැලිගොඩ හමුවුණා කියලා අද දිනයේ විත්තියෙන් හරස් ප්රශ්න ඇසීමේදී කියා සිටියා. එහිදී රාජ්ය නායකයා ඝාතනය කිරීමක් ගැන එක්නැලිගොඩ කිව්වා කියලත් කියවුණා. නමුත් ඔබගෙන් මීට පෙර දිනයක පළමු විත්තිකරු වෙනුවෙන් ඔය සිද්ධිය ගැන අහපුවා ම ඔබ කිව්වා නේද ඒක උදාහරණයක් හැටියට කියපු එකක් කියලා. ඒක පැහැදිලි කරන්න පුළුවන් ද? " යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්රශ්න කළේ ය.
එහිදි සාක්ෂිකරුගේ පිළිතුර වූයේ මෙය යි.
"මමයි, නාදන් මහත්තය යි, එක්නැලිගොඩ මහත්තයා යි හබරණ වත්තේ කතා කරමින් සිටියා. මමයි නාදන් මහත්තයායි කිව්වා දැන් යුද්ධය ඉවර නිසා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. එවිට එක්නැලිගොඩ කිව්වා යුද්ධය ඉවර වුණාට සියලු ප්රශ්න එහෙම්ම ම යි කියලා. පස්සේ මම යි නාදනු යි කිව්වා වෙනස් කරන්න බැහැ. මේ පාලනය තව වසර 20ක් වත් තියෙයි කියලා. එතකොට එක්නැලිගොඩ කිව්වා ඒක අද හිතුවොත් අද වෙනස් කරන්න පුළුවන් කියලා. අපි ඇහැව්වා කොහොම ද කියලා. එතකොට ඔහු කිව්වා ජනාධිපති ෆ්ලයිට් එකේ යනවා. ඒකට මිසයිලයක් ගැහුවොත් ඔක්කෝම වෙනස් වෙනවා කියලා."
මෙහි වැඩිදුර විභාගය ලබන 22 වන දා දක්වා කල් තැබිණි.



































