'මොකද අපේ ඔය තියෙන ප්ලේන් 18කින් තමයි දවසකට තියෙන ෆ්ලයිට් 60ක් විතර ඔපරේට් කරන්නේ. ඔය ප්ලේන් වැඩිපුරම තියෙන්නේ උඩ, බිම නෙමෙයි'

In this picture taken on September 26, 2022, a member of ground staff directs a SriLankan Airlines aircraft at the Colombo International Airport in Katunayake. - Dozens of state-owned Sri Lankan companies employing tens of thousands of people could be downsized or closed as part of an IMF bailout of the bankrupt country, with the country's airline top of the list for reform. - TO GO WITH SriLanka-economy-aviation-privatisation, FOCUS by Amal JAYASINGHE

ඡායාරූප මූලාශ්‍රය, AFP

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් කාලයෙන් කාලයට අලුත් මාතෘකාවන් කරලියට පැමිණෙයි.

රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති පෞද්ගලීකරණය කළ යුතු, රාජ්‍ය අංශයට අයත් සමාගම් අතර ඉදිරියෙන් පසුවන සමාගම් අතරට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ද ඇතුලත් වීම විශේෂත්වයකි.

මේ අතර පසුගිය අප්‍රේල් මස 15 වෙනිදා ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන්ගුවන් සේවයට අයත් යූ.එල්.- 605 දරණ ගුවන් යානය හදිසි කාර්මික දෝෂයකට ලක්වීමේ සිද්ධිය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජනමාධ්‍ය තුළ ද ප්‍රධාන පුවතක් බවට පත් විය.

කාර්මික දෝෂයකට ලක්වූ එම ගුවන් යානය පැය 48 කට පසුව එනම් අප්‍රේල් මස 17 වෙනිදා පෙරවරු 9.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරන ලදී.

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් හි මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇත්තේ යානා 24ක් බවත්, ඉන් මෙහෙයුම් සඳහා යොදා ගනු ලබන්නේ ගුවන් යානා 18ක් පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා මොනවාද ?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ මේ වන විට මාදිලි හයකින් යුත් යානා පවතින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න බීබීසී සිංහල සේවය වෙත පවසා සිටියේය.

"වර්ග වශයෙන් ගත්විට එයාර් බස් A 330-200, එයාර් බස් A 300-300 වර්ගයේ ගුවන් යානා තිබෙනවා. එයට අමතරව එයාර්බස් 320 සහ එයාර්බස් 320 නියෝ කියන වර්ග දෙකත් තියෙනවා. එයට අමතරව එයාර්බස් A - 321 සහ එයාර්බස් A-321 නියෝ කියලා වර්ග දෙකක් තියෙනවා. ඔක්කොම වර්ග 06 කින් ගුවන් යානා 24ක් තියෙනවා."

"නමුත් මේ ගුවන් යානා එකක්වත් ශ්‍රී ලන්කන් සමාගමට අයිති ඒවා නෙමෙයි. මේ ඔක්කොම කල් බදු ක්‍රමයට අරගෙන තියෙන ගුවන් යානායි." ඔහු පැවසුවේය.

Sri Lankan Airlines airbus A330 airplanes at Bandaranaike International Airport in Colombo, Sri Lanka on 13 October 2017.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සේවාවන් සඳහා යොදා නොගන්නා ගුවන් යානා මොනවාද ? එයට හේතුව කුමක්ද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා හයක් මෙහෙයුම් සඳහා යොදා නොගන්නේ ඉන් ගුවන් යානා පහකට (05) අවශ්‍ය අමතර කොටස් වල හිඟතාවය හේතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා බිබිසි සිංහල සේවය වෙත අනාවරණ කළේය.

"එක ගුවන් යානයක කල් බදු කාලය අවසන් වීම නිසා එය නැවත ලබාදීමට නියමිත නිසා සේවයට යොදා ගන්නේ නැහැ. මීට අමතරව නියෝ වර්ගයේ ගුවන් යානා පහක් තියෙනවා ඒවාට අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමේ ගැටලුවක් නිසා දැනටසේවයට යොදා ගන්නේ නැහැ. මේ ගුවන් යානා 2017 වර්ෂයේදී සේවයට ගත්ත අලුත්ම වර්ගයේ ගුවන් යානායි."

"අපේ තියෙන ගුවන් යානා වර්ග හයකින්. උදාහරණයක් විදිහට ගත්තොත් එයාර්බස් A-320 කියන වර්ගය සහ එයාර්බස් A-321 නියෝ කියන ගුවන් යානා වර්ග දෙකේ ඇතැම් අමතර කොටස් එක සමානයි. ඒ වගේම සමහර ගුවන් යානා එංජින් වල අමතර කොටස් වෙනස් වෙනවා. එතකොට නිතර නිතර භාවිතයට ගන්නා අමතර කොටස් වැඩි ප්‍රමාණයක් අපිට ගබඩා කරන්න සිදුවෙනවා. ඒ ගුවන් යානා ධාවනය වැඩි වුනාම. ඔන්න ඔය ප්‍රශ්නය ගැන වෘත්තීය සමිතියක් විදිහට නිතරම පෙන්වල දීලා තියනවා." යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා පවසා සිටියේය.

ප්‍රධාන ගුවන් සමාගම් සහ ශ්‍රී ලන්කන් සමාගම අතර ඇති වෙනස

ශ්‍රී ලන්කන් සමාගම මාදිලි හයකින් යුත් ගුවන් යානා බල ඇණියක් සිය සේවයට යොදවා ගෙන සිටිය දී ඇතැම් ලොව ප්‍රධාන පෙලේගුවන් සමාගම් තම මෙහෙයුම් කටයුතු සදහා යොදා ගනු ලබන්නේ සීමිත මාදිලි වලින් යුත් ගුවන් යානා බව මෙහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

"කටාර් ගුවන් සමාගම කියන්නේ ගුවන් යානා දෙසිය හැට ගානක් තියෙන ගුවන් සමාගමක්. එමිරේට්ස් කියන්නෙත් ගුවන් යානා දෙසීයක් විතර තියෙන ලොකු ගුවන් සමාගමක්. එයාලා ගුවන් යානා දෙසීයක් තියාගෙනත් ඒවා වර්ග දෙකකින් තමයි තියාගෙන ඉන්නේ . එයාලා දැනට වැඩි වශයෙන් භාවිතයට ගන්නේ බෝයිං 777 වර්ගයේ ගුවන් යානායි."

"එතකොට අපි වගේ පොඩි ගුවන් සමාගමක් පුළුවන් තරම් බලන්න ඕන ලන්ඩන්, ඕස්ට්‍රේලියා වගේ ගමනාන්තයන් වලට යොදාගන්න එයාර්බස් 330 වගේ ගුවන් යානා වගේම ඉන්දියාව සහ මාලදිවයින වගේ ආසන්න රටවලට යෑමට අවශ්‍ය කුඩා ගුවන් යානා සේවයට එක් කර ගන්න. ඒ වර්ග දෙක අපිට තියෙනවා. නමුත් ඒ වර්ග දෙකට සමාන වර්ග කිහිපයක්ම අපිට තියෙනවා. ඒකයි ගැටලුව වෙලා තියෙන්නේ." ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරත්න එලෙස අදහස් දක්වා සිටියි.

ඕනෑම ගුවන් යානයකට අත්විය හැකි ඉරණම

ලොව ඕනෑම ගුවන් සේවයකට අයත් ගුවන් යානාවක් කුමන හෝ අවස්ථාවකදී කාර්මික දෝෂයකට ලක්වීමේ හැකියාවක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

"පසුගිය දා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානාවක් ඕස්ට්‍රේලියාවේ දී කාර්මික දෝෂයකට ලක්වීම ගැන මාධ්‍යයේ විවිධ අදහස් පළවුණා. මෙල්බර්න් යද්දී අපි ස්පෙයාර් පාර්ට්ස් අරන් යන්නේ නැහැ නේ. එහිදී මොනවා හරි වුනොත් හයිකර ගන්නවා ඇරෙන්න. ප්‍රශ්නයක් ආවොත් ඒ වෙලාවේදී ඒ ගැන බලනවා. ලෝකයේ ඕනෑම එයාර් ලයින් එකක ප්ලේන් එකක ඕනෑම වෙලාවක් ඇතිවෙන්න පුළුවන් සිද්ධියක් තමයි ඔය වුනේ."

"ගිය සතියේ කටාර් ගුවන් සමාගමේ ගුවන් යානයක් කටුනායක දී එන්ජිමේ ඇතිවුන දෝෂයක් නිසා රඳවන්න සිදුවුණා. එතකොටගුවන් යානයේ යන්න හිටපු මගීන් තුන්සිය ගානක් දවස් තුනකදී තමයි වෙන් වෙන් වශයෙන් ඔවුන් නැවත අරන් ගියේ." ඔහු කියා සිටියේය.

ආරක්ෂාව ගැන ගුවන් මගීන් බයවෙන්න ඕනද ?

ගුවන් යානයක් ධාවනයට එක් කිරීමේදී ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් ගුවන් මගීන් කිසිදු අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොමැති බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

"අපේ ගුවන් යානාවල යන්න ඉන්න මගීන් පොඩ්ඩක්වත් බයවෙන්න ඕන නැහැ. ගුවන් යානයක් පරණ හින්දා හරි පාර්ට්ස් නැහැ කියලා හරි එහෙන් මෙහෙන් අටවන් යනවා කියලා. එහෙම දෙයක් මෙතන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිවිල් ගුවන් සේවාවන්වලදී ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමු කරනවා. එතකොට ජාත්‍යන්තර නීතිය අනුව අදාළ රෙගුලාසි සම්පුර්ණ කරන ගුවන් යානා තමයි මෙහෙයුම් වලට යොදවන්නේ."

"ශ්‍රී ලන්කන් එකේ පාර්ට්ස් නැති නිසා තමයි මේ ගුවන් යානා රඳවලා තියෙන්නේ සේවයට යොදා ගන්නේ නැතුව. එහෙම නැත්නම් එහෙන් මෙහෙන් අරන් දාලා යවන්න පුළුවන්නේ. එහෙම යවන්නේ නැහැ. හරියටම අවශ්‍ය කරන නඩත්තු කටයුතු සිදුවෙලා තියනවද කියලා බලන්න ඕන. ඒ වගේම අවශ්‍ය අමතර කොටස් තියෙනවද කියලා අකුරටම බලනවා. ඒ ගැන කිසිම විවාදයක් සැකයක් නැහැ." හෙතෙම කියා සිටියේය.

travellers stand in a queue at the check-in desk for SriLankan Airlines at the Colombo International Airport in Katunayake. - Dozens of state-owned Sri Lankan companies employing tens of thousands of people could be downsized or closed as part of an IMF bailout of the bankrupt country, with the country's airline top of the list for reform. - TO GO WITH SriLanka-economy-aviation-privatisation, FOCUS by Amal JAYASINGHE (Photo by Ishara S. KODIKARA / AFP) / TO GO WITH SriLanka-economy-aviation-privatisation, FOCUS by Amal JAYASINGHE (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, AFP

සීමිත යානා සංඛ්‍යාවකින් සිදුකරන ගුවන් මෙහෙයුම

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති සීමිත ගුවන් යානා සංඛ්‍යාව යොදා ගනිමින් මගීන්ට ලබාදිය හැකි උපරිම සේවාවක් ලබාදීමට නිලධාරීන් කටයුතු කරනු ලබන බව ඔහු කියා සිටියේය.

"ඉන් ෆ්ලයිට් එන්ටර්ටේට්මන්ට් (ගුවන් යානාවක් ඇතුලේ විනෝදාස්වාදය) සඳහා තියෙන ස්ක්‍රීන් එක භාවිතයට ගන්නා වාර ගණනවැඩියි. ඒ නිසා ඒවා කැඩෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒවා නැවත අලුත්වැඩියා කිරීමට සිදුවනවා. දැන් අපේ ලන්ඩන් යන ගුවන්යානය එහේ පැයක් තියලා ආපහු රිටර්න් එකට එනවා. ඒ ඇවිල්ලා කටුනායක පැයක් එකහාමාරක් තියලා ආපහු තව කොහෙටහරි යන්න තමයි බලන්නේ. මොකද අපේ ඔය තියෙන ප්ලේන් 18කින් තමයි දවසකට තියෙන ෆ්ලයිට් 60ක් විතර ඔපරේට් කරන්නේ. ඔය ප්ලේන් වැඩිපුරම තියෙන්නේ උඩ, බිම නෙමෙයි."

"බිම තියෙන්නේ ගුවන් මගීන් යානයෙන් බස්වන්නයි, ඊලඟට යන මගීන් නංවා ගත්තා ආපහු ගියා. ලන්ඩන් ඉදලා කොළඹ එනවා. කොළඹ ඉදලා මදුරාසිය බලා යනවා. ඊට පස්සේ එහෙ ඉදලා කොළඹට එනවා.ආපහු කොළඹ ඉදලා සිංගප්පුරුවට යනවා. එහෙ ගිහිල්ලා ආයේ එනවා. ඕවා දුවනවම තමයි."

"නමුත් මේ හැම ගුවන් ගමනකදිම අදාළ ගුවන් යානයේ සිදුකළ යුතු මුලික ආරක්ෂක කටයුතු පිලිබදව ඉංජිනේරුවන් පරීක්ෂණ කටයුතු සිදුකරනවා. ලන්ඩනය නෙමෙයි ඕනෑම ගමනාන්තයකට ගියාට පස්සේ අනෙක් ගුවන් ගමනට පෙර සම්පුර්ණ පරීක්ෂාවක් ඉංජිනේරුවන් සිදුකරලා තමයි යානාව භාර දෙන්නේ. එහෙම නැතුව හිතුමතේට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඉංජිනේරුවන්ට පොඩි හෝ සැකයක් ඇතිවුනොත් යානාව රදවා ගෙන අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරලා තමයි ඊලඟ ගුවන් ගමනට යානය ලබාදෙන්නේ."

"ගුවන් මගීන් යානයෙන් පිටතට යනකොට යානය යට ඉදන් ඉංජිනේරුවන් ඒ වැඩේ කරනවා. ඒකට අමුතු කාලයක් ගන්නේ නැහැ."

"ගුවන් යානය ඇතුලේ තියෙන ඉන් ෆ්ලයිට් එන්ටර්ටේට්මන්ට් (ගුවන් යානාවක් ඇතුලේ විනෝදාස්වාදය) උපාංග වල යම් ගැටලුවක් තිබුණත් ඒක යානාවේ ආරක්ෂාවට ගැටලුවක් නොවෙන නිසා ඒවා සකස් කරන්නේ යම් කාල සීමාවකදී අදාළ ගුවන් යානය අලුත්වැඩියා කිරීමට වෙන් කරනු ලබන අවස්ථාවන් වලදී. එය ඕනෑම ගුවන් සේවයකට පොදු දෙයක්." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මොකද කියන්නේ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ මෙම යානා Airbus A320 NEO යන ගුවන් යානා කාණ්ඩයට අයත් වන අතර, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තුරු මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවය.

ලොව පුරාම මෙම වර්ගයේ ගුවන් යානාවල මතු වී තිබෙන යම් යම් තාක්ෂණික ගැටලු හේතුවෙන්, සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයම එන්ජින් හිඟයකට මුහුණ දී සිටින අතර, එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා විශාල කාලයක් ගතවන තත්ත්වයක්ද උදා වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මෙම ගැටලුවට විසඳුම් සොයාගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි මාසවලදී එන්ජින් සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු මෙම ගුවන් යානා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ගෝලීය වශයෙන් පවතින අමතර කොටස් හිඟයක් නිසා බවත්, ඇතැම් මාධ්‍ය මගින් සාවද්‍ය ලෙස වාර්තා කර තිබූ ආකාරයට මුදල් හිඟයක් නිසා නොවන බවත් එම ගුවන් සමාගම අවධාරණය කර කළේය.

මගීන් කියන්නේ මොනවද?

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රමාද වීම් සහ පාරිභෝගික සේවය පිළිබඳවද විටින් විට ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ එම ගුවන් සේවය භාවිත කරනු ලැබූ මගීන් අදහස් පළකර ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් කළ මගී කාන්තාවක් වන මල්කාන්ති ප්‍රනාන්දු තමන් අත්දැකීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පළ වුනු පෝස්ටුවකට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කර තිබේ.

"මම සහ මගේ සැමියා මෙම ගුවන් යානයේ මගීන් වූ අතර අපි ඒ සියලු දේ අත්වින්දෙමු. දින 2ක මෙම ප්‍රමාදය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් වැරදි ලෙස හසුරුවනු ලැබිය. ඕස්ට්‍රේලියානු ආගමන බලධාරීන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන්ගේ ප්‍රධානියා ඉන් පසුව තත්ත්වය හොඳින් හසුරුවන ලදී. ඇය සියලු මගීන්ගෙන් සමාව අයැද සිටි අතර අවශ්‍ය කටයුතු කිරීමට ශ්‍රී ලන්කන් කළමණාකරුවන් ගෙන්වා ගත්තාය."

"මෙම වීඩියෝවේ සිටින කාන්තාව ඉන්දියානු ජාතිකයෙක් බවට මා විශ්වාස කරන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් දෙවන දිනටත් නිසි පරිදි සන්නිවේදනයන් නොකිරීම නිසා ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඇති බවට උපකල්පනය කරමි."

"මුලින් අපගේ ගුවන් යානය 15 වන දින සවස 4.10 ට පිටත් වීමට නියමිතව තිබූ අතර පැයක ප්‍රමාදයකින් පසුව එය අවලංගු කරන ලදී."

"ඒ අනුව 16 වැනිදා අලුයම 1.30 ට පමණ මගීන්ට සිය ගමන් මළු සියල්ල රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට සිදු විය."

"16 වැනිදා සවස 6.30ට පිටත්වීමට නියමිතව තිබූ මීළඟ ගුවන් යානය පිටත් වූයේ 17 වැනිදා අලුයම 2ට පමණය."

"ශ්‍රී ලන්කන් ගුවන් මගීන්ට දෙවන දින ගුවන් තොටුපළට පැමිණිය යුතු නිවැරදි වේලාව දැනුම් දුන්නේ නම් මෙම ගැටළුව වඩාත් හොඳින් විසඳා ගත හැකිව තිබුණා."

"මෙම ගුවන් යානයේ බොහෝ විදේශීය ජාතිකයන් සිටි අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙම ගුවන් ගමන් ප්‍රමාදය හැසිරවීමේ කටයුතු සිදුකළ ආකාරය ගැන මම ලැජ්ජා වෙමි." යනුවෙන් ඇය සිය ෆේස්බුක් පොස්ට්ටුවේ සඳහන් කර ඇත.