නේපාල ගුවන් අනතුර: 'ගුවන් නියමුවා යානයේ කිසිදු දෝෂයක් වාර්තා කර තිබුණේ නෑ' බලධාරීන් පවසයි.
- Author, රාජිණී වෛද්‍යනාදන් සහ ඇලෙක්සැන්ඩ්රා ෆවුචි
- Role, බීබීසී පුවත්
නේපාලය දශක ගණනකින් දුටු දරුණුම ගුවන් අනතුරට පසුගිය දා මුහුණ දුන්නේ ය. එයින් දිවි ගලවා ගත්තවුන් සොයාගැනීමේ බලාපොරොත්තු බොඳවී යමින් පවතිනබව පොලීසිය පවසයි.
"ජීවිත බේරාගත් අය ඉන්න තියෙන ඉඩකඩ බොහොම අඩු යි," මාධ්‍ය ප්‍රකාශක තේක් ප්‍රසාද් රායි බීබීසීයට පැවසුවේ ය. ගලවාගැනීමේ කණ්ඩායම්, අනතුර සිදුවූ ස්ථානයෙන් ශරීර කොටස් සොයාගනිමින් සිටින වග ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඉරිදා (ජන. 15) උදෑසන, නේපාලයේ කත්මණ්ඩු සිට සංචාරක නගරයක් වන පොඛාරා දක්වා පියාසර කළ ගුවන් යානාව කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
නේපාලයේ දී අනතුරට ලක් වූ ගුවන් යානයේ නියමුවා ගුවන් තොටුපළ වෙත ළඟා වන විටත් 'ගුවන් නියමුවා කිසිදු දෝෂයක් වාර්තා කර නොතිබු' බව ගුවන් තොටුපළ ප්‍රකාශයකු පැවසීය.
අනුප් ජෝෂි කියා සිටියේ "කඳු පැහැදිලිව සහ හොඳින් පෙණුනු" බවත්, සැහැල්ලු සුළඟක් ඇති බවත් "කාලගුණය පිළිබඳ ගැටලුවක් නොතිබූ" බවත්ය.
අනතුර සිදුවූයේ ඇයිදැ යි තවමත් පැහැදිලි නැත.
යෙටී එයාලයින් ගුවන් සේවයට අයත් යානය ගුවන් තොටුපොළ බලා පියාසර කරද්දී කැරකෙනු ජංගම දුරකතනවලින් ලබාගත් පටිගතකිරීම්වලින් දැක්වේ. ගුවන් යානයේ මඟීන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 72ක් ගමන්කර තිබේ.
නේපාල සොල්දාදුවන් සිය ගණනක් යොදවා සිදුකළ සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුම, ඉරිදා අඳුරු කාලගුණය හේතුවෙන් අත්හිටුවනු ලැබුණි. එය සඳුදා උදෑසන 300ක් පොලිස් භටයින් යොදවා නැවත අරඹනු ලැබීය.
ගුවන් තොටුපළින් කිලෝමීටරයක් පමණ නුදුරින් පිහිටි සේති ගංගා දුර්ග මාවතට කඩා වැටුණු ගුවන් යානාවේ ගිනිගෙන අඟුරු වූ කොටස් අතරින් ගමන් කරන ගලවාගැනීමේ භටයින්ගේ විඩියෝවන් ප්‍රාදේශීය මාධ්‍ය විසින් මින් පෙර විකාශය කොට තිබුණි.
නේපාලයේ අගමැතිවරයා සඳුදා (අද) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර, මෙම ව්‍යසනයට හේතුව විමර්ශනය කිරීම සඳහා රජය විසින් මණ්ඩලයක් පත්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
ප්‍රාදේශීය වේලාවෙන් පෙ.ව. 11ට (ලංකාවේ වේලාවෙන් පෙ.ව. 10:45ට පමණ) සුළු මොහොතකට පසු ගුවන් යානාව කඩා වැටෙනු දුටු ප්‍රදේශවාසී දිව්‍යා ධකාල්, ඇය එම ස්ථානයට දිවගිය අයුරු බීබීසීය සමග පැවසුවා ය.
"මම එතෙන්ට යද්දී [ගුවන් යානය] කඩාවැටිච්ච තැන සෙනග වටවෙලා හිටියේ. ප්ලේන් එකේ ගින්නෙන් මහා දුමක් පිටවෙවී තිබුණ. ඉක්මණින්ම එතෙන්ට හෙලිකොප්ටර් ආවා," ඇය පැවසුවා ය.
"පයිලට්, ගොඩනැගිලි හරි ගෙවල් හරි තියෙන හරියකට කඩා නොවැටෙන්න උපරිම උත්සාහයක් ගත්තා," ඇය ප්‍රකාශ කළා ය. "සේති ගඟ ළඟ පොඩි [හිස්] ඉඩක් තිබුණා, ෆ්ලයිට් එක කඩාවැටුණේ ඒ පොඩි ඉඩට."
ගුවන් අනතුරු යනු නේපාලයට අසාමාන්‍ය දෙයක් නොවේ. එරට දුරස්ථ ගුවන් පථයයන් හා අනතුරුදායක තත්ත්වයන් ඇතිකරන ක්ෂණික කාලගුණික වෙනස්කම් මීට නිතර හේතුවෙයි.
ලොව ඉතාම අලංකාර කඳු රැසකට නිවහන වන මේ හිමාලයානු රාජ්‍යයේ භූමිය, පියාසර කිරීමට ඉතා අපහසු භූමි ප්‍රදේශයන්ගෙන් ද යුතු ය.

ඡායාරූප මූලාශ්‍රය, Family photograph
නව ගුවන් යානා සඳහා ආයෝජනය කිරීම අවමවීම හා නියාමන කටයුතු දුබලවීම සම්බන්ධයෙන් ද අතීතයේ දී චෝදනා එල්ලවී තිබේ.
පුහුණු කිරීම්හි හා අලුත්වැඩියා කිරීමේ ප්රමිතීන්හි ගැටලු හේතුවෙන් යුරෝපා සංගමය නේපාල ගුවන් සේවාවට සිය ගුවන් කලාපයට ඇතුළුවීම තහනම්කර තිබේ.
2022 මැයි මාසයේ දී තාරා ගුවන් සේවයේ යානාවක් උතුරුදිග නේපාලයට කඩාවැටීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. වසර හතරකට පෙර, බංගලාදේශයේ සිට පැමිණෙමින් තිබූ යානාවක් කත්මණ්ඩු වෙත ගොඩබාද්දී ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගියේ ය.
චිරන්ජිබී පෝදල්ගේ සොයුරු, මාධ්‍යවේදී ත්‍රිභුවන් ද ඊයේ කඩාවැටුණු යානයේ ගමන් කළේ ය. නේපාලයේ ගුවන් ගමන්හි ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගත යුතුබව ඔහු කියා සිටියේ ය.
"ගුවන් සේවාවට දඬුවම් කරන්න ඕනේ. ඒ වගේම රජයේ නියාමන ආයතනයත් වගකීම බාරගන්න ඕනේ," ඔහු පැවසීය.
ගුවන් යානාව කඩා වැටුනේ, මෙවසරේ ආරම්භයේ දී විවෘත කෙරුණු නව පොඛාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ දී ය.
ගුවන් තොටුපළෙහි සිටි මඟීන් බීබීසී සමග කියා සිටියේ ඔවුන් නිතර ගුවන් ගමන්වල යෙදෙනබව හා අනතුරින් පසුවවුව ද ගුවන් ගමන්හි යෙදීමට තරම් ආරක්ෂිත හැඟීමක් තමාට දැනෙනබවකි - කෙටි ගුවන් ගමන් යනු නේපාලය හරහා ගමන් කිරීම සඳහා එරට මධ්‍යම පන්තිය අතර ජනප්‍රියව ඇති ක්රමයකි.
"මම ගුවන් ගමන්වල යෙදෙන්න බය නෑ," තමන්ගේ බඩුබාහිරාදිය පැමිණෙන තෙක් ගුවන් තොටේ රැඳී සිටි රියා පැවසුවා ය. "නමුත් වඩාත් හොඳ නියාමනයක්, අලුත් ගුවන් යානා තියෙන්න ඕන."
පොඛාරා වෙත යෙදුණු කෙටි ගුවන් ගමන සඳහා යෙටී ගුවන් සේවාවේ අදාළ යානය කත්මණ්ඩු අගනුවරින් පිටත්ව තිබුණේ ඊයේ උදෑසන 10:30 පසුවී සුළු වේලාවකිනි.
එහි, අවම වශයෙන් විදේශිකයින් 15 දෙනෙකු ද ඇතුළුව මඟීන් 68 දෙනෙකු ද, කාර්යය මණ්ඩලයේ හතරදෙනෙකු ද ගමන් කොට තිබේ.
මඟීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයින් බව පැවසේ. ඉන්දියානුවන් පස්දෙනෙකු, රුසියානුවක් සිව්දෙනෙකු හා කොරියානුවන් දෙදෙනෙකු ද ගුවන් යානයේ ගමන්කර තිබේ. අයර්ලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ආජන්ටිනාවෙන්, සහ ප්‍රංශයෙන් පැමිණි එක් මඟියෙකු බැගින් ද එහි ගමන්ගත් පිරිසට අයත්ය.
ප්‍රදේශවාසියෙකු වන කුම් බහදූර් චෙත්‍රී රොයිටර් වෙත ප්‍රකාශකර තිබූ පරිදි, ගුවන් යානය ගුවන් තොටුපොළ කරා පැමිණෙන අයුරු ඔහු සිය නිවෙසේ වහල මත සිට නිරීක්ෂණයකර ඇත.
"මම දැක්කා ප්ලේන් එක දෙදරනවා, දකුණට වමට එහෙ මෙහෙ යනවා. එකසැරේම ඒක හොටේ පහළට හිටින්න හැරිලා දුර්ගේ දිහාවට කඩාගෙන ගියා," ඔහු පැවසුවේ ය.










