ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක්

Cessna 172 on flight

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ආරක්ෂිත ද යන මාතෘකාව සම්බන්ධයෙන් නැවතත් ගැටලුකාරී තත්ත්වයක් මේ දිනවල ඇතිවී ඇත.

ඒ, අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන පෞද්ගලික සමාගමක් වන සකුරායි ඒවියේෂන් සමාගමට අයත් කුඩා ගුවන් යානා දෙකක් සතියක් තුළ ස්ථානයන් දෙකකට හදිසියේ ගොඩබෑමට සිදුවීම හේතුවෙනි. මේවන විට අදාළ ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට පත්ව ඇත.

ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපයේ කීර්තියක් දිනා සිටින ශ්‍රී ලංකාවට මේ වැනි සිද්ධි තුළින් ඇති වන්නේ අහිතකර බලපෑමක් බව ගුවන් සේවා විශේෂඥයින් පෙන්වා දෙති.

පවතින තත්ත්වය තුළ අභ්‍යන්තර ගුවන් ගමන්වල ආරක්ෂාව යළි තහවුරු කළ යුතු නොවේ ද යනුවන් ඔවුන් ප්‍රශ්න කර සිටියි

සතියක් තුළ අනතුරු දෙකක්

සකුරායි ඒවියේෂන් සමාගමට අයත් සෙස්නා 172 (ලියාපදිංචි අංක 4R-GAF) දරන යානය කටුනායක, කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල්යායකට ගොඩබස්වනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා පස්වරු 01.52ට පමණ ය.

සිවිල් ගුවන් සේවා අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කපිතාන් තේමිය අබේවික්‍රම සඳහන්කර සිටියේ සීගිරිය ගුවන්තොටුපොළේ සිට රත්මලාන ගුවන්තොටුපොළ බලා පියාසාර කරමින් තිබිය දී යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබැස්සවීමකට සූදානම් වන අවස්ථාවේ දී යානය අනතුරට ලක්ව ඇති බව යි.

යානය අනතුරට ලක්වීමෙන් එහි නියමුවන් ද ඇතුළුව සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු සංචාරයක් සඳහා දිවයිනට පැමිණි විදේශීය යුවලකි.

මේ අතර, අදාල ගුවන් සේවයට අයත් මෙවැනිම ගුවන් යානයක් උපදේශකවරයෙකු සහ පුහුණු ගුවන් නියමුවෙකු සමග දෙසැම්බර් 22 වැනිදා පස්වරුවේ බේරුවල ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයට හදිසියේ ගොඩබස්වනු ලැබුණි.

එහිදී යානයේ සිට පුද්ගලයන්ට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදු නොවීය.

සකුරායි ඒවියේෂන් ගුවන් මෙහෙයුම් අත්හිටුවයි

කටුනායක, කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේ යානය ගොඩබැස්සවීමට යාමෙන් සිදුවූ අනතුරින් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරායි ඒවියේෂන් සමාගමේ සියලු ගුවන් මෙහෙයුම් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසා සිටියේ අදාල අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තුරු එම පියවර ගත් බව යි.

මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සපයන ගුවන් සමාගම් රැසක් පවතින අතර, ඒවාට සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් රෙගුලාසි රැසක් පැනවී ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ඉල්ලුම ඉතා අඩු වී ඇති බව යි. දැනට බොහෝවිට සීමිත කුලී ගුවන් ගමන් පමණක් සිදුකෙරෙන බව එම අධිකාරිය සඳහන් කළේ ය.

විමර්ශන අවසන්වන තෙක්, අදාල සමාගමේ ගුවන් යනා නඩත්තු කටයුතු දුර්වල මට්ටමක පවතින්නේදැ යි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසිය.

ඔහු සඳහන් කළේ, දෙසැම්බර් 27 වැනිදා සිදුවූ අනතුරට හේතුව යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක්යැ යි වාර්තා වන බව යි.

සකුරායි ඒවියේෂන් කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවා අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනවාරි 10 වනදා සඳහන් කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා පයාගල මුහුදු තීරයට එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්සවීම හා පසුගිය දෙසැම්බර් 27 වැනිදා කිඹුලිපිටිය ප්‍රදේශයට තවත් ගුවන් යානයක් ආපදාවට ලක්ව පාලනය කර ගත නොහැකිව හදිසි ගොඩබැස්සවීමක් කර විදේශීකයින් දෙදෙනෙකුට තුවාල සිදුවීමට අදාළව කරනු ලබන විමර්ශන වලට අදාළව සකුරායි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අපරාධමය විමර්ශනයක් ආරම්භ කර ඇත. එ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් තාක්ෂණික වාර්තාක් කැඳවා තිබේ.

සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවිතයට හෝ වෙනත් තැනැත්තෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට හෝ අන්තරාදායක වන අන්දමට සැහැසි ලෙස හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හා එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකුට තුවාල හෝ බරපතල තුවල කිරීම සඳහා වන දණ්ඩනීය චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කළේය.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

ගුවන් ආරක්ෂාව සම්බන්ධ ශ්‍රී ලංකාවේ රෙගුලාසි මොනවාද?

  • සියලුම ගුවන් යානා මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ගුවන් යෝග්‍යතා සහතිකය ලබා තිබිය යුතු ය
  • සිවිල් ගුවන් සේවා අධිකාරියේ සුදුසුකම්ලත් ගුවන් යෝග්‍යතා පරීක්ෂකවරයෙකු ගුවන් යෝග්‍යතා සහතිකය වලංගු කළ යුතු ය
  • ශ්‍රී ලංකාව ICAO චිකාගෝ සම්මුතියට අත්සන්කර ඇති බැවින්, ආනයනය කරන ලද හෝ කල්බදු මත ගෙන ආ සෑම ගුවන් යානයක්ම ශ්‍රී ලංකා ලියාපදිංචිය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත අයදුම් කිරීමට අවශ්‍ය වේ
  • මෙරට ලියාපදිංචිකර ඇති සෑම ගුවන් යානයකම පළමු අකුරු දෙක සෑම විටම "4R" විය යුතු ය

ගුවන් යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන:

  • හිමිකරු/ක්‍රියාකරුගේ ඉල්ලීම් ලිපිය
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • අයදුම්පත් ගාස්තුව
  • ගුවන් යානා වර්ගයේ සහතිකය
  • ගුවන් යානාවේ නඩත්තු ඉතිහාසය
  • ප්‍රධාන වෙනස්කිරීම් ලැයිස්තුව
  • බර සහ ශේෂ වාර්තාව
  • පරීක්ෂණ පියාසැරි වාර්තාව
  • ගුවන්විදුලි බලපත්‍රයේ පිටපතක්
  • රක්ෂණ සහතිකයේ පිටපතක්

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් අනතුරු ඉතිහාසය?

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් ගමන් ඉතිහාසය ගත්විට බරපතල ලෙස සැලකෙන ගුවන් අනතුරු වාර්තා වන්නේ කිහිපයකි.

2019 වසරේ දී කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව යානාවන්හි කුරුල්ලන් ගැටීමේ සිද්ධි 60ක් වාර්තා වී ඇති අතර, 2020 වර්ෂයේදී වාර්තා වී ඇත්තේ සිද්ධි 21ක් පමණි.

අනතුරු වළක්වා ගැනීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?

මෙවැනි අනතුරුවලින් මෙරට ගුවන් ආරක්ෂාවට දැඩි බලපෑමක් වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.

එම අධිකාරියේ සභාපති ධර්මදාස පැවසුවේ මෙවැනි අනතුරු නිසා "යන්න බයක් එනවනේ මිනිස්සුන්ට පොඩි ප්ලේන්වල, දෙපාරක් හිතනවනේ," යනුවෙනි.

එබැවින් මෑතක සිදුවූ අනතුරු පිළිබඳ පූර්ණ විමර්ශනය කර, ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බව සභාපතිවරයා අවධාරණය කළේ ය.

මේ අතර අභ්‍යන්තර ගුවන් සේවා සඳහා යොදවන යනා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ බව මෙරට නීති මගින් දක්වා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ නිශ්චිත කාලසීමාවක් අදාලව යනාවල යෝග්‍යතා පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවන යානා සඳහා දේශීය ක්‍රමයට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව දැනට මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් මඩකලපුව, යාපනය, ත්‍රිකුණාමය ආදී ගමනාන්ත කිහිපයක් වෙත පමණක් පියාසර කරන බවයි.

ලේඛන පරීක්ෂාවෙන් පමණක් යනාවල තත්ත්වය පරීක්ෂා කර වැඩැක් නැහැ

ගුවන්යානා ඉංජිනේරුවෙකු මෙන්ම ගුවන් නියමුවෙකු වන ගායාන් කණිෂ්ක සිල්වා බීබීසී සිංහල සමග සඳහන් කළේ, යම් කාලසීමාවකින් කාලසීමාවකට ලේඛන පරීක්ෂා කිරීමෙන් පමණක් යානාවල තත්ත්වය පරීක්ෂා කිරීම ඵලක් නොවන බවයි. අදාළ ලේඛනවල දැක්වෙන කරුණු යානයේ නඩත්තු වැඩසටහන අනුව ක්‍රියාත්මක කර තිබේදැයි යානයේ උපකරණ පරීක්ෂා කර තහවුරුකර ගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේ, යුරෝපා ප්‍රමිතියට (European Aviation Safety Agency (EASA) Standards) අනුව කටයුතු කිරීම මගින් යනාවල උසස් මට්ටමේ ප්‍රමිතියක් පවත්වා ගෙන යා හැකි බවයි.

ඔහු තවදුරත් පැවසුවේ විදේශයන් හී දී එම යානා වල ලේඛන පමණක් නොව භාවිතා කරන ඉන්ධ හා ලිහිසි තෙල් මෙන්ම උපකරණ ද පරික්ෂාකර අදාළ ලේඛන වල නිරවද්‍යතාවය පරික්ෂා කරන බවයි.

ගුවන් යනා අනතුරු සම්බන්ධයෙන් මෙරට පැවැත්වෙන විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොවීම තවත් ගැටළුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.