ඉන්දියානු ගුවන් හා නාවික ගුවන් යානා 23ක් ශ්‍රී ලංකාවට

ඉන්දියානු ගුවන් යානයක්

ඡායාරූප මූලාශ්‍රය, Indian High Commsion in SL

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක බලඝණය සහ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සඳහා ජනාධිපතිගේ වර්ණ පිදීමට නියමිතය. මෙම ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණයෙන් ගුවන් කරනම් සහ ගුවන් සංදර්ශනයක් මාර්තු තුන්වෙනිදා සිට පස්වෙනිදා දක්වා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතය.

මෙම සංවත්සර උළෙල සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 24ක් මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා 23 ක් සහභාගී වන බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කපිතාන් දුශාන් විජේසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය සැමරීම සදහා මාර්තු 2 වෙනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ප්‍රධාන උත්සවය පවත්වන අතර ක්‍රීඩා ඇතුළු විවිධ උත්සව සංවිධානය කර ඇති බවය.

"ආරක්ෂක ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ 'ප්‍රමුඛතා' හවුල්කරුවෙක්" ලෙස සලකන බව කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉරිදා (පෙබ. 28) නිකුත් කළ නිවේදනයක දැක්විණි.

"ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට ඉන්දීය ගුවන් හමුදා සහ ඉන්දීය නාවික හමුදා පිරිස් සහභාගී වීම දෙරටේ සන්නද්ධ හමුදා අතර වර්ධනය වන සහයෝගීතාව, සුහදතාව සහ මිත්‍රත්වය පෙන්නුම් කරයි." යැයි සඳහන් වූ එම නිවේදනය, ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2020 නොවැම්බරයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවතී ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල්, ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහයෝගය පිළිබඳ සහතිකයක් දී ඇති බව ද පෙන්වා දෙයි.

ඉන්දියානු නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, Indian High Commission in SL

ඡායාරූප ශීර්ෂ වැකිය, සංදර්ශනයට සහභාගිවීමට පැමිණි ඉන්දියානු නිලධාරීන්

ඉන්දියානු ගුවන් හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව මෙම අවස්ථාවට ඉන්දියාවේම නිෂ්පාදිත සාරංග් (නවීන සැහැල්ලු හෙලිකොප්ටර්) යානා ද ඇතුළත් කෙරෙන ගුවන් සංදර්ශනයකට එක්වනු ඇත. ඒ අතර 'සූර්ය කිරන්' යනුවෙන් හඳුන්වන හෝක්ස් යානා, 'තේජාස්' ප්‍රහාරක ගුවන් යානා, 'තේජාස්' පුහුණු යානා සහ ඩෝනියර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානා ද සහභාගී කිරීමට ද නියමිතය. මේ පියවර ගෙන තිබෙන්නේ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කිරීමට මෙන්ම දෙරටේ හමුදා අතර වසර ගණනාවක සමීප සම්බන්ධතා සහ සුහදතාවන්ට අනුකූලව බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය.

මෙම යානා ඉන්දීය ගුවන් හමුදාවේ සී 17 ග්ලෝබ් මාස්ටර් (C17 Globe Master) සහ සී 130 ජේ (C130J) ප්‍රවාහන ගුවන් යානා වල සහාය ඇතිව පෙබරවාරි 27 වන දින කොළඹට පැමිණි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි..

ඉන්දියානු ගුවන් හමුදාවේ යානයක්

ඡායාරූප මූලාශ්‍රය, Indian high commission in SL

"ගුවන් හමුදාවේ සහ ඉන්දියානු නාවික හමුදාවේ එවැනි විවිධාකාර හා විශාල යානා ප්‍රමාණයක් යෙදවීම, ඉන්දීය සහ ශ්‍රී ලංකා සේවාවන්හි අනුබද්ධ බලවේග අතර ඇති මිත්‍රත්වයේ සහ සමීප අන්තර් ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් බැඳීම්වලට සාක්ෂියක්" යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්‍රදර්ශනයට තබා ඇති සියලුම ඉන්දියානු ගුවන් යානා ඉන්දියාවේම නිෂ්පාදිත ඒවා වන අතර එමඟින් ඉන්දියානු පර්යේෂණ හා සංවර්ධන අංශයේ දේශීය තාක්‍ෂණික හැකියාවන් සහ ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තයේ නිෂ්පාදනවල විශ්වසනීයත්වය නිරුපණය කරන බවය.

පළමු වරට විදේශයක ප්‍රදර්ශනයට තබන ඉන්දියාවේම නිෂ්පාදිත 'තේජාස්' නම් සැහැල්ලු ප්‍රහාරක පුහුණුයානාව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ඉන්දියානු ගුවන් නියමුවන් සමඟ එක්ව පියාසර කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට සැලසෙන බව ද එහි දැක්වේ.

ඉන්දියාවේම නිෂ්පතිත තේජාස් නම් සැහැල්ලු ප්‍රහාරක යානා

ඡායාරූප මූලාශ්‍රය, Indian high commission

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේම නිෂ්පාදිත තේජාස් නම් සැහැල්ලු ප්‍රහාරක යානා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ට අර්ධ වාර්ෂිකව සපයන ' ඩෝර්නියර්' පුහුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන්ට, ඉන්දීය නාවික හමුදාවේ 'ඩෝර්නියර්' සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයේ අත්දැකීම් අවස්ථාව ද මෙහිදී සැලසේ.

මේ අතර ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය සඳුදා (මාර්තු 1 වෙනිදා) කොළඹදී විවෘත කෙරිණි.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ස්ථාපනය කෙරුණු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.