කොරෝනා වෛරසය: ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන තානාපතිවරයාට කරුණු පැහැදිලි කරයි

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

චීන ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරනු ලැබීමත් සමග ගුවන් සමාගමේ ඉහළ කලමණාකාරිත්වය ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපතිවරයා මුණගැසුණු බව ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

චීන ගුවන් සේවා අධිකාරිය මෙම තහනම පැනවූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් කුලී පදනම යටතේ ධාවනය වූ ගුවන් යානයකින් එරටට පැමිණි මගීන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගය.

චීන ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 ගුවන් යානයට අමතරව එතිහාඩ් ගුවන් සේවයේ ඩුබායි සිට පැමිණි EY 862 සහ China Eastern ගුවන් සේවයේ EU 212 ගුවන් යානා ද අගෝස්තු 17 වන සඳුදා සිට සතියක කාලයක් තහනම් කර ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තාකර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශක දීපාල් පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, කුලී පදනම යටතේ ඩුබායි නගරයේ සිට කොළඹ හරහා ශැන්හායි නගරයට පියාසර කළ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවීමෙන් මෙම තාවකාලික තහනමට ලක් වූ බවය.

එම සියළුම මගීන් ඩුබායි ගුවන් තොටුපලේ සිදුකරන ලද PCR පරීක්ෂණ වාර්තාවලින් කොරෝනා වෛරසය ආසාදිතයින් නොවන බව තහවුරු වී තිබූ නිසා ඔවුන් ගුවන්ගත කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. ගුවන් සමාගමේ ඉහළ කලමණාකාරිත්වය ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා දැනුවත් කළ බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනාවෛරස වසංගතය මේ වනවිට ලොව පුරා රටවල් 180ට වැඩි ගණනකට පැතිර ඇති අතර ලොව පුරා කෝවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

කොරෝනාවෛරසය පැතිර යාමත් සමගම චීනය ඇතුලුව බොහෝ රටවල් තම දේශ සීමා වසා දමා විදේශගතව වෙසෙන සිය පුරවැසියන් යළි සිය රටට කැඳවා ගැනීමට ද කටයුතු කළහ.

මේ වන විට චීනයේ කොරෝනාවෛරසය ආසාදිතයින් 89,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තා අනුව චීනයේ 4700 කට වැඩි පිරිසක් කෝවිඩ් 19 රෝගයෙන් මරණයට පත්වී ඇත.

ලොව පුරාම මිලියන විස්සකට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන අතර, ඒ අතරින් 743,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 163,000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ය.