ඉන්දුනීසියානු ගුවන් යානා අනතුරෙන් නැති වූ 'කරුණාවන්ත' නියමුවා ඇතුළු මගීන්

ඡායාරූප මූලාශ්‍රය, Endah
කඩා වැටුණු ශ්‍රීවිජය එයාර් සමාගමේ බෝයිං 737 යානයේ සුන්බුන් සෙවීමට බලධාරීන් වෙහෙසෙන අතර, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ඥාතීහු දැඩි කනස්සල්ලෙන් යම් තොරතුරක් ලැබෙනු ඇතැයි බලා සිටිති.
සෙනසුරාදා (ජනවාරි 9) ජකර්තා නුවර සිට ගුවන් ගත වී මිනිත්තු කීපයකට පසු මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ පුද්ගලයන් හැට දෙදෙනෙක් සිටියහ.
අනතුරෙන් දිවි ගලවා ගත් අය සිටී යයි බලාපොරොත්තුවක් නොමැති බව පෙනෙන්නට ඇත.
යානයේ කිසිවෙකු විධිමත් ලෙස හඳුනාගෙන නැතත්, ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන්ගෙන් තොරතුරු ලැබෙමින් තිබේ.
'කාරුණික හා බුද්ධිමත්' නියමුවා - කපිතාන් අෆ්වාන්
"අපි ඉන්නේ ශෝකයෙන්. තවමත් හොඳ දෙයක් අහන්න ලැබෙන්න කියලා දෙවියන්ට කන්නලවු කරනවා," ෆර්සා මහර්දිකා පැවසීය. ශ්‍රීවිජය එස් ජේ 182 ගුවන් යානයේ නියමුවා ඔහුගේ මාමාය.
54 හැවිරිදි කපිතාන් අෆ්වාන් එදින කඩිමුඩියේ නිවසින් පිටව ගිය බව ඔහුගේ බෑණනුවන් බීබීසී ඉන්දුනීසියානු සේවයට පැවසීය. "සාමාන්‍යයෙන් ඔහු සෑහෙන පිළිවෙළකට සිටින කෙනෙක් නමුත් එදා කලබලයට ඔහුගේ කමිසය මැදලා තිබුණෙත් නැහැ."
යළිත් වරක් නිවසින් පිටව යාමට සිදු වීම ගැන කපිතාන් සිය දරුවන් තිදෙනාගෙන් සමාව ඉල්ලා සිටියේය.
බොහෝ ඉන්දුනීසියානුවන් මෙන් එක නමකින් පමණක් හඳුන්වන කැප්ටන් අෆ්වාන් 1987 දී වාණිජ ගුවන් නියමුවෙකු වීමට පෙර ගුවන් හමුදාවෙන් සිය පියාසර වෘත්තිය ආරම්භ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පවුලේ අය සහ මිතුරන් පවසන්නේ දැඩි මුස්ලිම් භක්තිකයෙකු වූ ඔහු, තමන් වාසය කළ බටහිර ජාවා නගරයේ බොගෝර්හි සිය අසල්වැසියන්ට ද නිතර උදව් කළ බවය.
සමාජ මාධ්‍යජාලවල ඔහුගේ ප්‍රධාන ඡායාරූපයේ තිබෙන්නේ සුපර්මෑන් යාච්ඤා කරන කාටූනයක් වන අතර, "ඔබ කොතරම් ඉහළට පියාසර කළත් කමක් නැත, ඔබ යාච්ඤා නොකළහොත් කිසි විටෙකත් ස්වර්ගයට නොඑනු ඇත," යන්න එහි සඳහන් කර ඇත.
"ඔහු ඉතා හොඳ මිනිසෙක්. ඔහු බොහෝ විට බුද්ධිමත් උපදෙස් ලබා දුන්නා. ඔහු අසල්වැසියන් අතර කැපී පෙනෙන චරිතයක් වුණා. ඔහුගේ කරුණාව නිසා ප්‍රසිද්ධි වී සිටියා," යනුවෙන් ෆර්සා මහර්දිකා පැවසීය.
"මම දැඩි ලෙස කම්පනයට පත්ව සිටිනවා. මෙය සිදු වෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. කරුණාකර මාමා සහ අපගේ පවුලේ අය වෙනුවෙන් යාච්ඤා කරන්න," ඔහු තවදුරටත් පැවසුවේය.
නිවාඩුවක් ගත කළ 15 හැවිරිදි ඩින්ඩා අමීලියා
ජකර්තා නුවර නිවාඩුවක් ගත කර ආපසු යමින් සිටි 15 හැවිරිදි ඩින්ඩා අමිලියා ද මෙම ගුවන් යානය තුළ සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Widianingsih
ඩින්ඩා තම මවගේ සේවායෝජකයා සහ එම පවුලේ දරුවන් දෙදෙනා සමඟ මෙම නිවාඩුව ගත කිරීමට ගොස් සිටියාය.
ඩින්ඩාගේ මව වන ලීනා පැවසුවේ ඇය තම සේවායෝජකයාගේ පවුල වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින බවය. එබැවින් නිවාඩුවට එම පවුලේ අය සමග යාමට ඩින්ඩා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ බව ඇය පැවසීය. ඩින්ඩා ද ඔවුන්ට ලැදිව සිට ඇත.
ඔවුන් දෙසැම්බර් 27 වෙනි දින ජකර්තා බලා පිටත්ව ගිය නමුත් නැවත පැමිණියේ නැත.
"ඇය ගියේ හරියටම 15 වෙනි උපන්දිනය දවසෙයි," ඇයගේ මව බීබීසී ඉන්දුනීසියානු සේවයට පැවසීය.
"ඇය ඉතා සතුටින් සිටියා."
වාර්තාකරුවන් සමඟ කතා කරමින් ලීනා සිය දුරකථනයේ ඩින්ඩාගේ ඡායාරූපයක් පෙන්වූ අතර, "පුංචි දරුවෝ ආපසු එන්න" යැයි හඬමින් කියා සිටියාය.
පිය පදවිය ලැබූ නාවිකයා - අන්ග්ගා ෆර්නැන්ඩා අෆ්රියන්
ගුවන් යානයේ සිටි ඇයගේ 29 හැවිරිදි පුත් අන්ග්ගා ෆර්නැන්ඩා අෆ්රියන් තවමත් ජීවතුන් අතර සිටී යයි තමන් තවමත් බලාපොරොත්තුවෙන් සිටින බව අෆ්රිඩා බීබීසී ඉන්දුනීසියානු සේවයට පැවසුවාය.
"ජකර්තා ඉන්න පවුලේ සාමාජිකයන් තවමත් තොරතුරු සොයමින් සිටිනවා. මටත් යන්න අවශ්‍යයි. නමුත් මේ වසංගතයත් එක්ක එහෙට යන එක දුෂ්කරයි" යැයි බටහිර සුමාත්‍රාහි වෙසෙන අෆ්රිඩා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC Indonesia
නාවිකයෙකු ලෙස සේවය කළ අන්ග්ගා සතියකට පෙර පියෙකු බවට පත්වී ඇති අතර, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ පළමු දරුවා බිහි කළාය. පිරිමි දරුවෙකු වන ඔහුට අල්වානෝ ෆයෙසා අලිංගා ලෙස නම් තබා ඇත. පියෙකු වීමත් සමග සිය දරුවාට හොඳම දේ ලබා දීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිය පුතා පෙළඹුණු බව අන්ග්ගාගේ මව පැවසුවාය.
අන්ග්ගා රැකියාව කළේ විශාල භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවලය.
"එයා වැඩ කළ නෞකාවට හානි වෙලා කියලා ඉක්මණට එන්නයි එයාගේ හාම්පුතා කියලා තියෙනවා," අවසාන මොහොතේ පොන්තියානක් වෙත පියාසර කළ යුතු යැයි සිකුරාදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු කියා සිටි බව මව පැවසීය.
ඔහුට රැකියාව සඳහා බොහෝ විට ඉන්දුනීසියානු දූපත් සමූහය හරහා යාමට සිදු වන නමුත් බෝට්ටුවෙන් ගමන් කිරීමට කැමැත්තක් දැක්වීය. අන්ග්ගා ගුවන් ගමන්වල යෙදුනේ කලාතුරකිනි.
"පුතා බොහොම ශක්තිමත් වගේම ඉතා කීකරු දරුවෙක්. එයා කරුණාවන්ත ආචාරශීලී මනුස්සයෙක්. ඕනෑම කෙනෙක් එක්ක හොඳින් එකතු වෙනවා" යැයි අෆ්රිඩා පැවසීය.
"ඔහු නැති වෙලා නම් මට අවශ්‍ය ඔහුව ගෙදර ගෙනැවිත් නිසි ලෙස භූමදාන කරන්නයි," ඇය ඉතා සෙමින් පැවසුවේ අන්ග්ගා නිල ඇඳුමෙන් සිටින රාමු කළ ඡායාරූපයක් ද තුරුළු කරගෙනය.
අලුත විවාහ වූ යුවළ - ඉහ්සාන් අද්ලාන් හකීම් සහ පුත්‍රි වාහුනි
අලුත විවාහ වූ යුවළක් වන ඉහ්සාන් අද්ලාන් හකීම් සහ පුත්‍රි වාහුනි ද මෙම ගුවන් යානය තුළ සිටියහ.
අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව පවුලේ අයට දන්වන ලෙස සිය සහෝදරයා සුකර්නෝ හත්තා ගුවන්තොටුපළේ සිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසූ බව ඉහ්සාන්ගේ බාල සොහොයුරු අර්වින් අම්රු හකීම් කොම්පාස් පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
මෙම යුවළ කලිමන්තන් බලා යමින් සිටියේ පොන්තියානාක්හි වෙසෙන ඉහ්සාන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් විවාහ සාදයක් පැවැත්වීම සඳහාය.
"ලබන සෙනසුරාදා උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ," අර්වින් පැවසීය. නමුත් දැන් පවුලේ අය එකට එක්ව යාච්ඤා කරන බව ඔහු පැවසුවේය.
ඉන්ඩා හලීමා පුත්‍රි සහ මුහම්මද් රිස්කි වහුඩි සිය අලුත උපන් බිලිඳා සමඟ
සිය දියණිය ඉන්ඩා හලීමා පුත්‍රි, බෑණා මුහම්මද් රිස්කි වහුඩි සහ ඔවුන්ගේ බිලිඳා රැගෙන ගිය ශ්‍රීවිජය එයාර් එස් ජේ182 ගුවන් යානයට සිදු වූ දේ ගැන ආරංචි වූ විට යුස්රිලනිටා ක්ලාන්ත වූවාය.
ඉන්ඩා දරු ප්‍රසූතිය සඳහා ජාවාහි පිහිටි සිය මහගෙදරට පැමිණ ඇති අතර, දරුවා ලැබීමෙන් පසු ඇය සිය සැමියා සමඟ පොන්තියානාක්හි පිහිටි ඔවුන්ගේ නිවසට යමින් සිට ඇත.
යානය ගුවන් ගත වීමට පෙර, ඉන්ඩා එහි පියාපතක ඡායාරූපයක් වට්ස්ඇප් පණිවුඩයක් මගින් යවා ඇති අතර අධික වර්ෂාවක් පවතින බව පවසමින් පවුලේ අයගේ යාච්ඤා ඉල්ලා සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර, හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා යානයේ සිටි අයගේ සමීපතම පවුලේ අයගෙන් ඩීඑන්ඒ සාම්පල ලබා ගැනීමට බලධාරීන් ඉන්දුනීසියාවේ පොන්තියානාක් සුපාඩියෝ ගුවන් ගුවන්තොටුපළේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සාම්පල ලබා ගැනීම සඳහා ආපදා වින්දිතයින් හඳුනාගැනීමේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට අපි පුද්ගලයින් 51 දෙනෙකු සේවයේ යොදවා තිබෙනවා," යැයි සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් කොමසාරිස් යානි පර්මානා පැවසීය.
සමහර ඥාතීන් දුර බැහැර සිට පැමිණිය යුතු නිසා මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් තවත් දින දෙකක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපාරිකයෙකු වන යොහානස් සුහර්ඩි නැවත එනතුරු බලා සිටින පුතා
30 හැවිරිදි යොහානස් සුහර්ඩි ව්‍යාපාරික චාරිකාවක් සඳහා ජකර්තා නුවරට ගොස් තිබේ. එම කටයුතු අවසන් කර පොන්තියානාක් ගුවන්තොටුපළේ සිට පැය කීපයක් එපිටින් පිහිටි ගම්මානයක් වන නග්රාක්හි සිය පවුල වෙත ඔහු ආපසු යමින් සිට ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
ඔහුගේ බිරිඳ සීඑන්එන් වෙත පැවසුවේ ගුවන් ගත වීමට ටික වේලාවකට පෙර ඇය තම සැමියා සමඟ කතා කළ බවය. ඔහු "ඉතා හොඳ සමාජශීලී පුද්ගලයෙක්" ලෙස ඇය විස්තර කර තිබිණි.
"එයා මට එවපු අවසාන පණිවුඩය වුණේ උණ හැදිලා නිසා අපේ පුතා වෛද්‍යවරයකු ළඟට අරගෙන යන්න අමතක කරන්න එපා කියලා," යැයි ඇය පැවසුවාය.
එම යුවළගේ පස් හැවිරිදි පුතා තම පියා නිවසට එන්නේ කවදාදැයි නිතර විමසන බව ද ඇය තවදුරටත් පැවසුවාය.








