ඉරානයේ ගුවන් අනතුර "අත්වැරදීමකින්" එල්ල වුණ මිසයිල ප්‍රහාරයක් ද?

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය 176 දෙනාගෙන් පහළොස් දෙනෙකු දරුවන්ය

යුක්‍රේනයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය ටෙහෙරාන් නුවරට කඩා වැටීමට හේතුව අත්වැරදීමකින් හෝ සිදු කළ ඉරාන මිසයිල ප්‍රහාරයක් බව යුරෝපා නායකයෝ පවසති.

176 දෙනෙකුට මරු කැඳවූ මෙම අනතුර පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස කැනඩාව සහ එක්සත් රාජධානියේ නායකයන් ඉල්ලීම් කර තිබේ.

ජනවාරි 8 වෙනි දින ඉරාන ගුවන් හමුදාව මිසයිල ප්‍රහාරයක් දියත් කළේය.

ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ගුවන් යානා අනතුර සිදු වූයේ මෙම ප්‍රහාරවලින් පැය කීපයකට පසුවය.

ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් සිටි ඉරානය අදාළ මගී ගුවන් යානය යුද ගුවන් යානයක් ලෙස වරදවා වටහාගෙන ප්‍රහාර එල්ල කර ඇතැයි අනතුර සිදු වූ කාල වේලාව අධ්‍යයනය කිරීමෙන් හැඟී යන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මිසයිල දෙකක් එල්ල කරන "විශාල ශබ්දය" සමඟ පිපිරුමක ශබ්දයක් චන්ද්‍රිකාවල සටහන් වී ඇතැයි ඇමරිකානු බුද්ධි අංශ පැවසූ බව CBS සේවය වාර්තා කර තිබිණි.

කෙසේනමුත්, 'නිව්ස්වීක්' පුවත් සේවය වාර්තා කර ඇත්තේ PS752 යුක්‍රේන ගුවන් යානයට රුසියාවේ නිෂ්පාදිත 'ටෝ' මිසයිලයක් එල්ල වී ඇති බව පෙන්ටගනය මෙන්ම ඇමරිකානු සහ ඉරාන බුද්ධි නිලධාරීන් විශ්වාස කරන බවය.

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරෙන් මියගිය කැනේඩියානු පවුලක්

රාත්‍රී අහසේ එල්ල වුණ මිසයිලයක් ගුවන් යානයේ ගැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිව්යෝක් ටයිම්ස්හි පළ කර තිබිණි. තත්පර දහයකට පසු පොළොවෙන් විශාල ශබ්දයක් ඇසෙන අතර, ගිනිගෙන දැවෙන ගුවන් යානය දිගටම පියාසර කරන ආකාරය ද දැක්වේ.

ගුවන් අනතුර ගැන තමන්ට "සැකයක්" ඇති බව බ්‍රහස්පතින්දා (ජනවාරි 9) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

පරීක්ෂණ පවත්වන්නේ කවුද?

ජනවාරි 3වෙනි දින බැග්ඩෑඩ් නුවරදී සිය ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු වූ කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමීමත් සමඟ ඇති වූ උණුසුම් තත්වය හේතුවෙන්, අනතුරට පත් ගුවන් යානයේ වාර්තා සටහන් වී ඇති කළු පෙට්ටිය බෝයිං සමාගමට හෝ ඇමරිකාවට ලබා නොදෙන බව ඉරානය මුලින් පැවසීය.

නමුත් මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකාවට ආරාධනා කළ අතර, ඇමරිකාවේ ජාතික ගමනාගමන ආරක්ෂක මණ්ඩලයෙන් පරීක්ෂණ නිලධාරියෙකු ද පත් කර ඇතැයි ඉරාන බලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.

ඇමරිකාවේ ජාතික ගමනාගමන ආරක්ෂක මණ්ඩලයෙන් පවත්වන පරීක්ෂණ සඳහා සහය ලබා දෙන බව බෝයිං සමාගම පවසන අතර, කැනඩා ගමනාගමන මණ්ඩලටද පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස ටෙහෙරාන්වලින් ආරාධනා ලැබී ඇතැයි කැනඩාව පවසන්නේය.

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් මල් පුදන කාන්තාවක්

ජාත්‍යන්තර ගුවන් නීතියට අනුව ඉරානයට පරීක්ෂණ මෙහෙයවීමේ අයිතිය ඇති නමුත්, ගුවන් යානා සමාගම සාමාන්‍යයෙන් පරීක්ෂණවලට එකතු වෙයි.

ගුවන් යානය කඩා වැටුණු ස්ථානය සමතලා කර දමන ආකාරය ඉරාන රූපවාහිනී නාලිකාවල පසුව විකාශනය විය.

මිසයිල ප්‍රහාරයක් විය හැකි බවට ඉදිරිපත් වූ කරුණු මොනවා ද?

ප්‍රහාරයකින් ගුවන් යානාව බිම හෙලූ බවට මූලාශ්‍ර කීපයකින් බුද්ධි අංශ තොරතුරු තමන්ට ලැබුණු අතර, එය බොහෝ විට සැලසුම් නොකරන ලද ප්‍රහාරයක් විය හැකි යැයි කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ පැවසීය.

"මේ තත්වය හේතුවෙන් දැඩි පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍යයි. කැනේඩියානුවන් අසන ප්‍රශ්නවලට ඔවුන්ට උත්තර ලැබිය යුතුයි."

නමුත්, යම් පාර්ශවයකට චෝදනා කර නිගමනවලට එළඹීමට තවමත් නොහැකි යැයි පැවසූ අගමැතිවරයා සාක්ෂි ගැන වැඩිදුර විස්තර කීම ප්‍රතික්ෂේප කළේය.

යානය තුළ කැනේඩියානුවන් 63 දෙනෙකු සිටි අතර, යුක්‍රේනයේ කීව් නගරයේ සිට තවත් බොහෝ පිරිසක් යානයට නැගීමට නියමිතව සිටියහ.

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින්...

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ජස්ටින් ට්රූඩෝ හා සමාන ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ගුවන් අනතුරේ බලපෑම එල්ල වී ඇති කැනඩාව ඇතුළු අනෙක් රටවල් සමඟ බ්‍රිතාන්‍ය ඉතා සමීපව කටයුතු කරන බව ද පවසා ඇත.

"UIA 752 ගුවන් යානයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වීම සහ පවතින උණුසුම් තත්වය" හේතුවෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ඉරානයට යෑමෙන් වැළකී සිටින ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් කැනඩාවේ සිට ප්‍රකාශයක් නිකුත් කළේය.

මේ අතර, යුක්‍රේන ගුවන් යානයට රුසියාවේ නිෂ්පාදිත 'ටෝ' මිසයිලයක් එල්ල වී ඇති බව ඇමරිකානු සහ ඉරාන බුද්ධි නිලධාරීන් නිව්ස්වීක් පුවත් සේවයට පවසා තිබිණි.

එමෙන්ම, මෙය අත්වැරදීමක් බවට තක්සේරු කර ඇතැයි පෙන්ටගනයේ නිලධාරීන් දෙදෙනෙකු නිව්ස්වීක් පුවත් සේවයට පවසා තිබිණි.

ඉරාකයේ හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල කළ පසුව ද ඉරාන ගුවන් ප්‍රහාරක අවි පද්ධතිය ක්‍රියාශීලීව තිබෙන්නට ඇති බව මුලාශ්‍ර දක්වමින් ඔවුන් පවසා ඇත.

Search and rescue teams comb the wreckage of a Boeing 737 that crashed near Imam Khomeini Airport in Iran just after takeoff on January 08, 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැටුම් පවතින කලාපවල දී ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කර බිම හෙළීම මින් පෙර සිදුව ඇතත්, මෙය අසාමාන්‍ය අවස්ථාවකි.

කෙසේනමුත්, පෙන්ටගනය මේ වනතෙක් අදාළ සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැත.

යුක්‍රේනයේ ආරක්ෂක ලේකම් ඔලෙක්සි දනිලොෆ් යුක්‍රේන භාෂාවෙන් පළ කළ ෆේස්බුක් සටහනක දැක්වෙන්නේ, අදාළ යානයට ටෝ මිසයිලයක් එල්ල වීම සැක කළ හැකි අවස්ථා හතරින් එකක් බවය. අනෙක් කරුණු නම්:

  • ඩ්‍රෝනයක් හෝ වෙනත් පියාඹන වස්තුවක් යානයේ ගැටීමෙන්
  • තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එන්ජිම පුපුරා යෑමෙන්
  • ත්‍රස්ත ක්‍රියාවක් ලෙස යානය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබීමෙන්

යානය කඩා වැටුණු ස්ථානයේ මිසයිල කොටස් ඇත්දැයි සෙවීමට යුක්‍රේන පරීක්ෂකයන් ඉරානයට මේ වන විටත් යවා ඇතැයි ඔලෙක්සි දනිලොෆ් පැවසීය. ඉරානය සතුව ඇත්තේ රුසියානු මිසයිල පද්ධතියක් බව සඳහන් වේ.

ඉරානය පවසන්නේ කුමක්ද?

"මේ ගුවන් යානය ගුවන් තොටුපොළෙන් ඉවතට ගොස් බටහිර දිශාවට පියාසර කරමින් සිටියා. ඊට පසු දකුණට හැරී නැවත ගුවන් තොටුපොළ දිශාවට එනකොට කඩාගෙන වැටුණා," යැයි ඉරාන සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රධානියා වන අලි අබේඩ්සාදේ පැවසීය.

ඉමාම් කමේනි ගුවන් තොටුපොළට නැවත පියාසර කරන විට හදිසි තත්වයක් පිළිබඳ ගුවන් නියමුවන් පාලක මැදිරියට ඇමතුමක් ලබා දී නොමැති අතර, යානය "ගිනිගත්" බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ යැයි අලි අබේඩ්සාදේ පැවසුවේය.

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කීව් නගරයට පියාසර කරමින් තිබූ යුක්‍රේන ගුවන් යානයේ මගීන් 167ක් සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු සිට ඇත.

"විද්‍යාවට අනුව බලන කළ යුක්‍රේන යානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් කළ නොහැකියි. ඒ කටකතාවල තර්කයක් නැහැ," ඔහු පැවසීය.

සිද්ධිය පිළිබඳ වාර්තා සියල්ල "මානසික යුද්ධයක්" බව ඉරාන රජයේ ප්‍රකාශක අලි රබියි පැවසුවේය.

"ගුවන් යානයේ සිටි පුද්ගලයන් අයත් රටවලට පරීක්ෂණ සඳහා ඔවුන්ගේ නියෝජිතයන් ඉරානයට එවන්න යැයි ඉල්ලා සිටින අතර,කළු පෙට්ටියේ පරීක්ෂණ පැවැත්වීම සඳහා බෝයිං සමාගමේ නියෝජිතයන්ට මෙහි පැමිණෙන ලෙසට ඉල්ලා සිටිනවා," ඔහු තවදුරටත් පැවසීය.

'මෙය අසාමාන්‍ය අත්වැරදීමක්'

අත්වැරදීමකින් එල්ල කළ ප්‍රහාරයකින් ගුවන් යානය විනාශ වූ බවට බොහෝ කරුණු, අදහස් සහ යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

ගැටුම් පවතින කලාපවල දී ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කර බිම හෙළීම මින් පෙර සිදුව ඇතත්, මෙය අසාමාන්‍ය අවස්ථාවකි.

නියමිත කාලයට පියාසර කිරීම ආරම්භ කළ මෙම යානය ගුවන් තොටුපොළෙන් පිටත් වූවා පමණි. එය හඳුනාගැනීමේ අපහසුතාවක් ද නොමැත.

මේ තොරතුරුද කියවන්න:

Ukraine plane crash in Iran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙය ඉරාන බලධාරීන් දැඩි අපහසුතාවට පත් කරන අවස්තාවක් වන අතර, මෙම සිද්ධියට පදනම් වූ දේශපාලනය තවත් අවුල් වියවුල් කරනු ඇත.

මේ වන විට දන්නා කරුණු මොනවා ද?

කීව් නගරයට පියාසර කරමින් තිබූ යුක්‍රේන ගුවන් යානයේ මගීන් 167ක් සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු සිට ඇත.

ඉන් බොහෝ දෙනෙකු ඉරාන සහ කැනේඩියානු ජාතිකයන්ය.

යානය කඩා වැටුණු දින ඉතා පැහැදිලි කාලගුණ තත්වයක් පැවති බව Flightradar24 ගුවන් ගමන් වෙබ් අඩවියේ පළ කර ඇත. යානයේ පළපුරුදු කාර්යමණ්ඩලයක් සිටි බව ගුවන් සමාගම පැවසීය.

එහි සිටි පිරිසෙන් 82ක් ඉරාන ජාතිකයන් වන අතර, කැනේඩියානු ජාතිකයන් 63ක්, යුක්‍රේන ජාතිකයන් 11ක්, ස්වීඩන් ජාතිකයන් 10ක්, ඇෆ්ගනිස්තාන ජාතිකයන් හතරක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් හතරක් සහ ජර්මානු ජාතිකයන් තිදෙනෙකු සිටි අතර, මියගිය 176 දෙනාගෙන් පහළොස් දෙනෙකු දරුවන්ය.

තවත් තොරතුරු: