ඉරාන ප්‍රහාරය: ඉරාන - අමෙරිකා අර්බුද මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට දැනෙන හැටි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අඟහරුවාදා (ජනවාරි 7) රාත්‍රියේ ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.
එම ප්‍රහාරය එල්ල වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ජනවාරි 3වෙනිදා ඉරාන හමුදා නායකයා ඉරාකයේ 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රතිචාර වශයෙනි.
මේ අතර ජනවාරි 7වෙනි දින පැවති ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණ අතර එයට ලක්ෂ ගණනක පිරිසක් සහභාගී වූහ. මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත් වූහ.
ජනවාරි 6 වෙනි දින ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යාංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, "ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා," යනුවෙනි.
එමෙන්ම, "මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශව ඉතා ඉවසීමෙන් කටයුතු කර සාකච්ඡා මඟින් ගැටලු නිරාකරණය කරගෙන කලාපයේ සාමය සහ ආරක්ෂාව රැක ගන්න යැයි ඉල්ලීමක් කරනවා," යනුවෙන්ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.
මේ අතර පර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ - ලන්ඩන් - කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය බදාදා (ජනවාරි 08) නිවේදනය කළේය.
ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානය සහ ඉරාකයට අයත් ගුවන් කලාපය මඟ හරිනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැදපෙරදිග දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස්
මෙම ගැටුම් පිළිබඳ මැද පෙරදිග රැකියාවේ නිරත ශ්‍රී ලාකිකයන් කිහිපදෙනෙකුගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය.
සෞදි අරාබිය
"අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. නමුත්, ගල්ෆ් කලාපයේ යුද්ධයක් පටන් ගනී කියලා ලොකු බයක් තියෙනවා. එහෙම වුණොත් අමාරුවෙන් සොයා ගත්ත මේ රස්සාව පවා නැති වෙන්න පුළුවන්. එය අවසානයේ බලපාන්නේ දුප්පත් අපේ පවුලේ ආර්ථිකයට," සෞදි අරාබියේ රෝහලක හෙද සේවයේ නියුතු පුෂ්පා බණ්ඩාර පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
බැංකු නිලධාරියෙකු වශයෙන් සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෛනික රාජකාරී කටයුතුවලට මෙම ගැටුම්කාරී තත්වයෙන් බලපෑම් එල්ල වී නොමැති බවය.
"සාමාන්‍යය වැසියන්ට මෙයින් විශේෂයෙන් බලපෑමක් එල්ල වෙලා නැහැ. නමුත් පාලන තන්ත්‍රයේ අය මෙයට සම්බන්ධ වෙලා ඇති. මෙයින් ආර්ථිකයට එල්ලවන බලපෑම සහ තෙල් මිල ගැන තමයි අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඉරාකයේ ඇමරිකානු හමුදා මූලස්ථානයේ රැකියාව කරන මගේ යහළුවෙක් ඉන්නවා. ඔහුට දුරකතන ඇමතුම් ගන්න බැහැ. හැබැයි, කෙටි පණිවිඩයකින් කිව්වා ඔවුන් ආරක්‍ෂිත තැනකට මාරු වුණා කියලා," ඔහු තවදුරටත් පැවසුවේය.
කටාර්
"ඒ කලාපයේ රටක රැකියාව කරන නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කරන්න මට බයක් තිබෙනවා. කොහොමත් යුද්ධයක් නම් එපා" යැයි කටාර්හි කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාව කරන නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසීය.
"ලොකුම දුක තියෙන්නේ මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත් රටවල්වල ආර්ථිකයට ඇති වන බලපෑම ගැනයි," ඔහු පැවසුවේය.
ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ජනාධිපති හසන් රෞහානි පැවසුවේ "ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යනුවෙනි.
පෙන්ටගනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න," යනුවෙනි.
එමෙන්ම, ඉරානය ඇමෙරිකානුවන් හෝ ඇමෙරිකානු දේපොළ ආදිය ඉලක්ක කොට පහර දුනහොත් " ඒ සැනින් ඉරානයේ ස්ථාන පනස් දෙකකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.
දෙරට අතර යුදමය සූදානමක් දක්නට ලැබෙද්දී වාග් ප්‍රහාර ද දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරාකයේ ඇමරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
"අපේ රටවැසියන් සහ ප්‍රධාන පෙළේ හමුදා නායකයන් ඉලක්ක කර එල්ල කළ බයාදු ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වෙනි වගන්තියට අනුකුලව ආත්ම ආරක්ෂාව සඳහා අපි ප්‍රතිප්‍රහාර එල්ල කළා."
"අපිට මෙය යුද්ධයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂක පියවර අනුගමනය කරනවා," එම පණිවිඩයේ සඳහන් වන්නේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ශ්රී ලංකාව සහ ඉරානය අතර සම්බන්ධතා
1961 දී ශ්‍රී ලංකාව (එකල සිලෝන්) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටවූ තානාපති කාර්යාලය හරහා ඉරානය සමග සබඳතා පැවැත්වීය.
ඉරානය 1975 දී සිය තානාපති කාර්යාලයක් කොළඹ නගරය තුළ පිහිටුවන ලද අතර, 1990 දී ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කෙරිණි.
මෑත ඉතිහාසය දෙස බැලූ කළ, 2018 වර්ෂයේ දී ඉරානයේ නිල සංචාරයක නිරත වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට නායකයෝ සාකච්ඡා පැවැත්වූහ.
ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර පනහකට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත‍්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස නායක හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරානයෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන් තේ අපනයනය කරන රටවල් අතරෙන් එකක් වන ඉරානය, එය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රෞහානි සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද්, සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යෙදුණු පළමු ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ද පැමිණුනු අතර එවක ජනපති මහින්ද රාජපක්ෂ ද ඉතා සමීප මිත්‍රත්වයක් ඉරානය සමග ගොඩනගාගෙන තිබිණි.
ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මෙගාවොට් 100 ක පමණ ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් සහිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය ඩොලර් මිලියන 450-500 අතර ආධාර මුදලක් ලබා දීමට ද එකඟ විණි.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙන්ම සමාජීය, දේශපාලනික වශයෙන් දෙරට අතර බොහෝ සම්බන්ධතා රාශියක් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ කාල වකවානුවේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා දීමට ඇමරිකාව ක්‍රියා කර ඇත.
1961 දී ජෝන්. එෆ් කෙනඩි ජනාධිපතිවරයා යටතේ පිහිට වූ ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට, විරැකියාව අඩු කිරීමට, නිවාස සංවර්ධනයට, කොළඹ කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට, අධිකරණ පද්ධතිය නවීකරණයට සහ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නැංවීමට ආධාර විශාල ප්‍රමාණවලින් සපයා තිබේ.
2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ද ඇමරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට විශාල ණය ආධාර සහ උපකාර ලැබිණි.
කෙසේවෙතත්, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තැබීමට යෝජිතව තිබූ MCC (Millennium Challenge Compact), 'සෝෆා' (Status of Forces Agreement) වැනි ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සංවාදයක් මතු වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසානයේ දී හමුදාව යුධ අපරාධ කළ බවට චෝදනා නඟමින් ඇමරිකාව මුල් වී, 2012 සහ 2013 යන වසර වල දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජනා දෙකක් සම්මත කර ගත්තේය.
2014 වසරේ පැවති මානව හිමිකම් සැසියේදීද, ශ්‍රී ලංකාව තුළ සිදු වූවා යැයි කියන යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනාවක් ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් නැවත වතාවක් සම්මත කර ගනු ලැබිණි.








