කාසෙම් සොලෙයිමානි: ඇමරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ ඉහළම හමුදා නායකයෙක් මරුට

Qasem Soleimani

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙනරාල් කාසෙම් සොලෙයිමානි

ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මිය ගොස් තිබේ.

මැද පෙරදිග හමුදා ක්‍රියාන්විත මෙහෙය වූ 62 හැවිදිරි ජෙනරාල්වරයා ඉරානයේ බලවත් 'කොඩ්ස් බලකායේ' ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය.

හමුදා නායකයා ඇතුළු ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම්වල පිරිසක් මරණයට පත් කළ ගුවන් ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළට එල්ල කර තිබිණි.

මෙම සිද්ධියත් සමඟ වොෂිංටන් සහ ටෙහෙරාන් අතර පවතින භේදය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.

"අපරාධකරුවන්ගෙන් දැඩි ලෙස පලිගැනීමට බලාපොරොත්තු වෙනවා," යැයි ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි කමේනි පැවසීය. එමෙන්ම, ඔහු ඉරානයේ දින තුනක ශෝක කාලයක් නිවේදනය කළේය.

Qasem Soleimani

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක හමුදා නායකයෙකු වන අබු මහදි අල්-මුහන්දිස් ද (මැද) මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.

අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් කාසෙම් සොලෙයිමානිය. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය 'විප්ලවීය හමුදාවේ' විශේෂ අංශයකි. එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය.

නමුත් එම අණ දෙන නිලධාරියා ඇතුළු කොඩ්ස් බලකාය ත්‍රස්තවාදීන් බව පවසන ඇමෙරිකාව, ඇමරිකානුවන් සිය ගණනකගේ මරණවලට ඔවුන් වගකිව යුතු බව පවසයි.

ගුවන් ප්‍රහාරය එල්ල වන විට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ පිළිබඳ පුවත සැලවූ වහා ඇමරිකානු ධජයේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි.

ජෙනරාල් කාසෙම් සොලෙයිමානි "ඉරාකය ඇතුළු කලාපයේ සිටින ඇමරිකානු රාජතාන්ත්‍රිකයන්ට සහ හමුදා සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටියා," යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Qasem Soleimani

ඡායාරූප මූලාශ්‍රය, AFP

"ඉරානය සැලසුම් කළ ප්‍රහාර නැවත්වීමටයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර, ප්‍රහාරය එල්ල වීමත් සමඟ ලෝක වෙළෙඳපොළෙහි තෙල් මිල 4%ට වඩා ඉහළ ගොස් ඇත.

මේ තොරතුරු ද කියවන්න:

සිදුවූයේ කුමක් ද?

ජෙනරාල් කාසෙම් සොලෙයිමානි සහ ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වල නිලධාරීන් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් මෝටර් රථ දෙකක නැගී පිටත් වන අවස්ථාවේ ඩ්‍රෝන මඟින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අණදෙන නිලධාරීවරයා ලෙබනන් හෝ සිරියාවේ සිට ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි වාර්තා වේ. පිරිස ගමන් ගත් මෝටර් රථවලට මිසයිල ප්‍රහාර කීපයක් එල්ල වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඉරාක සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන අබු මහදි අල්-මුහන්දිස් ද මිය ගිය අය අතර සිටි බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.

"විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න" යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

"ලෝකයේ පුරා සිටින අපේ ජනතාව සහ අපේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සියලු පියවර ගැනීම ඇමරිකාව නොනවත්වා ගන්නවා," යැයි එහි තවදුරටත් සඳහන් වේ.

Qasem Soleimani

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා නායකයාගේ ඝාතනයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන උද්ඝෝෂණ.

බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට උද්ඝෝෂකයෝ පහර එල්ල කර එහි සිටි ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ගැටීමෙන් දින කීපයකට පසු මෙම ගුවන් ප්‍රහාරය එල්ල විණි. කාසෙම් සොලෙයිමානි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ බව පෙන්ටගනය පැවසීය.

ඉරානය කුමක් පවසන්නේ ද?

"මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක්." යැයි කී ඉරාන විදේශ කටයුතු ඇමති ජාවඩ් සරීෆ් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියේ "මේ මැර, අවදානම් ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට ඇමරිකාව වගකීම දරාගත යුතුයි," යනුවෙනි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඉරානය "ඇමරිකාවෙන් දරුණු විදියට පළිගන්නවා" ඇතැයි විප්ලවීය හමුදාවේ හිටපු හමුදාපති මෝහ්සෙන් රෙසාඉ පැවසුවේය. "අපරාධ ක්‍රියාවක් වන මෙම ප්‍රහාරය" ගැන සාකච්ඡා කිරීම සඳහා එරට ප්‍රධාන පෙළේ ආරක්ෂක කමිටුවක් රැස් වීමට නියමිත බව ඉරාන රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි.

"ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යැයි ඉරාන ජනාධිපති හසන් රෞහානි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

Qasem Soleimani

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ඇමරිකානු හිරිහැරවලට එරෙහි වීමට ඉරානය ඇතුළු අනෙක් නිදහස් ජාතීන් තුළ ඇති අධිෂ්ඨානය ජෙනරාල්වරයාගේ මරණයත් සමඟ දෙගුණ වුණා," එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය.

කවුද මේ කාසෙම් සොලෙයිමානි?

කොඩ්ස් බලකාය යනු විදෙස් රටවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉරාන විප්ලවීය හමුදාවේ විශේෂ අංශයකි. 1998 වර්ෂයේ සිට එය මෙහෙයවූයේ මේජර් ජෙනරල් කාසෙම් සොලෙයිමානි ය.

කොඩ්ස් බලකාය සිරියානු ගැටුම්වලට ද සම්බන්ධ වී ඇති අතර, ජනාධිපති බශාර් අල්- අසාද්ට පක්ෂපාතී හමුදාවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, ඔවුන් සමඟ එක්ව සටන් කරන දහස් ගණනක් ෂියා මුස්ලිම්වරුන්ට අවි ලබා දීමට ද ක්‍රියා කර ඇත. එමෙන්ම, ඉරාකය තුළ ද ෂියා මුස්ලිම් බහුතරය සිටින සටන්කරුවන්ට IS සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආධාර ද ලබා දී තිබිණි.

කලෙක 'තපස් රැකි' ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මෙම ගැටුම් හේතුවෙන් ඉරානයේ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් විණි.

ලෙබනනයේ හෙස්බොල්ලා සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඇතුළු ඇමරිකාව විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කරනු ලැබ ඇති කණ්ඩායම්වලට මුදල්, පුහුණුව, අවි ආයුධ ලබා දීමේ "ඉරානයේ වර්ධනය කරන සහ ආධාර දෙන මූලික යාන්ත්‍රණය" කොඩ්ස් බලකාය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන තන්ත්‍රය චෝදනා කරයි.

ඉරානයේ විප්ලවීය හමුදාව සහ කොඩ්ස් බලකාය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය අප්‍රේල් මස ක්‍රියා කළේය.