ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි: "ඉරානයට යවන්න අපේ අලුත්ම අලුත් ලස්සන ආයුධ සූදානම්"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉරානය ඇමෙරිකානුවන් හෝ ඇමෙරිකානු දේපොළ ආදිය ඉලක්ක කොට පහර දුනහොත් " ඒ සැනින් ඉරානයේ ස්ථාන පනස් දෙකකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ, ඉරාන හමුදාවේ මුල් පෙළේ ජනරාල්වරයකු වූ කාසෙම් සුලෙයිමානි(Qasem Soleimani ) පසුගිය සිකුරාදා ඉරාකයේ 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ නියමුවන් නොමැති යානයක් යොදා ගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමෙන් අනතුරුව, දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වෙමින් පවතින අතරය.
සිය හමුදා නායකයා ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් "අමෙරිකාවෙන් පළිගන්නා" බවට ඉරානය තරයේ සපථ කර තිබේ.
"නිශ්චිත ඇමෙරිකානු දේපොළ ඉලක්ක කොට පහර දෙන බවට ඉරානය නිර්භීත විධියට කතා කරනවා. අපට පහර දුන්නොත් අපිත් සැණෙකින් රිදෙන්න ගහනවා. ඉරානයට ඉතා ඉහළ වටිනාකමක් ඇති ඒවගේම ඔවුන්ට සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන පනස් දෙකක්(52) අපි හඳුනාගෙන තිබෙනවා" ටෙහෙරාන් බලධාරීන්ට අනතුරු අඟවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩයෙහි දැක්වේ.
ප්‍රහාර සඳහා ස්ථාන පනස් දෙකක් තෝරා ගැනීම මගින්, 1979 වසරේ දී ඉරානය විසින් ටෙහෙරාන් නුවර පිහිටි සිය තානාපති කාර්යාලයෙන් ගෙන යන ලදුව වසරකට අධික කාලයක් ප්‍රාණ ඇපයේ තබාගන්න ලද ඇමෙරිකානුවන් පනස් දෙදෙනා සංකේතවත් කෙරෙන බවත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.
"ඇමෙරිකා එක්සත් ජනපදය යුද අවි සඳහා ඩොලර් 'ට්‍රිලියන' දෙකක් වැය කර තිබෙනවා. අපි තමයි මුළු ලෝකයේම දැවැන්තම, ඒවගේම හොඳම ශක්තිමත් යුද ශක්තිය! ඉරානය අපේ ඇමෙරිකානු කඳවුරකට, ඕනෑම ඇමෙරිකානුවෙකුට ගැහුවොත් අපි අපේ අලුත්ම ලස්සන අවි ආයුධ කීපයක් කිසිම පැකිළීමකින් තොරව ඔවුන්ට ලැබෙන්න සලස්වනවා"සිය 'ට්විටර්' පණිවුඩය මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට අනතුරු අඟවනු ලබන්නේ එවැනි වදන් සමූහයක් මගිනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඉරාන නායකත්වය,යුද යාන්ත්‍රණය සහ ආර්ථික මර්මස්ථාන පමණක් නොව "සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථානවලටත් පහර දෙන බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටී.
ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජනාත්මක අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් මගින් ප්‍රතිචාරය පළකළ ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ්(Mohammad Javad Zarif ) "ජනරාල් සුලෙයිමානි මරා දමනු ලැබීම ජාත්‍යන්තර නීතිය කඩකිරීමක් බවත් සංස්කෘතික කලාප ඉලක්ක කරගැනීම යුද අපරාධයක්" වන බවත් කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty
ඉරාන් 'හැකරුන් ඇමෙරිකානු වෙබ් අඩවියක
ජනාධිපති ට්‍රම්ප් ඉහත කී අනතුරු ඇඟවීම කර මඳ වේලාවකට පසු "ඉරානයේ සයිබර් ආරක්ෂක හැකරුන් කණ්ඩායම"( Iran Cyber Security Group Hackers) නමින් පෙනී සිටින සංවිධානයක් එක්සත් ජනපද ආණ්ඩුවේ ආයතනයක වෙබ් අඩවියකට පිවිසුණ බවක් දක්නට ලැබිණි.
එම කණ්ඩායම ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ වෙබ් අඩවියක පළ කර තිබූ පණිවුඩයකින් මෙලෙස ප්‍රකාශ විය.
"අපි අපේ කලාපයේ මිතුරන්ට දෙන සහයෝගය නතර නොකරමු. පලස්තීනයේ,යේමනයේ,බහරේනයේ පීඩා විඳින ජනතාවට, ඒවගේම සිරියාවේ සහ ඉරාකයේ ආණ්ඩුවලටත්,ලෙබනනයේ සහ පලස්තීනයේ සැබෑ 'මුජහදීන්' නැගීසිටීම්වලටත් අපි නිරන්තරයෙන් ම අපගේ සහයෝගය දෙන්නෙමු"
ජනාධිපති ට්‍රම්ප්ගේ මුහුණට පහර දෙනු ලැබ ඔහුගේ මුවෙන් රුධිරය වැගිරෙන ආකාරය දැක්වෙන පරිදි නිර්මාණය කරන ලද පින්තූරයක් ද එම ප්‍රකාශය සමඟ පළ කරනු ලැබ තිබිණි.
"මෙය ඉරාන සයිබර් ප්‍රහාර ශක්‍යතාවේ එක් කුඩා අවස්ථාවක් පමණි!"යනුවෙන් එහි දැක්විණි.
සෙනසුරාදා සිදුවීම්
ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහත කී 'ට්විටර්' පණිවුඩ නිකුත් කෙරුණේ ඔහුගේ නියෝගයක් පරිදි සිකුරාදා ඝාතනය කෙරුණු ජනරාල් සුලෙයිමානි වෙනුවෙන් බැග්ඩෑඩ් අගනුවර අති විශාල ජනකායක් සහභාගී වූ අවමඟුල් පෙරහැරකින් අනතුරුවය.
එම අවස්ථාවට සහභාගී වූ ජනතාව ඉරාකයේ ජාතික ධජය ලෙළවමින් "ඇමෙරිකාවට මරණය!("death to America") යනුවෙන් සටන් පාඨ කියූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම අවමඟුල් පෙරහැර නිමවීමෙන් මඳ වේලාවකට පසු එම කලාපය දෙදරවමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල විය. ඉන් එක ප්‍රහාරයක් එල්ල වුයේ බැග්ඩෑඩ් අගනුවර අධි ආරක්‍ෂිත කලාපයේ (Green Zone) පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට ය.
එම රොකට් ප්‍රහාර මගින් ජීවිත හානියක් නොවූ බව ඉරාක යුද හමුදාව සඳහන් කළේය.
සුලෙයිමානිගේ සිරුර ඉරානයට
මේ අතර ඉරිදා (ජනවාරි 05) උදෑසන ජනරාල් සුලෙයිමානිගේ මළසිරුර ඉරානයට ගෙන එන ලද බව ඉරානයේ IRIB පුවත් සේවය වාර්තා කළේය.
මරා දැමුණ යුද නායකයාගේ දේහය ඉරිදා අරුණෝදය උදාවීමටත් පෙර නිරිත දිග ඉරානයේ 'අහ්වාෂ්'(Ahvaz) නගරයට ළඟාවෙද්දී කළු පැහැති ඇඳුමින් සැරසුණ දහස් සංඛ්‍යාත ශෝකී ජනයා නගරයේ වීදිවල ඒකරාශීව ඔවුන්ගේ දෑත්වලින් පපුවට ගසා ගනිමින් ඇමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කළහ.
ජනරාල් සුලේය්මානිගේ දේහය ඇතුළත් ඇසුරුම ඉරානයේ ජාතික ධජයෙන් ආවරණය කර තිබුණ අතර, එය යුද හමුදා තූර්ය වාදන මැද ගුවන් යානයෙන් භූමිය කරා ගෙන එනු ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
1980 දශකයේ ඉරාන -ඉරාක යුද්ධයේ දී සොල්දාදුවකු වශයෙන් යුද වැදුණ හෙයින් සහ රටේ ඉහළම නායක අයතුල්ලා කමෙයිනිගේ කිට්ටු හිතෛෂී තැනැත්තෙකු වන හෙයින් 'යුද විරුවකු' ලෙස බොහෝ දෙනෙකුගේ සම්මානයට පාත්‍ර වූ ජනරාල් සුලෙයිමානිගේ පින්තූර සහ ඉරාන කොඩිය රැගත් ජනතාව 'මොලාවී' චතුරශ්‍රයේ (Mollavi Square) රැඳී සිටියහ.
ජනරාල් සුලෙයිමානිගේ මළ සිරුරත් සමඟ ඔහු හා ඝාතනයට ලක් වූ ඉරානයේ සහාය ලබන 'කටයිබ් හිස්බුල්ලා' කණ්ඩායමට අණ දුන් ඉරාක ජාතික අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු සෙසු පිරිසගේ සිරුරුද ඉරානයට ගෙනැවිත් ඇති අතර,ජනරාල්වරයාගේ අවසන් කටයුතු අඟහරුවාදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කොට ඇත.
ඉරානයේ ඉහළම නායකයා වන අයතුල්ලා කමෙයිනි, හෙට සඳුදා(ජනවාරි 06) ටෙහෙරාන් සරසවි භූමියේ දී ජනරාල් සුලෙයිමානිගේ දේහය වෙනුවෙන් යාඥා කිරීමට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
කෙන්යාවේත් ඉස්ලාමීය ප්‍රහාරයක්
මේ අතර ඇමෙරිකානු සහ කෙන්යා හමුදාවන් විසින් පාවිච්චි කරණු ලබන කෙන්යා භූමියේ පිහිටි යුද කඳවුරකට 'අල් ෂබාබ්'(al-Shabab) ඉස්ලාමීය සන්නද්ධ කැරලිකරුවන් පහර දුන් බවක් ද වාර්තා වෙයි.
ජනප්‍රිය සංචාරක කලාපයක් වන 'මණ්ඩා'(Manda Island) දූපතේ 'සිම්බා'(Camp Simba) යුද කඳවුරෙන් ගින්නක් සහ කළු දුමාරයක් දක්නට ලැබුණ බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන බව වාර්තා විය.
කැරලිකරුවන් මැඩ පැවැත්වූ බව කෙන්යා ආරක්ෂක හමුදා((KDF) පවසයි.
අල් ෂබාබ්(al-Shabab) කැරලිකරුවන් හතර දෙනෙක් මරා දමන ලද බවත් කෙන්යා යුද හමුදාව කියා සිටියි.
කියවන්න;








