ඔස්ට්‍රේලියාවේ නිවාස නොමැති අර්බුදයේ අලුත් ම ගොදුරු

71 හැවිරිදි මේරි වාසය කළ නිවසේ හිමිකරු ඇයව නෙරපා දැමූ අතර ඇයට වෙනත් දැරිය හැකි ස්ථානයක් කුලියට ගැනීමට නොහැකි වූ විට නිවාසයක් නොමැති තත්ත්වයට පත්වූවා ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 71 හැවිරිදි මේරි වාසය කළ නිවසේ හිමිකරු ඇයව නෙරපා දැමූ අතර ඇයට වෙනත් දැරිය හැකි ස්ථානයක් කුලියට ගැනීමට නොහැකි වූ විට නිවාසයක් නොමැති තත්ත්වයට පත්වූවා ය
    • Author, කැතී වොට්සන්
    • Role, ඔස්ට්‍රේලියා වාර්තාකරු, පර්ත් සිට

මේරි සිහින මැවූ විශ්‍රාම ජීවිතය මෙය නොවී ය.

වින්නඹු මාතාවක ලෙස සේවය කළ මේරි, තම සැමියා සමග ඔස්ට්‍රේලියාවේ වයඹ දිග මායිමේ - ඇගේ ජනේලයෙන් පිටත, විශාල හා රළු, සුන්දර කිම්බර්ලි ප්‍රදේශයේ පිහිටි ගව මධ්‍යස්ථානයක වසර ගණනාවක් ගත කළා ය.

කෙසේ වෙතත්, දැන් දුර්වල තත්ත්වයක පසු වන 71 හැවිරිදි ඇය දිවා රාත්‍රී වැඩි කාලයක් ගත කරන්නේ ඇගේ අබලන් වූ මෝටර් රථය තුළ ය. වර්තමානයේ ඇය වෙසෙන ස්ථානය අබියස දැකිය හැකි දර්ශනය පර්ත් වෙළෙඳ මධ්‍යස්ථානයක පොදු වැසිකිළි සංකීර්ණයකි.

මේරි යනු ඇයගේ සැබෑ නම නොවේ. ඇය මෙවැනි තත්ත්වයක ජීවත් වන බව ඇය දන්නා හඳුනන පිරිසට දැන ගැනීමට සැලැස්වීමට ඇයට අවශ්‍ය නැත.

ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත අනුව, දළ වශයෙන් ඕනෑ ම රාත්‍රියක නිවසක් නොමැති පුද්ගලයින් 122,000ක් අතර ඇය ද එක් අයෙකි.

මෑතකාලීන රජයේ වාර්තාවක් පවසන්නේ, අඩු ආදායම්ලාභීන්ගෙන් 40%ක් එම නිවාස නොමැති කණ්ඩායමට සම්බන්ධ වීමේ අවදානමක් පවතින බව ය.

මේරිට සිදුවූයේ එවැන්නකි. පසුගිය වසරේ ඇගේ නිවාස හිමියා ඇයගේ නිවාසය කෙටිකාලීන නවාතැන් සඳහා බදු දීමට තීරණය කළ විට ඇගේ මහල් නිවාසයෙන් නෙරපනු ලැබූ ඇයට රාජ්‍ය විශ්‍රාම වැටුපෙන් දැරිය හැකි ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය.

ඇගේ සැමියාට ද ඇයට උපකාර කිරීමට හැකියාවක් නොමැත - ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන ඔහු සාත්තු නිවාසයක වාසය කරයි.

"(එයා දැන ගත්තා නම්) එයා බය වෙයි. අනිවාර්යයෙන් ම එයාට ලැජ්ජා හිතෙයි," ඇය පවසයි.

දැන් ඇයගේ රෝද හතරේ නිවහන ඇයට අයත් බඩුබාහිරාදියෙන් පිරී තිබේ. පසුපසින් ඇති ඇවිදීමේ කොටස ඇඳුම් ගොඩවල් තිබේ. මගී ආසනයක් මත රයිස් පුඩිං ටින් එකක් තිබේ.

"ඒක මගේ රෑ කෑම එක. හැම දා ම වරදින්නෙ නෑ," වෙව්ලන දෑතින් ටින් එක අල්ලාගෙන ඇය පවසයි.

ඇයට සමහර විට නවාතැනක ඇඳක් ලැබේ. එහෙත්, බොහෝ රාත්‍රීවලදී, මේරි නවාතැන් ගන්නේ නගරයේ වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් සිටින ස්ථානයක ය. තමන් සිව් වරක් පහර දීම්වලට ලක්වූ බව ද, යළිත් එවැනි අවදානමකට ලක්වීමට අවශ්‍ය නැති බව ද ඇය පැහැදිලි කළා ය.

මේරි නිතර ම කසියි. එය මෑතකදී වර්ෂාවකට හසුවීමෙන් පසු ඇය නියුමෝනියා රෝගයට ගොදුරු වූ පසු ඇති වූ ප්‍රතිවිපාකයකි. මෝටර් රථයේ වීදුරු විවෘතව තිබියදී එහි බැටරිය ක්‍රියාවිරහිත වී ඇති අතර, එය ආරෝපණය කර ගැනීමට ඇයට මුදල් නොවී ය.

"ඔයාට ගෙයක් නැති කෙනෙක් කියලා මිනිස්සු දැන ගත්ත වෙලේ ඉදලා ඔයා තවදුරටත් මනුෂ්‍යයෙක් නොවන තත්ත්වයට පත් වෙනවා, ඔයා අනෙක් මිනිස්සුන්ගේ ජීවිතවලට කිසිදු වටිනාකමක් නැති තත්ත්වයට පත් වෙනවා."

මේරි ඇයගේ මෝටර් රථය තුළ මාස 9ක් තිස්සේ වාසය කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, මේරි ඇයගේ මෝටර් රථය තුළ මාස 9ක් තිස්සේ වාසය කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාතික නිවාස අර්බුදයක් මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ නිවාස අහිමි පුද්ගලයින් වෙනුවෙන් සපයන සේවා ඉල්ලීම් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. එම උපකාර ඉල්ලීම් කරන්නන් අතර පැහැදිලි බහුතරය කාන්තාවන් සහ දරුවන් ය. ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ නියෝජනය ද අතිරික්තයක් වී තිබේ.

මෑත වසරවලදී, වාර්තාගත නිවාස මිල, සමාජ නිවාස සඳහා අඩු ආයෝජන, නිවාසවල සාමාන්‍ය හිඟය සහ දැඩි ලෙස ඉහළ යන කුලී මුදල් යන කරුණු හේතුවෙන් රට තුළ වැඩි වන ජනගහනයෙන් වැඩි සංඛ්‍යාවකට ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීම දුෂ්කර වී තිබේ.

පසුගිය වසරේදී පමණක් පර්ත්හි කුලී මුදල් 20%ක සාමාන්‍ය අගයකින් ඉහළ ගොස් තිබේ. අප නගරයේ ගත කළ දින කිහිපය තුළ සෑම අයෙකුට ම බෙදා ගැනීමට කතාවක් තිබිණි.

හයිලි හෝකිං මට පවසන්නේ, ඇය සහ ඇගේ දියණිය ටසීෂා වසර හතරකට ආසන්න කාලයක් ටසීෂා තැන් තැන්වල සැරිසරමින් කූඩාරම්වල ජීවත් වූ බව ය.

"සතියකින් මට හොඳ නවාතැන් පහසුකම් සහ මටත් මගේ දුවටත් දෙන්නට ම කන්න පුළුවන් විදිහට ප්‍රමාණවත් මුදලක් මට ලැබේවි,” ඇය කඳුළු නවතා ගැනීමට වෙර දරයි.

"එහෙම නැති වුණොත්, යාළුවන්ගෙන්, පවුලේ අයගෙන් හෝ උපකාර කරන්න පුළුවන් කාගෙන හරි සල්ලි ටිකක් ඉල්ල ගන්නවා."

සේන්ට් පැට්‍රික් ප්‍රජා උපකාරක සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානී මයිකල් ප්‍යු පවසන්නේ, තරුණ සහ මහලු, රැකියාවල නිරත වන පවුල් සහ තනි පුද්ගලයින් ආදී ඕනෑ ම තරාතිරමක ජනතාවට නිවෙස් අහිමි වෙමින් පවතින බව ය.

"එක් හේතුවකින් පමණක් ජනතාව හෙවණක් නැති තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නේ විකල්ප කිහිපයක් විතරයි," ඔහු පවසයි.

"ඔවුන් දන්නෙ නෑ කොහෙන් පටන් ගන්න ද කියලා."

නිවාස 'මානව අයිතියක්' ද?

නිවාස අර්බුදය ජාතික වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවක් වී තිබෙන අතර, එරට පාර්ලිමේන්තුව තුළ ද එම තත්ත්වයෙහි වෙනසක් නැත.

බටහිර ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විල්සන් ටකර්, සංචාරකයා යන වචනයට කැමැත්තක් දැක්වුව ද, මෑතකදී "නිවාස නොමැති" දේශපාලනඥයෙකු ලෙස සිරස්තල මැවී ය.

එහෙත්, ටකර් මුලින් සඳහන් නොකළ දෙයක් වූයේ, ඔහු ඉඩම් හිමියෙකු ද වන බව ය. ඔහු පවසන්නේ, නිවසේ පදිංචි වී සිටි කුලී නිවැසියන් සිටියදී ම ඔහු නිවස මිල දී ගත් බව ය. ඔහු "අවදානම්" දේපොළ වෙළෙඳපොළක් ලෙස හඳුන්වන නිවසකින් ඔවුන් නෙරපා දැමීමට ඔහුට අවශ්‍ය නොවූ බව ද ඔහු පැවසීය.

එහෙයින් දැන්, පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල ටකර් හෝටල්වල රැඳී සිටියි. අනෙක් වේලාවල ඔහු සිය මෝටර් රථය තුළ මාර්ගයේ සිටින අතර නැතහොත් කූඩාරමක් තුළ සිටී.

"ඒත් ඒ වරප්‍රසාදය නැති ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ අය මේ අතලොස්සක් දේපළවලට සටන් කරන්න සේවයෙන් ඉවත් වෙනවා," ඔහු බීබීසීයට පවසයි.

 බටහිර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී විල්සන් ටකර් "නිවසක් නැති දේශපාලනඥයෙකු" ලෙස පුවත් මැවී ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, බටහිර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී විල්සන් ටකර් "නිවසක් නැති දේශපාලනඥයෙකු" ලෙස පුවත් මැවී ය

ෆෙඩ්රල් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ නිවාස ප්‍රශ්නය ද ඇති අතර, මන්ත්‍රීවරුන් එය නීත්‍යනුකූලව පිළිගත් මානව අයිතිවාසිකමක් බවට පත් කිරීමට සලකා බලමින් සිටිති.

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ අනුග්‍රහයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කළ නමුත් රජයේ සහයෝගය නොමැතිව එය සම්මත කිරීමට පහසු නැත.

නව නිවාස ඉදිකිරීම කඩිනම් කිරීමටත්, කුලී සහනාධාර සැපයීමටත්, සමාජයීය සහ දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස සංචිතයක් ඉදිකිරීමටත් මේ වසරේ අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක ප්‍රතිපාදන වෙන් කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නිවේදනය කළේ ය.

ප්‍රාන්ත සහ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් පවතින ගැටලු ද ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි මුලපිරීම් රාශියක් සිදු කර තිබේ.

එහෙත්, නිවාස නොමැති පුණ්‍යායතන වැඩෙන ඉල්ලුමට සරිලන ලෙස අමතර සහයෝගයක් ඉල්ලා මැසිවිලි නගමින් සිටින අතර, ආයෝජකයින් සඳහා ලාභදායී බදු සහන ඉවත් කිරීම හෝ කුලී නිවැසියන් සඳහා ආරක්ෂාව වැඩි කිරීම වැනි වඩාත් හදිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව උපදේශකයෝ පවසති.

මිනිසුන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක නිවාස කුලී මුදල් අතිශයින් ඉහළ දැමීම සම්බන්ධයෙන් නිවෙස් හිමියන්ට ද විවේචන එල්ල වී තිබේ. එමෙන් ම, නිවෙස් හිමියෙකුට කුලී නිවැසියෙකු ඉවත් කළ හැකි හේතු සීමා කිරීම සහ අඩු කිරීම පිළිබඳව සාකච්ඡා වී තිබේ.

එහෙත්, දේපොළ වෙළෙඳාම් කර්මාන්තය පවසන්නේ, නිවෙස් හිමියන් ද පීඩාවට පත්ව සිටින බව ය.

2022 මැයි මාසයේදී, ඔස්ට්‍රේලියා ඉතිහාසයේ වැඩි ම වේගයකින් පොළී අනුපාත ඉහළ යාමට පටන් ගත් අතර, මාස 18ක් තුළ 13 වරක් එය ඉහළ ගියේ ය.

"බටහිර ඔස්ට්‍රේලියාවේ දේපොළ වෙළෙඳ ආයතනයේ ප්‍රධාන විධායක කැත් හාර්ට් පවසන්නේ, "බොහෝ පුද්ගලයන්ට එක් ආයෝජන දේපොළක් පමණක් ඇති අතර ඔවුන්ගේ උකස් ආපසු ගෙවීම [එම දේපළ සඳහා] 50%කින් ඉහළ ගොස් තිබෙන," බව ය.

ඇය පවසන්නේ, කොන්දේසි දැනටමත් ප්‍රමාණවත් තරම් බලවත් වන අතර, කොරෝනා වසංගතයෙන් පසු කුලී ඉහළ නැංවීම සහ කුලී නිවැසියන් නෙරපා හැරීමේ තහනම වැනි ක්‍රියාමාර්ග ඉඩම් හිමියන් දිගු කාලීන කුලී වෙළඳපොළෙන් ඉවත් වීමට හේතු වූ බව ය.

"කොවිඩ් සමයේදී අප දුටු දෙය නම්… ආයෝජකයින්ගෙන් කුලියට ගැනීමට නිවාස 20,000කට මදක් අඩුවෙන් තිබෙන එකයි. ‘ඔබ දන්නවාද? ඒක ගොඩක් අමාරුයි.’’

මේ අතර, සෑම රාත්‍රියක ම විවිධ පුණ්‍යායතන මාරුවෙන් මාරුවට අවශ්‍ය අයට උපකාර කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ අතර, සෑම රාත්‍රියක ම විවිධ පුණ්‍යායතන මාරුවෙන් මාරුවට අවශ්‍ය අයට උපකාර කරයි

සවස් වන විට සහ මගීන් පර්ත් නගර මධ්‍යයේ පිහිටි ඔවුන්ගේ දිලිසෙන කාර්යාල ගොඩනැගිලිවලින් පිටව යන විට, යන්නට තැනක් නොමැති මිනිසුන් විශාල පිරිසක් දුම්රිය මාර්ගය අසල චතුරශ්‍රයක රැස්ව සිටිති.

ඔස්ට්‍රේලියානු ශීත සෘතුව දැන් ආරම්භ වී ඇති හෙයින්, විශාලතම කලබලයට හේතු වන්නේ ඇඳුම් පරිත්‍යාගයන් ය. සුපිරි වෙළෙඳසල් ආහාර පරිත්‍යාග කරයි, ඇඳුම් සේදීමේ සේවාවක්, ජංගම වෛද්‍යවරයෙක් සහ හිසකෙස් සකසන්නෙක් ද එහි සිටිති.

එමෙන් ම, පූජකවරු ද ආහාර සපයති.

මිෂෙල් රම්බෝල්ඩ් උපකාර කිරීම සඳහා ඔවුන් සමග එක් විය. මීට මාස කිහිපයකට පෙර ආධාර වශයෙන් ලැබුණු දේ භාර ගනු ලැබුවේ ඇය විසිනි. ලියාපදිංචි හෙදියක වන ඇය නිවසින් නෙරපා හැරීමෙන් පසු සහ ඇයගේ මෝටර් රථය විනාශ වී ගිය පසු ඇයට කිසිවත් ඉතිරි වූයේ නැත.

"මට මගේ රැකියාව නැති වුණේ, නවතින්න තැනක් සහ මෝටර් රථයක් නොතිබුණ නිස යි," මිෂෙල් පවසයි.

"මම ඉන්න ගෙයක් නැහැ කියල අනිත් අයට වැටහෙන්න ටික කාලයක් ගියා කියලා මට හිතෙනවා. මොක ද, මට ගෙයක් නැති බව පෙනුණෙ නෑ. ක්‍රමයෙන්, කාලයක් යනකොට සියල්ල අහිමි වුණා ම පාරට පුරුදු වෙනවා."

තාවකාලික නිවසක් ලබා ගැනීමට මිෂෙල්ට හැකි වූ අතර, ඇය මේ වන විට වෛද්‍යවරයෙකු යටතේ සේවය කරමින් යළිත් දෙපයින් නැගී සිටීමට සමත් වී තිබේ. එහෙත්, ආපසු පැමිණ උපකාර කිරීමට ඇය තවමත් කැමැත්තක් දක්වයි.

"මෙතනට එක වතාවක් ආවොත් මෙතනින් යන්න හිතෙන්නෙ නෑ," ඇය පවසයි. "ඒක වෙනස් දෙයක් කියල හිතෙන්න පුළුවන්, ඒත් මෙහෙ ඉන්න මිනිස්සු පවුලේ ම අය බවට පත් වෙනවා."

එහෙත්, සෑම මිෂෙල් වැන්නියකට ම, මේරි වැන්නන් විශාල පිරිසක් තවමත් අරගල කරමින් සිටිති.

මේරිට ඇති බරපතළ ම ප්‍රශ්නය තනිකම යි.

"රූපවාහිනියක් නෑ. කතා කරන්න අසල්වැසියෙක් නෑ," ඇය පවසයි.

"මිනිස්සු ගොඩක් වෙලාවට අපි දිහා බලලා 'දෙවියනේ වෙන කවුරුත් නෙවෙයි' කියලා ඉවතට යනවා."

අතිරේක වාර්තාකරණය - සයිමන් ඇට්කින්සන්