ත්‍රිවිධ හමුදාව: සේවය හැරයන සාමාජිකයින් සමාජගත කිරීමට නිසි වැඩපිළිවෙලක් තිබේද?

රජයකට අයත් සන්නද්ධ හමුදාවක් සෑම විටම රාජ්‍යයේ අරක්ෂාව වෙනුවෙන් ශාරීරිකව මෙන් මානසිකව ද පුහුණු කළ කණ්ඩායමකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රජයකට අයත් සන්නද්ධ හමුදාවක් සෑම විටම රාජ්‍යයේ අරක්ෂාව වෙනුවෙන් ශාරීරිකව මෙන් මානසිකව ද පුහුණු කළ කණ්ඩායමකි.රටේ යුදමය තත්වයක් පවතින්නේ නම් හෝ එම රට වෙනත් රටවල් සමඟ යුද්ධයකට පැටලී සිටින්නේ නම් එම තත්ත්වය තවත් පුළුල් ලෙස බලපායි. මෙම සන්නද්ධ හමුදා සාමාජිකයන් හට අවි පුහුණුව නිතැතින් ම හිමිවන අතර, දරාගැනීමේ හැකියාව සහ ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ඔවුන්ට හොඳ පුහුණුවක් තිබේ.

මේ නිසාම මෙවැනි කණ්ඩායම් විශ්‍රාම යාමේ දී හෝ සේවය හැර යාමේ දී පුනරුත්ථාපනයට සමාන විශේෂ වැඩසටහනකට සහභාගී කරවීමට බොහෝ රටවල් කටයුතු කරයි.

එයින් බලාපොරොත්තු වනේ ඔවුන් සතු දැනුම සිවිල් සමාජයට හානිදායක ලෙස භාවිත කිරීමෙන් වැළකී සිටීමත්, නැවත ඔවුන්ට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු ලෙස සිවිල් සමාජයේ ජීවත් වීමට අවස්ථාව ලබා දීමත් ය.

ශ්‍රී ලංකාවේ අපරාධවල මෑතකාලීන ප්‍රවණතාවය

මෑත කාලීන ව ශ්‍රී ලංකාවේ වාර්තා වූ මිනී මැරුම් හා විවිධ අපරාධ කිහිපයක් ම ප්‍රධාන සැකකරුවන් ලෙස හිටපු හා තවමත් සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් හෝ හමුදාවෙන් පලා ගිය අය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලදි. ඊට අමතර ව පාතාල කණ්ඩායම්වල වෙඩික්කරුවන් ලෙස කටයුතු කළ හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ වාර්තා විය.

බොහෝ අයට හමුදා සේවය හැරයාමෙන් පසුව නිසි ආදායම් මාර්ගයක් නොමැති වූ හෙයින් ජාවාරම්වලට යොමු වී ඇති අතර හමුදාවේ දී මුහුණ දුන් විවිධ අත්දැකීම් හේතුවෙන් ඇති වූ මානසික කම්පනයන් නිසා වෙනත් අපරාධවලට යොමු වූ අය ද සිටිති.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතියට අනුව හමුදා සේවයෙන් පැනගිය අයෙකුව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට බලය පවතින අතර ඔවුන්ට අවුරුදු තුනක් දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතියට අනුව හමුදා සේවයෙන් පැනගිය අයෙකුව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට බලය පවතින අතර ඔවුන්ට අවුරුදු තුනක් දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියි.

ඉදිරි වසර හත තුළ හමුදාවේ පිරිස අඩු කිරීමේ තීරණයක්

වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් 164,000කට ආසන්න පිරිසක් සේවය කරන අතර, ගුවන් හමුදාවේ 28,000ක් පමණත්, නාවික හමුදාවේ 41,000කට ආසන්න පිරිසක් ද සේවය කරන අතර ත්‍රිවිධ හමුදාවේ මුළු සාමාජිකයන් ගණන ලක්ෂ 2 ඉක්මවයි.

මෙවැනි පසුබිමක් යටතේ 2024 අයවැය විවාදයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඉදිරි වසර හතක කාලය තුළ හමුදාවේ පිරිස් බලය ක්‍රමානුකූලව සීමා කිරීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා එම විවාදයේ දී ප්‍රකාශ කළේ ලක්ෂ දෙකකට අධික හමුදාවේ පිරිස් බලය වසර හතක් තුළ ක්‍රමානුකූලව ලක්ෂයක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තුවන බවයි.

හමුදා පිරිස් බලය අඩු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි විවාදයන් පවතින අතරතුර එලෙස සේවයෙන් ඉවත් කෙරෙන ලක්ෂයක පිරිස නැවත සමාජයට එක් වීමේ දී සැලසුම්සහගත නොවුණහොත් එය විශාල සමාජ ප්‍රශ්නයකට මුල පිරීමක් වනු ඇත.

අන්තර්ග්‍රහණ වැඩසටහනක් කියන්නේ මොකක්ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම වැඩසටහන විවිධ රටවල්වල විවිධ නම්වලින් හඳුන්වයි. මෙම වැඩසටහන්වල මූලික ම අරමුණ වන්නේ විශ්‍රාම යන හෝ සේවය අතහැර යන හමුදා සාමාජිකයන් හට සිවිල් සමාජයේ නැවත සාමාන්‍ය ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමය.

මෙම වැඩසටහනක මූලික වශයෙන් ම මනෝ උපදේශන වැඩසටහන් මාලාවක් අඩංගු අතර ඒවා විශ්‍රාම යාමට හෝ සේවය අතහැර යාමට ආසන්න කාලයක දී ආරම්භ වී එම පුද්ගලයා සිවිල් සමාජයට සාර්ථක ලෙස අන්තර්ග්‍රහණයවන තෙක් පවත්වාගෙන යයි. ඇතැම් විට මෙම වැඩසටහන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පවා පවත්වනු ලබයි. එක්සත් ජනපදයේ හමුදා සේවයෙන් ඉවත්වන විට හෝ විශ්‍රාම යාම සම්පූර්ණ වීමට මෙම මනෝ උපදේශන වැඩසටහන් සඳහා සහභාගී වීම අනිවාර්යය අතර බොහෝ යුරෝපීය රටවල්වල තත්ත්වය ද එසේම ය.

මීට අමතර ව ඔවුන් හමුදා සේවය අවසන් කිරීමෙන් පසුව නව රැකියාවක් සඳහා යාමට ද මෙම වැඩසටහන්වලින් සහය දෙයි. අසල්වැසි ඉන්දියාවේ සාමාන්‍යයෙන් වසරකට 60,000ක පමණ හමුදා සාමාජිකයන් පිරිසක් විශ්‍රාම යන අතර, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිට වූ වෙනම දෙපාර්තමේන්තුවක් පවතියි. ඒ හරහා සේවය අවසන් කරන මිලිටරි සාමාජිකයන් හට විවිධ වෘත්තීය පුහුණු හා වෙනත් අධ්‍යාපන අවස්ථා ලබා දෙන අතර ඔවුන්ට රැකියාවකට යාමට ද සහය ලබා දෙයි. එක්සත් රාජධානියේ ද මෙම සහයෝගය ඔවුන්ගේ සේවය අවසන් කරන මිලිටරි සාමාජිකයන් හට ලබා දේ.

මීට අමතරව විවිධ රක්ෂණාවරණ, අරමුදල් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඔවුන්ට හිමිවන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක නිසා සේවය අවසන් කරන හමුදා සාමාජිකයන් හට නව ජීවිතයක් ආරම්භ කිරීමේ අවස්ථාව බොහෝ රටවල් හිමි කර දී තිබේ.

'ශ්‍රී ලංකාවේ එවැනි අඛණ්ඩ වැඩසටහනක් නෑ'

මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් හි ලක්ෂයකට අධික පිරිසක් වසර හතක් තුල කප්පාදු කරන බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පවසා ඇති පසුබිමක, එවැනි විශාල පිරිසක් හමුදාවෙන් ඉවත් කිරීමේ දී ඉහත කී ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ද යන කාරණය පිළිබඳව විමසීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළ නමුත් ඔහු ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ නැත.

පසුව බීබීසී සිංහල විසින් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ වර්තමානය වන විට එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. එහි දී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේ එවැනි අඛණ්ඩ වැඩසටහනක් නොමැති බවයි.

"යුද හමුදාව තුළ විවිධ මනෝ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒවා විශ්‍රාම යන අය ඉලක්ක කරලා සිදු කරන ඒවා නෙවෙයි. විශ්‍රාම යන අයට වෘත්තීය පුහුණු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපෙන් ඉල්ලීමක් කළොත් එවැනි පුහුණුවලට යොමු කරනවා."

හමුදාවෙන් පැනගිය අය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් ඔවුන්ව අල්ලාගෙනවිත් නීත්‍යානුකූලව කටයුතු කර ඔවුන්ගේ සේවය අවසන් කිරීම පමණක් සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට අන්තර්ග්‍රහණ වැඩසටහනක් අවශ්‍ය ද?

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ උපයන මුදල පවුලේ වියදම් සඳහා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. හමුදා සාමාජිකයෙක් යනු බොහෝ සාමාන්‍ය පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නායි. ඔවුන් විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුප ඔවුන්ගේ වියදම් සඳහා නිසැකයෙන් ම ප්‍රමාණවත් නොවන බව බැලූ බැල්මට ම වැටහේ. එමෙන් ම වර්තමානය වන විට රැකියා වෙළඳපොල ද සංකෝචනය වී ඇති නිසා නැවත රැකියාවක් සොයාගැනීම ඉතා අපහසු වී ඇත. එනිසා ආර්ථිකමය වශයෙන් ද සේවය අවසන් කරන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමේ සමාජ අවශ්‍යතාවක් නිර්මාණය වී තිබේ.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ එම සාමාජිකයන්ව මානසිකව පුහුණු කරවීමේ අවශ්‍යතාවය පිළිබඳව බීබීසී සිංහල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ඥානදාස පෙරේරාගෙන් විමසීමක් කරන ලදි.

"යුද්ධයක් පැවති රටක හමුදා සාමාජිකයන්ට පමණක් නෙවෙයි සිවිල් වැසියන්ට පවා මනෝ උපදේශනය සිදු කරනවා. නමුත් අපේ රටේ ඒක හමුදා සාමාජිකයන්ටවත් හරියට සිදු වුණේ නෑ," මහාචාර්යවරයා මුළපිරුවේ ය.

"කොහොමවුණත් වැඩිහිටි උපදේශනය කියන විෂය පථයට අනුව සෑම වැඩිහිටියෙකුගේ ම සංවර්ධනය කළ යුතු පැති තිබෙනවා. හමුදාවේ සිට විශ්‍රාම යන අයටත් මෙය විශේෂයෙන් වැදගත්."

"යුද්ධයට ගිහින් විශ්‍රාම යන හමුදාවේ හෝ වේවා, පොලිසියේ හෝ වේවා, විශේෂ කාර්ය බලකායේ හෝ වේවා මේ ඕනෑම කෙනෙක්ට එවැනි මනෝ උපදේශනයක් ලබා දීම අවශ්‍යයි. නමුත් සේවයේ යෙදී සිටින අයගේ පවා ආතති කළමනාකරණයට විධිමත් වැඩසටහනක් නෑ. අපි හැමදාම දකිනවා ලිංගිකත්වය වගේ සංවේදී මාතෘකා ගැන ඒවාට නුසුදුසු අය ඇවිත් පොලිසියට පවා දේශන තියනවා. වෘත්තිකයෙකුට කොයි තරම් ප්‍රශ්න තියෙනවා ද?එවැනි ආතති කළමනාකරණ පුහුණු නොමැති අවස්ථාවල දී මේ අයට ආතතිය කළමනාකරණය කරගන්න නොහැකි වෙලා විවිධ දේ සිදුවෙන්න පුළුවන්," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන නිලධාරීන් පුහුණු කිරීම විෂය භාර අමාත්‍යංශය යටතේ මට පවරලා තිබෙනවා. නමුත් අභ්‍යන්තර පරිපාලනයේ ඇති ගැටළු නිසා රැඳවියන් පලා යන තත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි කොයි තරම් පුහුණු වැඩසටහන් කලත් මදි මෙවැනි වැඩසටහනකට රජයට හොඳ දැක්මක් සහ සැලසුමක් තිබිය යුතුයි"

"යුද හමුදාව තුළ විවිධ මනෝ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒවා විශ්‍රාම යන අය ඉලක්ක කරලා සිදු කරන ඒවා නෙවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "යුද හමුදාව තුළ විවිධ මනෝ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒවා විශ්‍රාම යන අය ඉලක්ක කරලා සිදු කරන ඒවා නෙවෙයි."හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේය.

වර්තමානය වන විට විශේෂ කාර්ය බලකාය තුළ ආතති කළමනාකරණ මනෝ උපදේශන වැඩසටහනක් සිදුකෙරෙන බව මහාචාර්යවරයා පැවසුවේ ය.

"එස්ටීඑෆ් සාමාජිකයන් කිහිපදෙනෙකුම පහුගිය කාලයේ සියදිවිනසාගත්තා. එතැනින් පසුව තමයි මම සම්බන්ධ වෙලා මේ මනෝ උපදේශන වැඩසටහන ආරම්භ කළේ. දැනට අපි ඒ වැඩසටහනේ අදියර දෙකක් අවසන් කරලා තුන්වන අදියරේ සිටින්නේ. එහි න්‍යාය පත්‍රයට අපි මේ කියන කාරණාව, විශ්‍රාම යන අයටත් මනෝ උපදේශනයක් සිදු කළ යුතුයි කියලා ඇතුළත් කරලා තිබෙනවා. "

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීතියට අනුව හමුදා සේවයෙන් පැනගිය අයෙකුව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට බලය පවතින අතර ඔවුන්ට අවුරුදු තුනක් දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියි. එවැනි හමුදාවෙන් පැන ගිය අය අපරාධවලට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇති නිසා එවැනි පුද්ගලයන්ටත් මෙවැනි උපදේශනයක් අවශ්‍යදැයි මහාචාර්යවරයාගෙන් අප විමසන ලදි.

"හමුදාවෙන් පැනලා ගිහින් අල්ලාගෙන එන අය හෝ, අතරමැදදි මුදල් ගෙවලා හෝ ඉවත්වෙන අයටත් පුහුණුවක් අනිවාර්යයෙන් ම දිය යුතුයි. එහෙම දෙයක් නැති නිසා තමයි ඒවගේ අය අන්තිමේ දි විවිධ අපරාධ කරලා හිරේ ගිහින් අන්ත අසරණ තත්වයකට වැටෙන්නේ. ඔවුන් හමුදාවෙන් ඉවත් වෙලා යන්නේ මොන ක්ෂේත්‍රයකට වුණත් ඔවුන්ට යහපත් ඉලක්ක ලබා දීලා ඔවුන්ව හොඳ පුහුණුවකට යටත් කරලා නැවත සිවිල් සමාජයට යොමු කිරීමයි සිදු කළ යුත්තේ."