'මම මගේ පෙනුමට වෛර කළා. මං ඒ තත්ත්වයෙන් මිදුණේ මෙහෙම යි'

ඡායාරූප මූලාශ්‍රය, Charlotte Joy
- Author, එමිලි හෝල්ට්
- කියවීමේ කාලය: මිනිත්තු 5
අප බොහෝ දෙනෙකුට කැඩපත තුළින් දකින දේ තුළ පවතින වැරදි සොයාගත හැකි ය - නමුත් චාලට්හට ඇගේ පෙනුම කෙරෙහි පැවති දැඩි වෛරය නව යොවුන් වියේ මුල් අවධියේදී ම ඇගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නට විය.
''ස්කූල් බස් එක එන්නේ 08.30ට විතර වුණාට මම මගේ මේකප් එක දාගන්න උදේ 5.30ට විතර නැගිටිනවා,'' ඇය පවසයි.
"මම ඒක අනිවාර්යයෙන් ම දා ගන්නවා, අයින් කරනවා. ආයෙමත් දා ගන්නවා, ඊට පස්සේ ආයේ අයින් කරනවා."
චාලට් පවසන්නේ, විභාග සඳහා පෙනී සිටීමට හැර පාසලට යාමට නොහැකි වන තෙක් ඇය විසින් ම හුදෙකලා වූ බව ය. සිය ඡායාරූපයක් ලබා ගැනීමට පවා මුහුණ දීමට නොහැකි වූ බැවින් ඇය පාසලේ වර්ෂ අවසාන උත්සවයට පවා සහභාගී නොවූවා ය.
අවසානයේ හඳුනා ගත්තේ ඇය බොඩි ඩිස්මෝර්ෆික් ආබාධයෙන් (BDD) පෙළෙන බව ය.
බොඩි ඩිස්මෝර්ෆියා යනු පුද්ගලයෙකුගේ ශරීරය පිළිබඳ අතෘප්තිය පිළිබිඹු කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝවිට භාවිතා වන යෙදුමකි. නමුත් බොඩි ඩිස්මෝර්ෆික් ආබාධය යනු ඔබේ පෙනුම ගැන ඇති වන කනගාටුව සහ අසහනය ඔබගේ දෛනික ජීවිතයට බාධා කිරීමට පටන් ගන්නා අවස්ථාව බව බව ඇන්ග්ලියා රස්කින් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය විරේන් ස්වාමි පවසයි.
ඔබ හොඳින් සිටින බව අන් අය සිතුවත්, ඔබ ඔබේ පෙනුම ගැන බොහෝ කරදර වන විට එය සිදු වේ. එය සමග ගනුදෙනු කරන පුද්ගලයාට එය ඉතා වැරදි ලෙස දැනිය හැකි බව ස්වාමි බීබීසී පොඩ්කාස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
බොඩි ඩිස්මෝර්ෆික් ආබාධයේ ලක්ෂණ ලෙස දැඩි මානසික වේදනාව, බොහෝ වේලාවක් කල්පනාවේ යෙදී සිටීම සහ පෙනුම පිළිබඳ සිතුවිලි පාලනය කර ගත නොහැකි වීම ආදිය දැකිය හැකි ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කැඩපත දෙස් බැලීම හෝ විරූපී හෝ අවලස්සන බවට හැඟෙන ශරීරයේ කොටස නැවත නැවතත් ස්පර්ශ කිරීම වැනි නිතර නිතර සිදු කරන ක්‍රියා ද එම ලක්ෂණ අතරට ඇතුළත් විය හැකි ය.
"ඔවුන්ගේ සම්පූර්ණ ලෝකය ම ශරීරයේ එම කොටසට සීමා වෙනවා. අනෙක් සියල්ලක් ම මැකිලා යනවා වගේ වෙනවා" ඔහු පවසයි.
ස්වාමි පවසන්නේ, කාන්තාවන් ශරීරය පිළිබඳ අතෘප්තිය අත්විඳීම බොහෝ සෙයින් සාමාන්‍ය වන නමුත් බොඩි ඩිස්මෝර්ෆික් ආබාධය සම්බන්ධයෙන් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පැහැදිලි වෙනසක් නොපෙනෙන බව ය.
චාලට් ලන්ඩනයේ කාංසාවට ප්‍රතිකාර කරන නේවාසික ඒකකයකට ඇතුළත් වීමට පෙර ඇය අයත් වන ප්‍රාදේශීය මානසික සෞඛ්‍ය සායනයේදී චිකිත්සාව ආරම්භ කළා ය.
"මම නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න කාලයේදී චිත්‍ර ඇඳීම, මැටි භාණ්ඩ නිර්මාණය, ගීත රචනය වගේ දේවල්වලින් වෘත්තීය චිකිත්සාව කළා. එතැනින් තමයි මට නැවත සංගීතයට පිවිසෙන්න හැකියාව ලැබුණේ," ඇය පවසයි.
''එය මට මගේ පරිපූර්ණත්වයට, අඳුරින් ආලෝකය වෙත ගෙන ඒමට සහ මා තුළ පැවැති ලැජ්ජා සහගතභාවය දුරු කිරීමට උදව් කළා.''
නේවාසික ප්‍රතිකාර ලබා රෝහලෙන් පැමිණි පසු ඇය අන් අයට උපකාර කිරීමේ අපේක්ෂාවෙන් ඇගේ කතාව අන්තර්ජාලය ඔස්සේ බෙදා ගැනීම ආරම්භ කළා ය.
එවැනි තත්ත්වයකින් පීඩා විඳින පුද්ගලයින්ගෙන් ස්වාමි ඉල්ලා සිටියේ පළමුව පවුලේ වෛද්‍යවරයාගේ සහය ලබා ගන්නා ලෙස ය.
ඔබ දන්නා හඳුනන කෙනෙකු බොඩි ඩිස්මෝර්ෆික් ආබාධ තත්ත්වය අත්විඳින බව ඔබ සිතන්නේ නම්, ඉවසිලිවන්තව හා සංවේදීව සිටීම වැදගත් බව ඔහු අවධාරණය කරයි. සෑම දිනකම ඔවුන්ගේ සිතුවිලි යහපත් බව පැවසීමට ඔවුන්ට යමෙකු අවශ්‍ය වීම සාමාන්‍ය දෙයක් බව ඔහු පැහැදිලි කරයි.
"මෙවැනි කතාබහ නවතා දමා කෝප වීම හෝ කළකිරීමට පත්වීම වෙනුවට, බොඩි ඩිස්මෝර්ෆික් ආබාධය යනු ඉබේ ම මගහැරී යන්නේ නැති මානසික සෞඛ්‍ය තත්ත්වයක් කියන එක හඳුනාගන්න. වෘත්තීයමය වශයෙන් සහයක් ලබා නොගත්තොත් එය බොහෝවිට තවත් නරක අතට හැරෙන්න පුළුවන්.''
'මං කොච්චර කැත ද කියන එක ගැන මට සමාව ඉල්ලන්න ඕන වුණා'

ඡායාරූප මූලාශ්‍රය, Tilly Kaye
ටිලීට ද ඇගේ පූර්ව යොවුන් වියේදී බොඩි ඩිස්මෝර්ෆික් ආබාධය වර්ධනය විය.
"මං කොච්චර කැතට හිටිය ද කියලා මට දැනුණා ද කියනවා නම් මාව පසුකර ගෙන ගිය මිනිසුන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ වගේ දෙයක් මට හිතුණා," ඇය පවසයි. "මට කවදාවත් පොදු ස්ථානයක තිබෙන කණ්ණාඩියකින්වත් බලන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ."
ඇය ඇඟට තද ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටි අතර උත්සව සහ සාද සඳහා ඇඳුම් තෝරා ගැනීම "අතිශයින් වේදනාකාරී" අත්දැකීමක් විය.
"එය සිදුවෙනවත් එක්ක ම මට යථා තත්ත්වයට පත් වෙන්න බැරි මට්ටමේ මානසික බිඳවැටීමක් ඇති කරනවා."
පළමුව ඇය සිතුවේ එය හීනමානය සහ මානසික අවපීඩනයක් බව ය.
"ඇත්තට ම මගේ පෙනුම හා සම්බන්ධ විවිධ අත්දැකීම් අතර තිබූ බැඳීම හඳුනා ගැනීමට තරම් දැනුවත්භාවයක් මට තිබුණේ නැහැ," ඇය පවසයි.
ඇය විලාසිතා නිර්මාණකරණය හැදෑරීමට විශ්වවිද්‍යාලයට ගිය විට ඇගේ බොඩි ඩිස්මෝර්ෆික් ආබාධයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙන්නට පටන් ගත්තේ, ඇය සෙසු පිරිස සමග ඇයව සංසන්දනය කිරීම හේතුවෙනි.
ටිලී වසර ගණනාවක් විවිධ චිකිත්සකයන් හමුවූ නමුත් ශරීරයේ පෙනුම පිළිබඳ විශේෂඥයෙකු හමුවීමට ඇයට අවස්ථාවක් නොලැබිණි.
ඇයට බොඩි ඩිස්මෝර්ෆික් ආබාධය ඇති බව හඳුනාගත් ජාතික සෞඛ්‍ය සේවයේ මනෝචිකිත්සකයෙක් ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ ය.
ටිලී පවසන්නේ, ඇය BDD පදනම සමග සහයක කණ්ඩායමකට සම්බන්ධ වූ බව සහ ඇගේ රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා පෞද්ගලික චිකිත්සකයෙකු සමග කටයුතු කළ බව ය.
බොඩි ඩිස්මෝර්ෆික් ආබාධයේ ලක්ෂණ පවතින ඕනෑ ම අයෙකු වෛද්‍යවරයෙකු සමග කතා කිරීමට පෙර මෙම තත්ත්වය පිළිබඳ පර්යේෂණ කර අවබෝධයක් ලබා ගැනීම වඩාත් සුදුසු බව ඇය නිර්දේශ කරයි.
''මෙයින් අදහස් කරන්නේ මිනිස්සුන්ට වැඩි විශ්වාසයකින් යුතුව නිවැරදි උපකාර ඉල්ලා සිටිය හැකි බව," ඇය වැඩිදුරටත් පවසයි.
දැන්, ටිලීට ඇගේ සිතුවිලි වඩා හොඳින් පාලනය කිරීමේ හැකියාව පවතී.
''මං කණ්ණාඩියෙන් බලාගෙන ලැහැස්ති වෙන්න හදනකොට ඒ පෙනෙන දේ දකින්න කැමති නැත්නම්, එහෙමත් නැත්නම් මට බයක් වගේ දෙයක් ඇවිත් කියලා හිතුණොත් දැන් මට ඒ හැඟීම ඉක්මනින් ම නවත්තගන්න පුළුවන්,'' ඇය පවසයි.
"මම මාව දකින විදිහ රඳා පවතින්නේ මනෝභාවය මත. ඒක අනිත් අය මාව දකින විදිහ නෙමෙයි. එයාලා මාව දකින්නේ ටිලී විදිහට විතර යි. "
ඇය පවසන්නේ, ඇගේ මනෝභාවය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව ය.
"මට නැවත මගේ ජීවිතයේ සතුට හමුවුණා. කුඩා කාලයෙන් පස්සේ පළමු වතාවට මට මං ගැන ම ආදරයක් හිතුණා.''
"දැන් මට පරිපූර්ණ බවක්, සතුටක්, සහනයක් දැනෙනවා. මම ඇත්තට ම මගේ ජීවිතයට ආදරෙයි. මම කවදාවත් හිතුවේ නැහැ මෙතැනට එන්න පුළුවන් වෙයි කියලා."
































