IV Drip Therapy යනු කුමක් ද? එයට සත්‍ය වශයෙන් ම ඔබේ සම පැහැපත් කළ හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
ඔබත් ඔබේ රුව ගැන සහ ඒ පිළිබඳව අනෙක් අය සිතන දේ ගැන වද වෙන කෙනෙක් ද?
මීට වසර 5කට පමණ පෙර මාෂි* IV Drip Therapy එකක් සිදු කර ගැනීම සඳහා කොළඹ නගරයේ ඇති ප්‍රසිද්ධ රූපලාවණ්‍ය සේවා සපයනය ආයතනයක් වෙත ගියේ එවැනි සිතුවිල්ලක් ඈ තුළ ඇති වූ නිසා ම නොවේ. ඇය එහි ගියේ, එවකට ශ්‍රී ලංකාවට ආගන්තුක වූ මෙම නවතම චිකිත්සක ක්‍රමය ගැන තිබූ කුතුහලය නිසා ය.
නමුත් එය දැන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල රැල්ලක් බවට පත් වී හමාර ය.
ගත වුණු කෙටි කාලය තුළ මෙය රුව වඩවන අවශ්‍යතාවයෙන් ඔබ්බට යමින් වයස්ගත වීම වැළැක්වීම, සිරුර ප්‍රබෝධවත් කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම, ප්‍රතිඔක්සිකරණය, සජලනය, බර අඩු කිරීම, ආතතිය දුරු කිරීම සහ වඩා හොඳ නින්දක් ලබා ගැනීම ආදිය දක්වා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ප්‍රතිලාභ ගෙන දෙන චිකිත්සක ක්‍රමයක් ලෙස සමාජය තුළ ප්‍රවර්ධනය වී තිබේ.
අධිසුඛෝපභෝගී රූපලාවණ්‍යාගාරවල සිට ඉතා සුවපහසුවෙන් IV Drip Therapy ලබා ගන්නා බලපෑම්කරුවන් මෙන් ම ප්‍රසිද්ධ පුද්ගලයින් අදහස් දක්වන වීඩියෝ සමාජ මාධ්‍යවල සැරිසරන ඔබේ නෙත නොගැටුණා විය නොහැක.
'මම කළේ ස්කින් බ්‍රයිට්නින් ඩ්‍රිප් එක, මට කිව්වා විටමින් D ගොඩක් අඩුයි කියලා'
"ඒ කාලේ එහෙම කවුරුවත් ලොකුවට දන්නේ නැහැ මේ ගැන. 2020 වගේ නේ එතකොට. ඒ කාලේ ඉන්ෆ්ලුවන්සර්ස්ලා ලොකුවට ප්‍රමෝට් කළේ නැහැ. [මම ගියේ] ඇත්ත ම කියනවා නම්, මොකක් ද මේ කියන කුතුහලය නිසා," IV Drip Therapy පිළිබඳ තම ප්‍රථම අත්දැකීමේ මතකය ආවර්ජණය කරමින් මාෂි බීබීසී සිංහල සමග සංවාදයට එක් විය.
මෙම ක්‍රමවේදය අද මෙන් එතරම් සමාජය තුළ ප්‍රචලිත නොවුණත් ඇය රූපලාවණ්‍ය ආයතනය වෙත ගිය අවස්ථාවේ එහි විවිධ වයස්වල පුද්ගලයින් විවිධ අවශ්‍යතා සඳහා පැමිණ සිටි බව ඇය පැවසුවා ය.
"ඒකෙ මම කළේ ස්කින් බ්‍රයිට්නින් ඩ්‍රිප් එක. ඒ කියන්නේ සම පැහැපත් වෙලා, හොඳ එළියක් එන්න කරන එක," යනුවෙන් මාෂි සඳහන් කළේ, එය සිදුවූ ආකාරය ද පියවරෙන් පියවර පැහැදිලි කරමිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මගේ මෙඩිකල් හිස්ට්රි එක, මොනවා හරි ලෙඩකට බෙහෙත් බොනවා ද? වගේ හැම දේ ම මගෙන් ඇහුවා. තව ඇලර්ජීස් තියෙනවා ද? ... ඒ වගේ මගේ සම්පූර්ණ හිස්ට්රි එක ම ඇහුවා. ඊට පස්සේ තමයි කරන්න ඕනේ ටෙස්ට් ටික කරන්න ලියලා දුන්නේ," ඇය පැවසුවා ය.
මෙවැනි සේවා සපයන ආයතන බොහෝවිට පාරිභෝගිකයින්ගේ රෝග ඉතිහාසය මෙන් ම ඔවුන්ට විටමින් ඌණතා ආදිය පවතින්නේ ද? යන්න රුධිර පරීක්ෂා මගින් බලා, අනතුරුව ඊට උචිත ලෙස චිකිත්සක ක්‍රමවේද වෙත යොමු වන බව පැවසේ.
"එහෙම බලලා [පරීක්ෂණ වාර්තා] මට කිව්වා මගේ ඇඟේ විටමින් D ගොඩක් අඩු යි කියලා. එයා [වෛද්‍යවරිය] කිව්වා ම තමයි මට තේරුණේ මට නිතර තෙහෙට්ටු ගතියක් දැනෙනවා, ඇඟ රිදෙනවා, නිදිමත දැනෙනවා වගේ දේවල් තියෙනවා කියලා," මාෂි විත්සර කළා ය.
ඉන්පසුව ඇයට විටමින් D "තරමක් ඉහළ මාත්‍රාවක්" සතියක පමණ කාලයක් ලබා ගැනීමට ඇයගේ වාර්තා පරීක්ෂා කළ වෛද්‍යවරිය විසින් නිර්දේශ කෙරිණි.
මාෂි පැවසුවේ, එම තත්ත්වය යහපත් වූ පසු අදියර කිහිපයක් යටතේ සිදු වූ විටමින් චිකිත්සාව ආරම්භ කළ බවත් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් එහි සේවයේ නිරත වන බවට වූ විශ්වාසය තමන් තුළ තිබූ බවත් ය.
'ඒ කාලේ, ලක්ෂ එක හමාරක් වගේ ගියා'
"සාමාන්‍යයෙන් සෙෂන්ස් 5ක් හෝ 6ක් වගේ තියෙන්නේ. අපිට පුළුවන් ඒ සෙෂන් එකෙන් සෙෂන් එකට ගෙවන්න. නැත්නම් මුළු ගාණ ම එක පාර ගෙවන්න. එහෙම මුළු ගාණ ම අපි එක පාර ගෙව්වොත් එකක් ෆ්‍රී හම්බ වෙනවා. මගේ මුළු ගාණ ඒ කාලේ, ලක්ෂ එක හමාරක් වගේ ගියා," ඇය ඒ සඳහා වැය කළ මුදල ගැන සඳහන් කරමින් පැවසුවා ය.
මනසට සැහැල්ලුවක් දනවන පරිසරයක, මිත්‍රශීලී සේවාවක අත්දැකීම එහිදී ලබා ගැනීමට ඇයට හැකි විය.
සාමාන්‍යයෙන් රෝහලක රෝගියෙකුට සේලයින් ලබා දෙන ආකාරයට, "සුපරීක්ෂාකාරීව" එය සිදුවූ බව ඇය පැහැදිලි කළා ය.
"මට දීපු ඩ්‍රිප් එකට විටමින් Cත් ඉන්ජෙක්ට් කළා. එහෙම මම විනාඩි 30ක් වගේ හිටියා ඒක මට දීලා ඉවර වෙනකම්. ඒ අතරේ නර්ස්ලා සැරින් සැරේ ඇවිල්ලා බලනවා. රිදෙනවා ද බලනවා. මොක ද සමහර වෙලාවට එකතු වෙලා අත ඉදිමෙනවනේ ඩ්‍රිප් එකක් දෙද්දී. පළවෙනි දවසේ මගේ අත එහෙම ඉදිමුණා."
ඇය පැවසුවේ, එය අවසන් වූ පසු තමන් ප්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මෙන් ම නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ද රූපලාවණ්‍ය ආයතනය විසින් ලබා දෙන ලද බව ය.
'හැබැයි එයාල කිසි ම තැනකදී කිව්වේ නැහැ, ඔයාව සුදු වෙනවා, සුදු කරනවා වගේ දෙයක්'
"හැබැයි එයාල කිසි ම තැනකදී කිව්වේ නැහැ, ඔයාව සුදු වෙනවා, සුදු කරනවා වගේ දෙයක්. මමත් ගියේ සුදු වීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි. ඇත්තට ම මම ගියේ කුතුහලය නිසා," යැයි මාෂි පැවසුවේ, වාර 6කදී පමණ කෙරෙන චිකිත්සාව සිව් වන වාරයේදී තවදුරටත් ඊට සම්බන්ධ වීමේ අලස බව නිසා නතර කළ බව ද පවසමිනි.
එසේ වුව, සම නිරෝගී වී ප්‍රභාවත්, පැහැපත් සමක් ලැබෙන බව ඔවුන් පැවසූ බව ඇය සඳහන් කළා ය.
එවැනි ප්‍රතිඵලයක් ඇය අත් වින්දේදැයි බීබීසී සිංහල මාෂිගෙන් විමසීය.
"මෙහෙමයි එහෙම එකක් තිබ්බා. අම්මා කිව්වා ඉස්සරට වඩා පොඩ්ඩක් එළිය යි, හම වේළුණු ගතිය අඩු යි කියලා, මොක ද අම්මත් එක්ක නේ මම ගොඩක් ඉන්නේ. හමේ හෙල්දි ගතියක් තියෙනවා කියලා අම්මට තමයි පෙනුණේ. ඒක අර අපේ හිතේ ඇති වෙන එකක් වෙන්න ඇති සමහර විට, නිකම්, 'I'm feeling better than before' වගේ එකක්," යැයි ඊට පිළිතුරු දෙමින් ඇය පැවසුවා ය.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, මෙම චිකිත්සාවට සම්බන්ධ වීමෙන් ඇයට තමා පිළිබඳව ආත්මවිශ්වාසයක් ඇති වූ බව ය.
"ඒකට කාලයක් යද්දී, මම දන්නේ නැහැ ඒකට හරියට ම කියන්නේ self condfidence ද කියලා. හැබැයි පොඩි confidence එකක් හැදෙනවා. 'You're looking better, I feel better from the inside out," වගේ දෙයක් දැනෙනවා," මාෂි තම අත්දැකීම පිළිබඳව පැහැදිලි කළා ය.
IV Drip Therapy යනු කුමක් ද?
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පළ කරන ලද ලිපියකට අනුව, IV Drip Therapy හෝ IV Vitamin Therapy යනු, ශිරා තුළට ඇතුළු කරනු ලබන කටුවක් හරහා රුධිරයට ඍජුව ම විටමින්, ඛනිජ හෝ අයන අතිරේක ලබා දීම යි.
මෙම චිකිත්සක ක්‍රමය ලබා ගන්නා පුද්ගලයින් විශ්වාස කරන්නේ, මෙය ආහාර ජීර්ණයේදී සහ ඒවා බැහැර කිරීම හරහා පෝෂ්‍ය පදාර්ථ අහිමි වීම වළක්වන බැවින්, මුඛයෙන් ලබා ගන්නා අතිරේක හෝ ආහාර පදනම් කර ගත් පෝෂ්‍ය පදාර්ථ හා සසඳන විට ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ ඉහළ මට්ටමකට ගෙන යන බව එම ලිපියේ සඳහන් කර ඇත.
රුධිරයට ඍජුව මෙලෙස අතිරේක ලබා දීම අලුත් දෙයක් නොවන අතර වෛද්‍ය වෘත්තියේ දශක ගණනාවක් පුරා එය භාවිත කර ඇති අතර ආහාර ගැනීමට, පානය කිරීමට හෝ අවශෝෂණය කර ගැනීමට අපහසු රෝගීන්ට මෙන් ම ඔවුන් සජලනය කිරීමට සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට රෝහල්වල එය යොදා ගන්නා බව එහි තවදුරටත් සඳහන් ය.
නමුත්, මෙම ක්‍රමයෙන් පුද්ගලයින්ට නිසි ප්‍රතිලාභ ලැබෙන්නේ ද යන්න තහවුරු කරන විද්‍යාත්මක සාක්ෂි නොමැති තරම් බව එමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
නීතිමය තත්ත්වය සහ ආරක්‍ෂිත බව
ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපති, කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, රූපලාවණ්‍ය වෘත්තිකයින්ට නිර්දේශ කළ හැක්කේ, රූපලාවණ්‍ය නිෂ්පාදන මිස ඖෂධ නොවන බව ය.
"ලංකාවේ දැනට තියෙන නිර්වචන අනුව, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ දෙයක් දෙනවා නම්, ඒක රූපලාවණ්‍ය නිෂ්පාදනයක් වෙන්න ඕනේ නේ. එයාලට ඖෂධ පාවිච්චි කරන්න අවසරයක් නැහැනේ. එතකොට IV Drip එකක් කියන දේ රූපලාවණ්‍ය නිෂ්පාදනයක් (cosmetic) කියන නිර්වචනය යටතට එන්නේ නැහැ. එහෙම වුණා ම නීතිමය පැත්තෙන් බැලුවා ම, රූපලාවණ්‍ය ආයතනයක හරි සැලෝන් එකක හරි IV Drip එකක් කියන දේ පාවිච්චි කරන්න බැරි වෙන්න ඕනේ. ඒක තමයි දැනට තියෙන තත්ත්වය," ඇය පැහැදිලි කළා ය.
ඇය සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා විටමින් ඩ්‍රිප්ස් හෝ මල්ටිවිටමින් ඩ්‍රිප්ස් යොමු කර නොමැති බව ය.
"ඇතැම් අවස්ථාවලදී NMRA එකෙන් වැටලීම් කරලා ගෙනාපු කුප්පි (vials) අපි දැකලා තියෙනවා. ඒවා දිහා බැලුවා ම ඒවා අව්‍යාජ ද කියන ප්‍රශ්නය මතු වෙනවා. මේ නිෂ්පාදන ගොඩක් තියෙන පෙට්ටියක් ආවොත්, ඒවල තියෙන QR කෝඩ් උණත් වැඩ කරන්නේ නැහැ. ඒ අය කියනවා මේවා මේ රටේ නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. නමුත් ඒවා ඇත්ත ද කියන එක ප්‍රශ්නසහගත යි," විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.
එබැවින් විටමින් අතිරේක ලෙස සිදු කරන මෙම චිකිත්සක ක්‍රමවල ගුණාත්මක බව ගැන හෝ ආරක්ෂිතභාවය ගැන අදහස් දැක්වීම කළ නොහැකි බව ඇය අවධාරණය කළා ය.
ඇය පෙන්වා දුන්නේ, සුදු වීම සඳහා ග‍්ලූටතයෝන් රුධිරයට ඍජුව ආවිලයනය (infusion) කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල නොවන බව ය.
"සමහර සම්මත විටමින් වර්ග තියෙනවා, උදාහරණයක් විදිහට යකඩ ඌණතාවක් තියෙන කෙනෙකුට අපි රෝහල් පරිසරයක් තුළ යකඩ ආවිලයනය (infusion) කරනවා. විටමින් B ඌණතා තියෙන අයට, මධ්‍යසාර පානය නිසා අක්මාවේ ලොකු ප්‍රශ්න තියෙන අයට ඒ විදිහට විටමින් වර්ග ආවිලයනය කරනවා. ඒ දෙන්නෙත් සම්මත ඖෂධ විදිහට කාණ්ඩගත කරලා තියෙන විටමින් වර්ග, රෝහල් පරිසරයක් තුළ.
ඒ ඇරෙන්න බියුටි ඩ්‍රිප් කියන ඒවා, වෙල්නස් ඩ්‍රිප් කියන ඒවා ලංකාවේ ලියාපදිංචි නැහැ කිසි ම කාණ්ඩයක් යටතේ. ඒවා ලියාපදිංචි වෙනවා නම් වෙන්න ඕනේ, ඖෂධ විදිහට නේ."
එලෙස ආවිලයනය සිදු කිරීමට වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව ඇය ප්‍රකාශ කළා ය.
ඇතැම් රටවල යම් අවස්ථාවලදී වෛද්‍ය අධිකාරීත්වයක් යටතේ මෙම චිකිත්සක ක්‍රම සිදු කෙරුණ ද ගෝලීය වශයෙන් ඒ සඳහා පොදු නීතියමය තත්ත්වයක් නොමැති අතර ඒවායේ නීත්‍යනුකූලතත්වය සහ නියාමනය රටින් රටට වෙනස් වන බව තොරතුරු විමසා බැලීමේදී නිරීක්ෂණය වෙයි.
නිවැරදිව විටමින් මට්ටම් පරීක්ෂා කළ හැකි ද? ඇති විය හැකි අවදානම් තත්ත්ව මොනවා ද?
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු තුළ ඇති විටමින් මට්ටම් පරීක්ෂා කිරීමට ඇති පහසුකම් සීමිත බව ය.
"ලංකාවේ විටමින් මට්ටම් පරීක්ෂා කරනන් පුළුවන්, ඉතා ම සීමිත විටමින් වර්ග කිහිපයක් විතරයි. ඒවත් ලේසි රුධිර පරීක්ෂණ නෙවෙයි. සාමාන්‍යයෙන් විටමින් D3 මට්ටම බලන්න පුළුවන්, ඒකෙ එක පරීක්ෂණයක් රු. 15,000ක් විතර වෙනවා. විටමින් B12 බලන්න පුළුවන්. සමහර අයන වර්ග බලන්න පුළුවන්. ප්‍රධාන ඛනිජ වර්ග බලන්න පුළුවන්. ඒවත්, එක ටෙස්ට් එකක් ගත්තොත් ගොඩක් මිල අධිකයි.
දැන් කියනවනේ විමට්මින් මට්ටම්න් පරීක්ෂා කරලා බලනවා කියලා. හැබැයි එහෙම විශ්වසනීය පරීක්ෂණයක් තියෙනවා කියන්න නම් අපිට සාක්ෂි නැහැ. 100%ක් නිවැරදි දේ නෙවෙයි මේකේ වෙන්නේ කියලා තමයි අපිට පේන්නේ," ඇය පැවසුවා ය.
අසාත්මිකතා, රුධිර කැටි සහ කුෂ්ඨ ආදිය ඇතැම් විට මෙවැනි චිකිත්සක ක්‍රම මගින් ඇති විය හැකි බවට වෛද්‍යවරු පවසති.
ප්ලෙසීබෝ ආචරණය (Placebo Effect)
IV Drip Therapy වැනි චිකිත්සක ක්‍රම හරහා බොහෝවිට සිදුවන්නේ ප්ලෙසීබෝ ආචරණය (Placebo Effect) වැනි යමක් විය හැකි බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවා ය.
ප්ලෙසීබෝ ආචරණය යනු, ප්‍රතිකාරයක සැබෑ වෛද්‍යමය බලපෑමක් නොමැති වුව ද ප්‍රතිකාරය සාර්ථක වේ යැයි විශ්වාස කරන නිසා ම පුද්ගලයෙකුට සුවයක් දැනීම වේ.
"විටමින් D3 වගේ ඒවා ගොඩක් වෙලාවට අපේ අඩුයි නේ. ඒ වගේ වෙලාවට යම් කිසි විටමින් එකක් අපේ ඇඟට එනවා නම්, අපේ අපහසුතාවලට තාවකාලික සහනයක් එනවා. එතකොට යම් කිසි වෙනසක්, සහනයක් දැනෙන්න පුළුවන්. ඒක ඇත්තට ම වෙන්නත් පුළුවන්, ප්ලෙසීබෝ ඉෆෙක්ට් එකක් වෙන්නත් පුළුවන්," ඇය පැහැදිලි කළා ය.
විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, මෙම විටමින් වර්ග ගබඩා කිරීමේ සිට විටම්මින් වර්ග කිහිපයක් එකවර ලබා දීමේදී (cocktail) ඒවා එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ ද යන්න පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ය.
"චර්ම රෝග විශේෂ වෛද්‍යවරුන් විදිහට අපේ ස්ථාවරය තමයි, අපි මේවා ප්‍රවර්ධනය කරන්න ලෑස්ති නැහැ. මොක ද අපිට ඊට වඩා විද්‍යාත්මකව තහවුරු කරපු දේවල් තියෙනවා කරන්න පුළුවන්. අපි විද්‍යාත්මකව තහවුරු කරපු දේවල් ඇරෙන්න වෙන දේවල් කරන්නේ නැහැ," ඇය වැඩිදුරටත් පැවසුවා ය.
IV Drips සම පැහැපත් කර ගැනීමට ඇති කෙටි මාර්ගයක් නොවන බවත් මෙවැනි ක්‍රමවලට යොමු වීමෙන් වැළකී නිසි පෝෂණය, ව්‍යායාම, මානසික සුවතාව වැනි යහජීවනය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රබෝධවත් ජීවිතයක් සඳහා හේතු වන බවත් වෛද්‍යවරු පවසති.
*මාෂි යනු, මෙහි සිය අත්දැකීම් බෙදාගත් තරුණියගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා යොදා ගෙන ඇති අන්වර්ථ නාමයකි














