අධික ලෙස ඩහදිය දමන්නේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද?

A beautiful Asian woman, feeling overheated, cools herself down with an electric fan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, එස්තර් කහෞම්බි
    • Role, ගෝලීය සෞඛ්‍යය, බීබීසී ලෝක සේවය

දවසේ මැද භාගයේදී හෝ ඔබ යම් අයෙකු මුණ ගැසීමට පෙර ඔබගේ සිරුරෙන් නැගෙන ගන්ධය ගැන විමසිලිමත් වී තිබෙනවා ද?

දවස පුරා 'පරිපූර්ණ ලෙස නැවුම්ව' සිටින්නේ කෙසේ ද යන්න නිර්දේශ කරමින් සමාජ මාධ්‍ය තුළ පවතින සටහන් මගින් එම කනස්සල්ල තවත් වැඩි කරයි.

මුළු ශරීරය පුරා ඩියෝඩ්‍රන්ට් ගල්වන බලපෑම් කරන්නන්ගේ සිට ජනයාගෙන් පිරී පවතින පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ගේ වයිරල් වීඩියෝ දක්වා ශරීරයෙන් දුගඳ පිටවන පුද්ගලයින් ගැන අසන්නට ලැබේ.

නමුත් විශේෂඥයින් පවසන්නේ ඔබට ඩහදිය නොදමනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බවයි. එය දුර්වල සනීපාරක්ෂාව පිළිබඳ සලකුණක් නොවේ, එය ජීව විද්‍යාවයි.

"ඩහදිය දැමීම සම්පූර්ණයෙන් ම සාමාන්‍ය සහ අවශ්‍ය ක්‍රියාවලියක්" එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මිෂෙල් ස්පියර් පවසයි.

බොහෝ පුද්ගලයින්ට ඩහදිය දමන්නේ උණුසුම, ව්‍යායාම හෝ ආතතියට ප්‍රතිචාර ලෙසයි. එය ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමේ යාන්ත්‍රණයයි.

දහඩිය දැමීම සහ නැවුම්ව සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපි විශේෂඥයින් සමග සාකච්ඡා කළෙමු.

ඩහදිය දමන විට මට දුගඳක් දැනෙන්නේ ඇයි?

ලන්ඩනයේ කාර්යබහුල වේලාවක භූගත දුම්රියක් තුල සිටින මගියෙකු අතේ ගෙන යා හැකි විදුලි පංකාවක් අල්ලාගෙන සිටී

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශරීරයේ ඇතිවන දුගඳ ගැන ඇති වන කනස්සල්ල සෙනඟ ගැවසෙන ස්ථානවලදී වැඩි විය හැකි ය

ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගිය විටදී, එය ඩහදිය ආකාරයෙන් දියරයක් සහ ලවණ වැනි යමක් මතුපිටට පිට කරයි. ඉන්පසු මෙම තරලය වාෂ්ප වන අතර, තාපය උරාගෙන ශරීර උෂ්ණත්වය අඩු කරයි.

නමුත් මෙම ඩහදිය ශරීර ගන්ධයට හේතුව නොවේ.

ස්වේද ග්‍රන්ථි මිලියන දෙකත් හතරත් අතර ගණනක් ශරීරයේ පවතින අතර, "ඒවා ඩහදිය වර්ග දෙකක් නිපදවනවා, එකක් ශරීරය සිසිල් කරන ජලය සහිත එකක් වන අතර අනෙක මේදවලින් පිරී පවතිනවා," මහාචාර්ය ස්පියර් පැහැදිලි කරයි.

මේද අධික ඩහදිය යනු කිහිලි සහ ඉකිලි වැනි ස්ථානවල නිපදවන දෙයක් වන අතර බැක්ටීරියා ඒවා බිඳ දමයි. දුර්ගන්ධය යනු මෙම ක්‍රියාවලියේ අතුරු ඵලයකි.

ඩහදිය දැමීම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියක් වන අතර, පිරිසිදුව හා විශ්වාසයෙන් සිටීමට අවශ්‍ය වීම ස්වභාවික තත්ත්වයකි.

කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ ඩහදිය දැමීම සම්පූර්ණයෙන් ම නැවැත්වීම අරමුණ නොවිය යුතු බවයි. නමුත් එදිනෙදා ජීවිතය වඩාත් සුවපහසු වන ආකාරයෙන් එය කළමනාකරණය කළ යුතු වේ.

ගිම්හානයේ උණුසුම් දිනයක ඉන්දියාවේ අම්රිත්සර් හි පොදු නාන ස්ථානයකදී මිනිසුන් ස්නානය කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ දෛනික සනීපාරක්ෂක චර්යාවේ කොටසක් ලෙස ක්‍රමවත් ලෙස සෝදා පිරිසිදුවීම නිර්දේශ කෙරේ

නැවුම්ව සිටීමට මට කළ හැකි වන්නේ මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඩහදිය දැමීම සහ ශරීර දුර්ගන්ධය පිටවීම යන දෙක ම කළමනාකරණය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමය ලෙස සබන් හා ජලය භාවිතයෙන් නිතර සේදීම නිර්දේශ කෙරේ.

ඔබ කොපමණ වෙලාවක් ස්නානය කළ යුතු ද යන්න පිළිබඳව තවමත් වාදවිවා ද පවතින අතර, බොහෝවිට නිර්දේශ කෙරෙන්නේ එය දෛනිකව හෝ සතියකට තුන්වරක් සිදු කළ යුතු බවටයි.

"උදාහරණයක් ලෙස කිහිලි, ඉකිලි සහ පාද කෙරෙහි නිසි අවධානය යොමු කරන්න," මහාචාර්ය ස්පියර් උපදෙස් දෙයි.

"මිනිස්සු නානකොට වතුර එයාලගෙ ශරීරය මතින් ගලා ගෙන යනවා සහ පහළ තිබෙන පාද ඔවුන්ට අමතක වෙනවා. පාදත් අතුල්ලා සෝදන්න ඕනේ."

අපි අඳින ඇඳුම් පවා වෙනසක් ඇති කරයි. කපු සහ ලිනන් වැනි ස්වභාවික රෙදි වර්ග තෙතමනය අවශෝෂණය කර එය ශරීරයෙන් ඉවත් කරන අතර කෘත්‍රිම තන්තු සමට එරෙහිව ක්‍රියාකර සම මත ඩහදිය සිර කරන අතර එමගින් මිනිසුන්ට උණුසුම් බවක් සහ අපහසුතාවක් නිර්මාණය කරයි.

ඩියෝඩ්‍රන්ට් සහ Antiperspirants (ඩහදිය දුගධ නසන ආලේපන) වැනි සනීපාරක්ෂක නිෂ්පාදනවලට ද අමතර සහයෝගයක් ලබා දිය හැකිය.

සාමාන්‍යයෙන් මධ්‍යසාර මත පදනම්ව සකසා ඇති ඩියෝඩ්‍රන්ට් වර්ග සම ආම්ලික බවට පත් කරන අතර එමගින් බැක්ටීරියා සඳහා සමට ඇති ආකර්ෂණය අඩු කරයි. ඒවායේ සුවඳ මගින් ගන්ධය ආවරණය කරයි.

එමෙන් ම ඩහදිය දුගධ නාශකවල ඇලුමිනියම් ලවණ අඩංගු වන අතර එමගින් දහඩිය ග්‍රන්ථි කිහිපයක් අවහිර කිරීම මගින් ඩහදිය නිපදවන ප්‍රමාණය අඩු කරයි.

ඩහදිය දුගඳ නාශක රාත්‍රියේදී භාවිත කිරීමටත් උදෑසන කාලයේදී ඒවා සෝදා පිරිසිදු කිරීමටත් නිර්දේශ ක‍ර තිබේ. චර්ම රෝග විශේෂඥයින් පවසන්නේ රාත්‍රියේදී ඩහදිය ග්‍රන්ථි අඩු ක්‍රියාකාරීත්වයකින් පවතින බැවින් එය ඇලුමිනියම් අවශෝෂණය කර ගැනීම පහසු කරන බවයි. ග්‍රන්ථිවල ලවණ ක්‍රමයෙන් ගොඩනගන අතර, කාලයත් සමග ප්‍රතිඵල දැකිය හැකි බව එයින් අදහස් කෙරේ.

දහඩිය දුගඳ නාශක හානිකර විය හැකි ද?

පියයුරු පිළිකා සහ ඇල්සයිමර් රෝගයට තිබිය හැකි සම්බන්ධතා ඇතුළුව ඩහදිය දුගද නාශකවල පවතින ආරක්ෂාව පිළිබඳ වසර ගණනාවක් පුරාවට ගැටලු පවතී.

කෙසේ වෙතත්, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නෝරා ජාෆර් පවසන්නේ "මේ දක්වා ඇති සාක්ෂි සැනසිලිදායකයි. කිසිදු විශ්වාසදායක අධ්‍යයනයකින් පිළිකා කාරක සමග පවතින සම්බන්ධතා ඔප්පු කරලා නැහැ."

"ඇලුමිනියම් ලවණ ශරීරය තුළ සහ ප්‍රතිලෝමව ක්‍රියා කරනවා. ඒවා සාදන ප්‍රෝටීන් තරලය [දහඩිය අවහිර කිරීමට] සම සමග ස්භාවිකව වැගිරෙනවා," ඇය පවසයි.

කෙසේ වෙතත්, මෙම නිෂ්පාදන අවිධිමත් ලෙස භාවිත කිරීම ඇතැම් සමේ රෝගවලට හේතු විය හැක.

"පැය 72ක් හෝ පැය 48ක කාලයක් ඔබව නැවුම්ව තබන බව පවසන ඇතැම් නිෂ්පාදන ඇති බව සිතන්න," මහාචාර්ය ස්පියර් පවසයි.

"කවුරුන් හෝ එම ඩහදිය දුගඳ නාශකය සේදීම සිදු නොකර ගල්වන ස්ථානයේ ම පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා නම්, එහිදී ගැටලු ඇති වීමට ඉඩ තියෙනවා, එහිදී අවහිරතා ඇති වෙන්න පුළුවන්."

ඩහදිය හා සමේ සෛල එක් රැස්වීමෙන් ග්‍රන්ථි අවහිර වී කැසීම්වලට හේතු විය හැක.

චර්ම රෝග විශේෂඥයින් පවසන්නේ ඇලුමිනියම් පාදක නිෂ්පාදන භාවිත කිරීම සඳහා පවතින හොඳ ම ක්‍රමය වන්නේ කිහිලි ප්‍රදේශය හොඳින් වියළී ඇති බව තහවුරු කර ගැනීම බවයි. තෙතමනය තිබේ නම්, ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවන අතර එය ඔබේ සමේ කැසීම් ඇති කරයි.

ස්වභාවික ඩියෝඩ්‍රන්ට් ප්‍රතිඵලදායක ද?

Deodorant being sprayed under someone's arm

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වභාවික ඩියෝඩ්‍රන්ට් වඩාත් ජනප්‍රිය වී ඇති අතර ඒවා බොහෝවිට ඇලුමිනියම් ලවණ හෝ කෘත්‍රිම සුවඳ විලවුන් භාවිතයෙන් වැළකී සිටින පුද්ගලයින් සඳහා විකල්පයක් ලෙස අලෙවි කරයි

ස්වභාවික ඩියෝඩ්‍රන්ට් වඩාත් ජනප්‍රිය වී ඇති අතර ඒවා බොහෝවිට ඇලුමිනියම් ලවණ හෝ කෘත්‍රිම සුවඳ විලවුන් භාවිතයෙන් වැළකී සිටින පුද්ගලයින් සඳහා විකල්පයක් ලෙස අලෙවි කරයි.

දුර්ගන්ධය නැති කිරීම සඳහා ඔවුන් බොහෝවිට ස්වභාවික බැක්ටීරියා ප්‍රතික්‍රියාකාරක හෝ ශාක පදනම් කරගත් ස්වභාවික තෙල් මෙන් ම තෙතමනය අවශෝෂණය කර ගැනීමට සහල් පිෂ්ඨය වැනි දේ භාවිත කරයි.

"ඩහදිය ග්‍රන්ථි අවහිර නොකරන නිසා ඒවා මෘදු බවට දැනෙන්නපුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් ඩහදියට වඩා ගන්ධය තමයි ඉලක්ක කරන්නේ. නමුත් 'ස්වභාවික' යන්නෙන් හැමවෙලාවෙ ම කැසීමක් ඇති නොවන බව අදහස් වෙන්නේ නෑ: සුවඳ තෙල් වර්ග හෝ බේකිං සෝඩා වැනි දෑ තවමත් සංවේදී සම තුළ කුෂ්ඨ ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්," වෛද්‍ය ජාෆර් පවසයි.

ඒවායේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින් පවසන්නේ එය පුද්ගලයා මත රඳා පවතින බවයි.

සම මත පවතින බැක්ටීරියා වර්ගය සහ ඩියෝඩ්‍රන්ට් තුළ අන්තර්ගත වන අමුද්‍රව්‍ය මත එය දුර්ගන්ධය නැති කිරීමට ක්‍රියා කරන ආකාරය තීරණය වේ.

ඔබට වැඩිපුර ඩහදිය දමන්නේ නම්, ඒවා ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවිය හැකිය. කෙසේ වෙතත්, ඔබට ඇලුමිනියම් භාවිතය වළක්වා ගැනීමට අවශ්‍ය නම් ඒවා කදිම විකල්පයකි.

ශරීරය පුරා ඩියෝඩ්‍රන්ට් ආලේප කළ හැකි ද?

A woman looks at a cosmetic bottle in her hand

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආලේප කිරීමෙන් පසු පැය ගණනක් යනතුරු නැවුම් සුවඳ පවත්වා ගැනීමට සහය විය හැකි මුළු ශරීරයේ ම ආලේප කළ හැකි ඩියෝඩ්‍රන්ට් ද අලෙවි කෙරේ

ඇතැම් පුද්ගලයෝ කුමන ඩියෝඩ්‍රන්ට් හෝ ඩහදිය දුගඳ නාශක වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ ද යන්න පිළිබඳ පමණක් නොව ඒවා ඔවුන්ගේ ශරීරයේ කොතැනක ගැල්විය යුතු ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් කනස්සල්ලට පත්ව සිටිති.

එක්සත් රාජධානිය තුළ සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නව ඩියෝඩ්‍රන්ට් අලෙවි කෙරෙන්නේ පියයුරු යට, තට්ටම් ප්‍රදේශයේ සහ රහස්‍ය ප්‍රදේශවල ඇතුළුව ශරීරය පුරා භාවිතය සඳහායි.

සේදීමෙන් පසුවත් බොහෝ වේලාවකට පසුව නැවුම් බවක් ලබා දෙන බවට මෙම නිෂ්පාදන සහතික කරන අතර, ඇතැම් නිෂ්පාදන පැය 72ක් දක්වා දුර්ගන්ධය පාලනය කරන බව පවසයි. නමුත් විශේෂඥයින් පවසන්නේ විශේෂයෙන් ම රහස්‍ය ප්‍රදේශවල ඇතුළුව ශරීරය පුරා ඩියෝඩ්‍රන්ට් ගැල්වීම අවශ්‍ය නොවන බවයි.

"යෝනි මාර්ගය සහ ඉකිලි ප්‍රදේශය කියන්නේ ශරීර පද්ධතියේ ඉතා සංවේදී ප්‍රදේශ. තත්ත්වය සහතික කරන ලද ඩියෝඩ්‍රන්ට් එම ප්‍රදේශවල ගැල්වීමෙන් කැසීමක්, අසාත්මික ප්‍රතික්‍රියා සහ ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සහ සමේ pH අගයට බාධා එල්ල වීමේ අවදානමක් තිබෙනවා," වෛද්‍ය ජාෆර් අනතුරු අඟවයි.

"සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ ජලය හෝ සුසිනිඳු සබන් වර්ගයක් භාවිතයෙන් මෘදු පිරිසිදු කිරීමක් පමණයි."

ඩහදිය දැමීම සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වූ විට

ඇතැම් පිරිස් හයිපර්හයිඩ්‍රොසිස් රෝගයෙන් පෙළෙන අතර එය ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස ඩහදිය පිටවීමේ තත්ත්වයකි.

ජාත්‍යන්තර හයිපර්හයිඩ්‍රොසිස් සංගමයට අනුව මේද අධික දහඩිය නිපදවන ස්වේද ග්‍රන්ථි, උත්තේජකවලට ප්‍රමාණය ඉක්මවා ප්‍රතික්‍රියා දක්වන අතර එමගින් අවශ්‍ය ප්‍රමාණයට වඩා දහඩිය නිපදවයි.

වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් අවස්ථාවලදී එය සැඟව පවතින සෞඛ්‍ය තත්ත්වයක් පිළිබඳ සංඥා කළ හැකි අතර ඇතැම්විට හෝමෝනවල වෙනස්කම්, තයිරොයිඩ් ගැටලු, ආසාදන හෝ පරිවෘත්තීය ආබාධ සමග සම්බන්ධ වී පැවතිය හැකි බවයි.

ස්වේද ග්‍රන්ථි අවහිර කිරීම සඳහා ඇලුමිනියම් ලවණ වැඩි ප්‍රමාණයක් අඩංගු අධික ලෙස ඩහදිය දැමීම නතර කළ හැකි ආලේපන සහිත ඖෂධ වට්ටෝරු ලබා දිය හැකිය.

Botox එන්නත් මගින් ඉලක්කගත ප්‍රදේශවල ඩහදිය දැමීම අඩු කර ගැනීමේ හැකියාව පවතී. ස්වේද ග්‍රන්ථි ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදු කිරීම ඒ සඳහා ඇති තවත් විකල්පයකි.

"කිසියම් අයෙකුට අධික ලෙස ඩහදිය දමන බව දැනෙනවා නම්, මං හිතන්නේ මං ඔවුන්ව මුලින් ම දිරිමත් කරන්නේ ඒ ගැන ලැජ්ජාවට පත් නොවී ඉන්න කියලයි," මහාචාර්ය ස්පියර් පවසයි.

"උදව් ලබා ගන්න කියලා මං ඔවුන්ව දිරිමත් කරනවා."